HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

විද්‍යාඥයෝ පොසිල සාක්ෂි අනුව ඩයිනසෝර ලෝකය මවති

අවුරුදු මිලියන 66 කට පෙර පෘථිවිය මත රජකම් කළේ ඩයිනසෝර නම් සත්ව විශේෂයයි. ඔවුන් මේ මිහිමත විසූ අපූර්වතම ජීවීන් විශේෂයක් වූ බව අවිවාදයෙන් පිළිගැනෙනවා. මේ සතුන් අතරින් ඇතැම් සතුන් දැවැන්තයන් වූ අතර ඇතැම් සතුන් ප්‍රමාණයෙන් කුකුළන් තරම් කුඩා වුණා. මේ ඩයිනසෝර විශේෂ අතරින් වඩාත් ජනප්‍රිය ඩයිනසෝරයාගේ නම මුල අකුරුත් සමග ටී. රෙක්ස් ය. උප්පැන්නයේ සම්පූර්ණ නම ටයිරැනසෝරස් රෙක්ස් ය. ඌ මොන විදියේ සතෙක්ද? උගේ පෙනුම මොන වගේද? ඌ ජීවත් වුණේ කොහොමද? දැන් මේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න, විද්‍යාත්මක පර්යේෂණවලට පුලුවන්. ටී. රෙක්ස් ගැන විතරක් නොවෙයි, ඈත අතීතයේ විසූ අනෙක් ඩයිනසෝරයන් ගැනත් තොරතුරු රැසක් හෙළිදරවු කර ගෙන තියෙනවා. විද්‍යාඥයන් මේ හපන්කම කරලා තියෙන්නේ වසර ගණනාවක් තිස්සේ ලැබුණු පොසිල සාක්ෂි අනුවයි. 


වැඩ සටහන ඉදිරිපත් කරන ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ

ොවිද්‍යාඥයන්ගේ මේ සොයා ගැනීම් පාදක කර ගෙන එදා ඩයිනසෝරයන් ජීවත් වූ හැටි ප්‍රති නිර්මාණය කරන්නට හොලිවුඩ් නළුවකු හා සිනමාකරුවකු වූ ජෝන් ෆැව්රෝව් (Jon Favreau) සමත් වී තියෙනවා. ඔහු මේ කාර්යය සඳහා බ්‍රිතාන්‍යයේ සුප්‍රකට පොසිල විද්‍යාඥයකු වන ආචාර්ය ඩැරන් නෑෂ් හවුල් කර ගෙන තියෙනවා. අති නවීන පරිගණක තාක්ෂණය යොදා ගෙන මෙම නිර්මාණය කර ඇති අතර මෙහි කථනය සිදු වන්නේ කිර්තිමත් ස්වභාව විද්‍යාඥයකු හා වනජීවි වාර්තාකරණය සඳහා නම් දැරූ අයකු වන ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝගේ හඬින්. 

‘ප්‍රාග් ඓතිහාසික ග්‍රහයා’ යන අරුත් ඇති මෙය නම් කර ඇත්තේ ‘ප්‍රීහිස්ටරික් ප්ලැනට්’ Prehistoric Planet කියායි. කොටස් පහකින් යුත් මේ වැඩ සටහන් මාලාව නිර්මාණය කර ඇත්තේ Apple TV+ නාළිකාව වෙනුවෙන්. මෙය නිපදවා ඇත්තේ BBC ආයතනයේ ස්වභාවික ඉතිහාස අංශයේ (Natural History Unit) චිත්‍රාගාරයේදියි. මෙහි පළවන්නේ එහි පළමු කතාංගයට ඇතුළත් වූ මීට වසර මිලියන 66කට පෙර ක්‍රිටේසියානු අවධියේ වෙරළාශ්‍රිතව ජීවත් වූ ඒ විස්මිත ඩයිනසෝරයන් ගැන කතාවයි.

