සිහිනයක් තරමටවත් ජීවිතය මායිම් නොකළ දඩබ්බර රෝයි

11190
Getty Images

1975 අවුරුද්දේ දවසක්. ඕස්ට්‍රේලියාවේ ඉඳලා එංගලන්තයේ බර්මිංහැම් නුවරට පදිංචියට ආපු කෙන් සහ බාබරා යුවල එක්තරා ආයතනයකට යනවා. ඔවුන්ගේ පරමාර්ථය තමන්ගේ පවුලට අලුත් සාමාජිකයෙක් එක් කරගන්න එක. එහෙමත් නැත්නම් මේ ආයතනයෙන් දරුවෙක් තෝරාගෙන හදාවඩා ගන්න එක.

මෙහෙම ගියපු කෙන් සහ බාබරා යුවලට එක්තරා දරුවෙකුට හිත යනවා. මේ දරුවා ඩෙන්මාර්ක්, ස්වීඩන් සහ කැරිබියානු සම්භාව්‍යයක් සහිතව උපත ලද කළු හම තියන කුඩා දරුවෙක්.

නීත්‍යානුකූල දරුවා තමන් සතු කරගන්න කලින් ඔවුන් දෙදෙනාට මේ දරුවත් එක්ක සතියක කාලයක් ගත කරන්න ලැබෙනවා. ඒක නිකන් ටෙස්ට් රන් එකක් වගේ එකක්.

කෙන් සහ බාබරා එක්ක එයාලගේ ගෙදර ගියපු මේ දරුවා සතිය පුරාවටම කළේ මහ රෑට පවා අවදි වෙලා අඬපු එක විතරයි. දිගටම තියාගන්න තරමේ විශේෂත්වයක් මේ දරුවා පෙන්නුම් කළේම නැහැ.

ඇන්ඩෲ සයිමන්ඩ්ස් කුඩා අවධියේ දී

සතියට දෙකකට පස්සේ දරුවා ආපහු අරන් යන කෙන් සහ බාබරා යුවලගෙන් භාරකාර ආයතනය අහනවා දරුවාගේ ක්‍රියාකාරීත්වය කොහොමද කියල.

“හරිම ආදරණීය දරුවෙක්. අපි කැමතියි මෙයාව හදාගන්න වගේම මෙයාගේ වගකීම භාර ගන්න.”, බාබරා කියනවා.

නීත්‍යානුකූල ලියකියවිලි අත්සන් කළාට පස්සේ 1975 වසරේ ජුනි 9 වැනිදා උපන් මේ කුඩා දරුවාට ඇන්ඩෲ සයිමන්ඩ්ස් කියලා අලුත් නමක් ලැබිලා නව අනන්‍යතාවයක් ලැබෙනවා.

ඊට ටික කාලෙකට පස්සේ කෙන්, බාබරා දෙන්නා කුඩා ඇන්ඩෲත් රැගෙන ආපහු ඕස්ට්‍රේලියාවට එනවා. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාවට අනගි ක්‍රීඩකයෙක් අනර්ඝ තරග දිනවන්නෙක් ලැබෙන්නේ අන්න එහෙම.

“මාව අරන් හදාගත්ත දරුවෙක් කියන එක පොඩි කාලේ ඉඳලම මට නුහුරු දෙයක් වුනේ නෑ. හැබැයි මගේ ඇත්ත අම්මයි තාත්තායි කවුද කියන එක අදටත් මම දන්නේ නෑ”

ඇන්ඩෲ සයිමන්ඩ්ස් පස්සේ කාලෙක ඔහුගේ චරිතාපදානයේ කියනවා.

තමන්ගේ අලුත් දෙමාපියන් දෙන්නා එක්ක ඔස්ට්‍රේලියාවේ උතුරු ක්වීන්ස්ලන්තය පැත්තට සංක්‍රමණය කරපු ඇන්ඩෲ ඉක්මනින් ඕස්ට්‍රේලියානු එළිමහන් ජීවිතය එක්ක පෙමින් බැඳෙනවා. මාළු අල්ලන්න, දඩයමේ යන එක වගේ ඕස්ට්‍රේලියානුවන්ට හුරුපුරුදු ක්‍රියාකාරකම් ඇන්ඩෲට නිරායාසයෙන්ම අල්ලලා යනවා.

