අමාෂාට නූලෙන් පදක්කම මඟ හැරේ

61 වැනි ඉන්දීය ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතාවය

271

ඉන්දියාවේ චෙන්නායි හිදි පැවැත්වෙන 61 වැනි ඉන්දිය අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතාවයේ දෙවැනි දිනය ඊයේ (11) නිමා වුනා.

ඊයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අමාෂා ද සිල්වා සහ අරුණ දර්ශන ක්‍රීඩා පිටියට පිවිසියේ පිළිවෙළින් මීටර් 100 සහ මීටර් 400 ඉසව් හි අවසන් තරග වෙනුවෙනි.

ශ්‍රී ලංකා ජාතික ශූරිය වන අමාෂා කාන්තා මීටර් 100 අවසන් ඉසව්ව අවසන් කළේ තත්පර 11.76ක් සමඟින් සිව්වැන්නා ලෙසයි. එහි දී ඇය එම ඉසව්වේ ඉතාමත් ඉහළ දක්ෂතා අතර සිටින ක්‍රීඩිකාවන් වන Hima Das, Dutee Chad වැනි ක්‍රීඩිකාවන් සමඟ තරග කරමින් මේ ලබා ගත් දක්ෂතාව අගය කළ යුතුයි. ඉසව්වේ ප්‍රථම ස්ථානය Hima Das (11.43) විසිනුත්, දෙවැනි ස්ථානය Dutee Chand (11.44) විසිනුත් දිනා ගනු ලැබුවා.

මෙම තරගාවලිය පුරාවටම අමාෂා දැක්වූ දක්ෂතා (මීටර් 100 කාන්තා)

11.78s (0.0m/s) මූලික වටය, 11.79s (1.5m/s) අවසන් පූර්ව වටය, 11.76s (0.0m/s) අවසන් තරගය

මැදිදුර ධාවන ශූර අරුණ දර්ශන සිය උපරිම දක්ෂතාවයට ළඟා වීමට ඊයේ අසමත් වූ අතර මීටර් 400 පිරිමි අවසන් මහා තරගයෙන් ඔහු 5 වැනි ස්ථානය දිනා ගත්තේ තත්පර 47.01ක කාලයක් වාර්තා කරමිනුයි. ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගත්තේ ආසියානු ශූරතාවයේ රන් පදක්කම් ලාභී Amoj Jacob විසිනි. ඔහු දැක්වූ දක්ෂතාවය සටහන් වුනේ තත්පර 45.68ක් ලෙසයි.

මෙම තරගාවලිය පුරාවටම අරුණ දැක්වූ දක්ෂතා(මීටර් 400 පිරිමි

46.69s (මූලික වටය), 46.34s (අවසන් පූර්ව වටය), 47.01s (අවසන් තරගය)

අද (12) මීටර් 100×4 ශ්‍රී ලංකා සහය දිවීමේ කාන්තා කණ්ඩායම අවසන් තරගය සඳහා සහභාගී වීමට නියමිතයි. මෙම සංචිතය සඳහා අමාෂා ද සිල්වා, රුමේෂිකා රත්නායක, ශෙලින්ඩා ජැන්සන්, මේධානි ජයමාන්න සහ ලක්ෂිතා සුගන්ධි ඇතුළත් වනවා.

තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම:

  • පිරිමි 400X4 කණ්ඩායම: අරුණ දර්ශන, ඉසුරු ලක්ෂාන්, පබසර නිකූ, දිනුක දේශාන්, ආර්. එම්, රාජකරුණා
  • කාන්තා 4×100 කණ්ඩායම: අමාෂා ද සිල්වා, රුමේෂිකා රත්නායක, ශෙලින්ඩා ජැන්සන්, මේධානි ජයමාන්න, ලක්ෂිකා සුගන්ධි
  • කේවල ඉසව්: රොෂාන් ධම්මික (මීටර් 110 කඩුලු පැනීම), චමල් කුමාරසිරි (තුන් පිම්ම)

තරගාවලියේ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වන ඉසව් හි කාලසටහන

  • ජුනි 10 – මීටර් 100 කාන්තා (මූලික වටය, අර්ධ), මීටර් 400 පිරිමි (මූලික වටය, අර්ධ)
  • ජුනි 11 – මීටර් 100 කාන්තා කඩුලු පැනීම (මූලික වටය, අර්ධ), මීටර් 4*100 කාන්තා (මූලික වටය), මීටර් 100 කාන්තා (අවසන්), මීටර් 400 පිරිමි (අවසන්)
  • ජුනි 12 – මීටර් 100 කාන්තා කඩුලු පැනීම (අවසන්), මීටර් 4*100 කාන්තා (අවසන්)
  • ජුනි 13 – මීටර් 200 කාන්තා (මූලික වටය), මීටර් 200 (මූලික වටය), මීටර් 4*400 පිරිමි (මූලික වටය)
  • ජුනි 14 – මීටර් 200 කාන්තා (අවසන්), මීටර් 200 පිරිමි (අවසන්), මීටර් 4*400 පිරිමි (අවසන්), , තුන් පිම්ම (අවසන්)

(ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මීටර් 100 කඩුලු මතින් දිවීම සහ මීටර් 200 කේවල ඉසව් සඳහා ද සහභාගී වීමට ඉඩ ඇත)

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<