මිලියන ගණනක් ඈත අතීතයේ, අද අප උතුරු ඇමෙරිකාව ලෙස හැඳින්වූ භූමිය මහා සාගරයෙන් දෙකඩ වී තිබුණු අතර එහි ප්‍රධාන භූමියෙන් වෙන්වුණු ජීවයෙන් පිරුණු දූපත් රැසක් තිබුණා. එහි ප්‍රධාන භූමියේ සිට පැමිණ වෙරළ හරහා මුහුද දෙසට වැටුණු දැවැන්ත අඩි සලකුණු කීපයක් විද්‍යාඥයන්ට හමුවුණා. මේ අඩි සලකුණු එදා මිහිමත ජීවත් වූ අංක එකේ විලෝපිකයාට අයත් යැයි විද්‍යාඥයන් විසින් හඳුනා ගනු ලැබුවා. ඒ අඩි සලකුණුවල අයිතිකාරයා ටයිරැනසෝරස් රෙක්ස් හෙවත් ටී. රෙක්ස් නම් ඩයිනසෝරයායි. 


ටී. රෙක්ස් නම් දැවැන්ත ඩයිනසෝරයා පැටවුන් සමඟ මුහුදේ පිහිනා යමින්..

ටී. රෙක්ස් මුහුදේ පිහිනන්න දක්ෂයි. හිස්, වායු පිරුණු අස්ථිවලින් සමන්විත බැවින් සහ පසුපස ගාත්‍රා (පාද) ඉතාමත් ශක්තූමත්ව පිහිටා තියෙනවා. ඌ දුවන්න පනින්න පමණක් නොවෙයි, පිහිනන්නත් හපනෙක්. මෙහි රූප රාමුවක මුහුදේ පිහිනන ටී. රෙක්ස් වැඩිහිටි පිරිමි සතකු දැක ගන්න පුළුවන්. ඇත්තටම නම් ඒ පුංචි පවුලක්. මේ තාත්තා කෙනෙක්. පැටවුන් ඌ පසුපසින් පිහිනා එනවා. ටී රෙක්ස් ඩයිනසෝරයන් පැටවුන්ට සෙනෙහස පාන බව පොසිල සාක්ෂිවලින් විද්‍යාඥයන්ට පැහැදිලි කර ගෙන තියෙනවා. 

තාත්තා සමඟ පිහිනන ටී. රෙක්ස් පැටවුන් දැන් ලොකුයි. තාත්තා සමඟ, ඔහු පසුපස යමින් වික්‍රමාන්විත ක්‍රියාවල යෙදෙන්න තරම් ඔවුන් දැන් ලොකුයි. ටී රෙක්ස් තාත්තා, පැටවුන් පස් දෙනා ද සමඟ ඔවුන් ඉදිරියෙන් ඇති දූපත බලා එක එල්ලේ පිහිනනවා. 

ඔවුන් යායුතු දුපතට තවත් ඇත්තේ කෙටි දුරක් පමණයි. ඒත් ඒ කෙටි දුර අනතුරුදායකයි. මේ මුහුදේ ගැවසෙන තවත් දරුණු විලෝපිකයෙකු ඉන්නවා. ඒ, මෝසසෝරස් නමැති දැවැන්ත ජලජ උරගයෙක්. මෝසසෝරස් ප්‍රමාණයෙන් ටී. රෙක්ස්ට වඩා දැවැන්තයි. බර ටොන් 15 ක් විතර වෙනවා. ඒ අවධියේ අප ග්‍රහලොවේ ජීවත් වූ විශාලතම විලෝපිකයා මෝසසෝරස් තමයි. මෝසසෝරස් සාමාන්‍යයෙන් ගොදුරු කර ගන්නේ කැස්බෑවුන්. ඒත් ටී. රෙක්ස් සහ පැටවුන්, මෝසසෝරස්ට රසවත් ආහාරයක් වනු නිසැකයි. හොඳින් වැඩුණු වැඩිහිටි ටී. රෙක්ස් ඩයිනසෝරයකුට, වතුරේ පිහිනමින් සිටියදී වුවත් මෝසසෝරස් වැනි විලෝපිකයකු සමඟ සටන් කර ආරක්ෂා වීමට බොහොම හොඳින් හැකියාව තියෙනවා. 