ඕස්ට්‍රේලියානුවන්ට ගසට පොත්ත වගේ බැඳිලා ගියපු තව දෙයක් ඉගෙන ගන්න කුඩා ඇන්ඩෲට හැකියාව ලැබෙන්නේ මේ අතරේ.

ඒ තමයි ක්‍රිකට්.

“තාත්තා තමයි මගේ මුල්ම ක්‍රිකට් පුහුණුකරුවා වෙන්නේ. ඔහු ක්‍රිකට් පිස්සෙක්. මට මතකයි ඔහු V හැඩයට පන්දුවට පහරදෙන්නට මාව පුරුදු පුහුණු කරපු හැටි. ඉස්කෝලේ පටන් ගන්න කලින්, ඉවර වුනාම ඔහු මට දිගින් දිගටම පන්දු යැව්වා. “

ඇන්ඩෲ කුඩා කාලයේ මුලින්ම ක්‍රීඩා කළේ ටවුන්ස්විල් වොන්ඩරස් කනිෂ්ඨ ක්‍රිකට් සමාජයට. එහි තරග සහ පුහුණුවීම් සඳහා සතියකට දෙවතාවක් කිලෝමීටර 270ක් සිය වාහනයෙන් ඇන්ඩෲ කැටුව යන්නට කෙන්ට සිදු වුනා.

පාසල් තරගවල, ප්‍රාන්ත තරගවල දස්කම් පෑ ඇන්ඩෲ සයිමන්ඩ්ස්ගේ ඊළඟ නවාතැන වෙන්න තිබුණේ ජාතික කණ්ඩායමක්. හැබැයි පොඩි පරහක් තිබුණා. ඒ ඔහු නියෝජනය කරන්නේ මොන රටේ ජාතික කණ්ඩායම ද කියන ප්‍රශ්නය.

ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම මෙන්ම ඔහු උපන් එංගලන්තය මෙන්ම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කරන්නත් ඇන්ඩෲ සුදුසුකම් සපුරා ගෙන හිටියේ.

ඕස්ට්‍රේලියාව ද, එංගලන්තය ද?

“හැමවිටම ඔස්ට්‍රේලියාව අංක එක. මට හැමදාම ඕන වුනේ ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම නියෝජනය කරන්න. එකේ කිසිම සැකයක් නෑ”, ඇන්ඩෲ සයිමන්ඩ්ස් පසුකලෙක ප්‍රකාශ කළා.

1995 වසරේ ඇන්ඩෲ එංගලන්තයේ ග්ලොස්ටෂයර් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරනවා. එවර තරග වාරයේ ග්ලැමෝගන් ප්‍රාන්තයට එරෙහිව පැවති තරගයේ දී මුල්ම වතාවට ඇන්ඩෲ සයිමන්ඩ්ස් කියන නම ලෝකයා හොඳින්ම දැනගන්නවා.

ඇන්ඩෲ ඒ තරගයේ පළමු ඉනිමේ ලකුණු 254ක් රැස් කරගන්නවා. හයේ පහර 16ක් සහ හතරේ පහර 22ක් මේ ඉනිමට අන්තර්ගත වෙනවා. ඒක අතිශයින්ම ප්‍රචණ්ඩ ඉනිමක්. සයිමන්ඩ්ස් ගේ ඒ ප්‍රහාරය පළමුපෙළ ඉනිමක ක්‍රීඩකයෙකු එල්ල කළ වැඩිම හයේ පහර ප්‍රමාණය වුනා.

ග්ලැමෝගන් කණ්ඩායමට එරෙහිව සයිමන්ඩ්ස්ගේ ප්‍රහාරය

“මට තාමත් දහනම හැවිරිදි සිමෝගේ මූණ මැවිලා පේනවා. ප්‍රාන්ත තරගාවලිය ආරම්භ වෙන්න කළින්ම ඔහු එංගලන්තයට ඇවිත් තිබුණා.

ජවසම්පන්න සිමෝ අපි හැමෝටම ඉස්සරහින් හිටියේ. ඔහු අපේ ශරීර යෝග්‍යතාව වෙනත් මට්ටමකට අරන් යන්න නිරායාසයෙන්ම දායක වුනා. ඔහු අපට අරන් ආවේ නැවුම් බලාපොරොත්තුවක්.”

එංගලන්ත කණ්ඩායමේ හිටපු කඩුලු රකින ක්‍රීඩක ජැක් රසල් ඇන්ඩෲ සයිමන්ඩ්ස් ගැන විස්ඩන් සඟරාවට කිව්වේ එහෙමය.

1998 පාකිස්තානු කණ්ඩායමට එරෙහිව ලාහෝර් නුවර දී එක්දින තරග වරම් දිනා ගන්නට සයිමන්ඩ්ස් සමත් වෙනවා.

1998 වසරේ ජාත්‍යන්තර තරග වරම් දිනා ගත්තත් කැපී පෙනෙන යමක් කරන්න සයිමන්ඩ්ස්ට හැකි වුනේ නෑ.

2003 අවුරුද්දේ ඒ ඔක්කොම වෙනස් වුනා.

2003 ක්‍රිකට් ලෝක කුසලානය පැවැත්වුණේ අප්‍රිකානු මහද්වීපයේ. නමුත් දකුණු අප්‍රිකාවට යන ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නිත්‍ය තැනක් සයිමන්ඩ්ස්ට වෙන්වෙලා තිබුණේ නෑ.

හැබැයි ඔහු ගැන විශ්වාස කරපු කෙනෙක් හිටියා. ඔහු ඕස්ට්‍රේලියානු නායක රිකී පොන්ටින්.

තම සහජ හැකියාව ඒ වන විටත් ක්‍රියාවට නංවන්නට නොහැකි වූ සයිමන්ඩ්ස් ගැන පොන්ටින්ගේ තිබුණේ විශාල කලකිරීමක්. 2003 ලෝක කුසලාන සංචිතයට සයිමන්ඩ්ස් ඇතුළු වන්නේ පොන්ටින්ගේ දැඩි ඉල්ලීම නිසා.

ඒ වෙද්දී එක්දින ජාත්‍යන්තර තරග 54කට ක්‍රීඩා කරලා හිටපු සයිමන්ඩ්ස් රැස් කරගෙන හිටියේ අර්ධ ශතක දෙකක් පමණයි.

“ලෝක කුසලාන සංචිතයට තේරී ඇති බවට පුවත මට ලැබුණේ මා පුහුණුවීම්වල යෙදී සිටිය දී. කෙනෙකු මා වෙත පැමිණ පැවසුවා මා ලෝක කුසලානයට යන ඕස්ට්‍රේලියානු සංචිතයට මා තෝරාගෙන ඇති බව.

මා ඔහුගෙන් ඇසුවා ඔබට හොඳටම විශ්වාස ද කියල. ඔහු එය නිවැරදි ආරංචියක් බවට නැවත වතාවක් ස්ථීර කළා. මට ඇති වුනේ සෑහෙන පුදුමයක්. එකක් මා එතරම් දස්කම් අතර නොසිටීම. අනෙක බ්‍රැඩ් හොජ් වැනි ක්‍රීඩකයින් දේශීය තරගවල දී ඉහල දස්කම් දක්වන ක්‍රීඩකයින් ලෝක කුසලාන සංචිතයට තෝරා නොගැනීම. නමුත් මට ඒ වෙනුවෙන් කිරීමට කිසිවක් නොමැති බවත් මගේ සේවය කණ්ඩායමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා සූදානම් වීම හැර වෙනත් විකල්පයක් මට නොමැති බවත් මට හැඟී ගියා.”

සයිමන්ඩ්ස් තමන්ගේ තෝරාගැනීම ගැන පසුකලෙක කිව්වේ එහෙම.