මෙවැනි අවස්ථාවක පුංචි පැටවුන් සියලු දෙනාම තාත්තා අසලින් ම සිටිය යුතුයි. ආරක්ෂාවට ඇති හොඳම මඟ එයයි. මේ පැටවුන් පස් දෙනාගෙන් සිවු දෙනකු ශක්තිමත්. ඔවුන් හතර දෙනා ටී. රෙක්ස් තාත්තා සමඟ හරි හරියට පිහිනනවා. උන් පිහිනමින් සිටින්නේ තාත්තා අසලින්මයි. ඔවුන්ට මඳක් පසුපසින් පිහිනමින් එන පැටවා දුර්වල එකෙක්. ඌට වේගයෙන් පිහිනීමට හැකියාවක් නැහැ. සත්ව ලෝකයේ දිවි රැක ගත හැක්කේ ශක්තිවන්තයන්ට පමණි‍ කියා න්‍යායක් තියෙනවා. අවුරුදු මිලියන 66 කට පෙර අතීතයේත් ඒක එහෙමමයි. 

ටී. රෙක්ස් සහ පැටවුන් හතර දෙනා ඔවුන්ගේ ගමනාන්තයට පැමිණ සිටිනවා. දූපතේ වෙරළ ඔවුන් ඉදිරියේ දිස්වෙනවා. දුර්වල පැටවා තවමත් ඉන්නේ මීටර් කීපයක් පසුපසිනුයි. මෝසසෝරස්, උගේ පිහිනීමේ වේගය වැඩි කරනවා. හිටිහැටියේ ම දුර්වල පැටවා දිය යටට ඇදී යනවා. ඌ මෝසසෝරස් ගේ ගොදුරක් බවට පත් වෙනවා. 

වෙරළට ගොඩ වූ ටී. රෙක්ස් තාත්තා ආපසු හැරී සාගරය දෙස බලනවා. එක් පැටවකු අහිමි වුණු බව ඔහුට අවබෝධ වෙනවා. පොසිල විද්‍යාඥයන් අනාවරණය කර ගත් කරුණු අනුව, ඔවුන් පවසන්නේ ටී. රෙක්ස් පැටවුන්ගෙන් වැඩි දෙනකු පළමු වසර ඇතුළත මියයනවා. එක්කෝ ඔවුන් තවත් විලෝපිකයකු ගේ ගොදුරක් බවට පත් වෙනවා, නැත්නම්, ලෙඩ රෝගවලින් මියයනවා. 

එවේලේ ඉතිරි වූයේ ශක්තිමත් පැටවුන් හතර දෙනා විතරයි. ඒ පැටවුන් සමඟ ටී. රෙක්ස් තාත්තා වෙරළේ ඇවිද ගෙන යනවා. ඒ දුපත ඔවුන්ට ආරක්ෂිතයි. එපමණක් නොව, කෑමට ගත හැකි බොහෝ දේ එහි තියෙනවා. 

ඒ දූපත යෝධ කැස්බෑවුන්ගේ නිවහන වෙලයි තියෙන්නෙ. මේ යෝධ කැස්බෑවුන්ගෙන් හොඳින් වැඩුණු එකෙකු ටොන් දෙකක් පමණ බරින් යුක්තයි. යෝධ කැස්බෑවුන් දූපතට පැමිණෙන්නේ බිත්තර දැමීමටයි. බිත්තර දැමීමට පැමිණි මේ යෝධ කැස්බෑවන් ගැන ටී. රෙක්ස් තාත්තා උනන්දුවක් දක්වන්නේ නැහැ. ටී. රෙක්ස් තාත්තා සොයා යන්නේ වෙරළේ ඇති යෝධ කැස්බෑවකුගේ මළකුණක් වෙතයි. ටී. රෙක්ස් පැටවුන් ද කැටුව මේ දූපතට පිහිනා ආවේ මේ මළකුණ නිසයි. මළකුණෙන් නැඟුණු දුඟඳ ටී. රෙක්ස් ගේ තියුණු නැහැයට දැනුනේ දියඹේ සිටියදියි. 