ඕස්ට්‍රේලියානුවන් එවර ලෝක කුසලානයේ මංගල තරගයට ක්‍රීඩා කළේ පාකිස්තානු කණ්ඩායමට එරෙහිව. තරගයට පෙර ඕස්ට්‍රේලියානු කණ්ඩායමට මරු පහරවල් කිහිපයක් එල්ල වුනා.

ෂේන් වෝන් තහනම් උත්තේජක ලබා ගැනීමේ වරදට නැවත ඕස්ට්‍රේලියාවට හරවා යැවුණා. ඩැරල් ලීමන්ට තරග තහනමක්. ඒ ඔක්කොම අස්සේ මයිකල් බෙවන්ට ආබාධයක්.

හැමෝම හිතුවේ පාකිස්තානුවන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම කුඩුපට්ටම් කරලා දාවි කියලා. හැබැයි වීරයෝ බිහිවෙන්නේ ඒ වගේ අසීරු තැන්වලින්.

එදා ලකුණු පුවරුවේ ලකුණු 86 සටහන් විට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මුල්පෙළ කඩුලු හතරක් දවා ගැනීමට පාකිස්තානුවන් සමත් වුනා. ඇඩම් ගිල්ක්‍රිස්ට්, මැතිව් හේඩ්න්, ඩේමියන් මාටින් සහ ජිමී මහාර් ඒ වන විට සිටියේ විවේකාගාරයේ. පළපුරුදු පාකිස්තානු වේගපන්දු කරුවන් දෙදෙනා වසීම් අක්‍රම් සහ වකාර් යුනිස් හොඳම රිද්මයක ඉන්න වෙලාවක අපේ කතානායකයා පිටියට ආවා.

එදා ජොහැන්ස්බර්ග් නුවර වොන්ඩරස් ක්‍රීඩාංගණය දෙවනත් කරමින් සයිමන්ඩ්ස් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 143ක්.

සයිමන්ඩ්ස් මෙලෙස දරුණු ලෙස පන්දුවට පහර දෙන අවස්ථාවේ දී ඔස්ට්‍රේලියාවේ වාසය කරන පුද්ගලයෙකු සිටියේ දැඩි නොඉවසිලිමත් බවකින්.

මම කොයි තරම් නොයිවසිලිමත් බවකින් හිටියාද  කියනවා නම් උවමනාවෙන්ම තරගය මගහැරියා.

කෙනෙක් මට ඇවිත් කිව්වා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩුලු කිහිපයක් දැවී ගොස් ඇති.

ඇන්ඩෲ සයිමන්ඩ්ස් පාකිස්තානු කණ්ඩායමට බැට දෙමින්

බවත් ඇන්ඩෲ පන්දුවට පහර දෙන බවත්. එවලේ මම මගේ මෝටර් රථය පදවමින් සිටියේ. නමුත් රේඩියෝව ක්‍රියාත්මක කරන්නවත් මට ධෛර්යයක් තිබුණේ නැහැ.

පැයකට පමණ පසු බාබරාගෙන් දුරකථන ඇමතුමක් ලැබුණා.

‘ඔබ තරගය බලනවා හෝ අහනවා ද? ඇන්ඩෲ දැන් ලකුණු 96යි.’ ඇය කිව්වා.

මම ඒ අවස්ථාවේ දී නිවසට කිට්ටුවෙමින් හිටියේ. මම ගෙදරට ළඟා වන විට ඔහු ශතකය රැස් කරගෙන අවසන්. නමුත් බාබරා එය පන්දුවෙන් පන්දුවට පටිගත කරගෙන තිබුණා.

කෙන් සයිමන්ඩ්ස් මම නිවීහැනහිල්ලේ ප්‍රොජෙක්ටර් එකක දාගෙන තනියම මේක බලනවා කියලා හිතාගත්තා.”

පසුකලෙක සිය පුත්‍රයාගේ වික්‍රමය ගැන පුවත්පතකට ආවර්ජනය කළේ එහෙම.