කැස්බෑවාගේ මස් ආහාරයට ගන්නට නම්, කැස්බෑවා උඩුබැලි අතට හරවා ගැනීමට සිදු වෙනවා. ඊට හේතුව පිටේ ඇති ඝන කටුව ටී. රෙක්ස්ගේ තියුණු ශක්තිමත් දත්වලින් පසාරු කිරීම අසීරු වන නිසයි. ටී. රෙක්ස් තාත්තා සිය හොම්බෙන් තල්ලු කරමින් මියගිය කැස්බෑවාගේ සිරුර උඩුබැලි අතට හරවනවා. මේ කැස්බෑ සිරුරෙන් පහසුවෙන් ම මස් රාත්තල් 2,000 ක් පමණ ලබා ගන්නට පුලුවන්. සොබාදහමේ ශක්තිමත් හකුපාඩා ඇති සත්වයකු ලෙස ටී රෙක්ස් හැඳින්විය හැකියි. ටොන් පහකට වඩා වැඩි බලයක් යොදමින් ඒ මස් ඉරා ගැනීමට උගේ හකුපාඩාවලට පුලුවන්. තමන්ටත් කටක් ලැබේවි කියා පැටවුන් බලා ඉන්නවා. ඒත් ටී. රෙක්ස් තාත්තා ඒ සිරුර බෙදා හදා ගැනීමට කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ නිසා තාත්තා කෑම ගෙන ඉවර වෙනකම් ඔවුන්ට බලා ඉන්න වෙනවා. 


වැඩ සටහන නිපදවූ හොලිවුඩ් සිනමාකරු 
ජෝන් ෆැව්රෝව්

ටී. රෙක්ස් තාත්තා, සිය දරුවන් මේ දූපතට රැගෙන ආවේ ඔවුන්ට තනිව ම දඩයම් කරන හැටි කියා දෙන්නටයි. ඒත් ඔවුන්ට වෙරළේ ගොදුරු කර ගත හැකි සතකු පෙනෙන්නට නැත. හිරු අවරට යද්දී මේ තත්ත්වය වෙනස් වෙනවා. බිත්තර පුපුරා වැලි අතරින් පුංචි කැස්බෑ පැටවුන් මතු වෙනවා. උන් වහ වහා මුහුද කරා ඇදෙනවා. පුංචි කැස්බෑ බබාලා ටී. රෙක්ස් බබාලාට රස කෑමක් විය හැකියි. ටී. රෙක්ස් තාත්තා, ටී. රෙක්ස් පැටවුන් රැගෙනැවිත් ඇත්තේ ඔවුන්ට දඩයම් පුහුණු විය හැකි අපූරු තැනකටයි. 

දඩයමට වඩා ටී. රෙක්ස් පැටවුන් සිටින්නේ කැස්බෑ පැටවුන් ගැන කුතුහලයෙන්. එක් ටී. රෙක්ස් පැටවකු කැස්බෑ පැටවකු අල්ලා සිය පාදයෙන් තද කර ගන්නවා. උගේ පාදයේ බරට කැස්බෑ පැටවා වැලි යට සැඟවෙනවා. ඒ එක්කම ටී. රෙක්ස් පැටවාගේ අවධානය යොමු වන්නේ අසලින් ඇදෙන තවත් කැස්බෑ පැටවකු කෙරෙහියි. ඌ ඒ කැස්බෑ පැටවා වෙතට දුවනවා. වැලි යට සැඟවුණු කැස්බෑ පැටවා මතු පිටට අවුත් යළි වෙරළ කරා යන ගමන අරඹනවා. ගොදුරු අල්ලා ගැනීම් ගැන ටී. රෙක්ස් පැටවුන්ට ඉගෙනීමට බොහෝ දේ තියෙනවා. ටී. රෙක්ස් තාත්තාටත්, පැටවුන්ටත්, ඇති තරම් ආහාර මෙහි තියෙනවා. තනිව ම ගොදුරු අල්ලා ගැනීමට බැරි නම්, තව කෙනකු අල්ලා ගත් ගොදුරක් ඩැහැගෙන යන ආකාරය පුහුණු වෙන්නත් පැටවුන්ට පුළුවන්. 

- ලුසිත ජයමාන්න 

ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ ඉදිරිපත් කරන Apple TV+ Prehistoric Planet ඇසුරිනි 

එහි ප්‍රචාරක වීඩියෝව පහත යොමුවෙන් නරඹන්න 

 www.cnet.com/culture/entertainment/dinosaurs-look-real … 


Post a Comment

0 Comments