2003 ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට දිනා දෙන්නට මූලික මෙහෙවරක් කළ අයෙක් සයිමන්ඩ්ස්. ඔහු අවසන් පූර්ව තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ලකුණු 91ක් වාර්තා කළා. එය තරගය ඕස්ට්‍රේලියාව පැත්තට නැඹුරු කරගන්නට මනා පිටිවහලක් වුනා.

කොයි තරම් දක්ෂයෙක් වුනත් සයිමන්ඩ්ස්ගේ ජීවිතයේ පාලනය කළ නොහැකි සාධකයක් තිබුණා. ඒ මත්පැන්වලට තිබුණ අධික ලොල් බව.

2005 වසරේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ තරගයකට පෙර දින අධික ලෙස මත්පැන් පානය කළ සයිමන්ඩ්ස් කණ්ඩායමෙන් දොට්ට දාන්න ඕස්ට්‍රේලියානු බලධාරීන්ට සිදු වෙනවා. මේ තරගයෙන් නොසිතූ පරිදි ඕස්ට්‍රේලියානු කණ්ඩායම බංගලාදේශයේ දේශය හමුවේ පරාජයට පත් වෙනවා.

2008 වසරේ අගෝස්තුවේ කණ්ඩායමේ පුහුණු සැසියක් මග හරිමින් සයිමන්ඩ්ස් මාළු ඇල්ලීමට යනවා.

“පුහුණු සැසිය තිබුණේ හවස. ඉතින් මම උදේ වරුවේ මාළු අල්ලන්න ගියා. මම එද්දී මගේ දුරකථනයට ඇමතුම් 27ක් ඇවිත් තිබුණා. ඉන් පහක් මයිකල් හසීගෙන්.

කොහෙද මිනිහෝ ඉන්නේ? කියා කෙටි පණිවිඩ කිහිපකුත් එහි තිබුණා.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් හවස තිබූ පුහුණු සැසිය උදේට දාගෙන. මට එය දැන ගන්න ලැබුණේ නෑ. ඒක තනිකරම සන්නිවේදනය ගැන ප්‍රශ්නයක්. නමුත් නැවත වතාවක් ක්‍රිකට් ඔස්ට්‍රේලියා හිටියේ මට හරහට”, සයිමන්ඩ්ස් පැවසුවා.

සයිමන්ඩ්ස් බීමතින් ඇති කර ගත් ප්‍රශ්න එතනින් නැවතුණේ නෑ. 2009 විස්සයි විස්ස ලෝක කුසලාන සංචිතයෙන් ඔහු ඉවතට විසි වෙන්නෙත් බීමත්කම නිසා.

සයිමන්ඩ්ස් සිය ප්‍රියතම විනෝදාංශයේ යෙදෙමින්

ඉන්දියානු ක්‍රීඩක හර්බජාන් සිං සමඟ ඇති කර ගත් වාග් ප්‍රහාරය, වඳුරු ගැටුම සයිමන්ඩ්ස්ගේ ජීවිතයේ විශාල කළු පැල්ලමක්.

“මට සහ අනෙක් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ට අවශ්‍යම වෙලාවේ ක්‍රිකට් ඔස්ට්‍රේලියා අපිට පිටුපෑවා. ඔවුන් ඉන්දියාවේ සල්ලිවලට සහ බලයට හිස නැමුවා”, ඒ සිදුවීම ගැන සයිමන්ඩ්ස්ගේ මතය වුනේ ඒ ආකාරයෙන්.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ගැන ඔහුට තිබූ විශ්වාසය සම්පූර්ණයෙන්ම නැති වුනා. ඒ වගේම මේ සිද්ධියෙන් පස්සේ පරණ ඇන්ඩෲ සයිමන්ඩ්ස් දැකගන්න බැරි වුනා කියලා තමයි ඔහුගේ සමීපතමයෝ කිව්වේ.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාවට ඔහු කොයිතරම් වැදගත් ක්‍රීඩකයෙක්ඔ ද කියනවා නම් අනෙක් ක්‍රීඩකයින්ට හාත්පසින්ම වෙනස් කොන්ත්‍රාත්තුවක් ඔහු වෙනුවෙන් සූදානම් කෙරෙනවා. නමුත් සයිමන්ඩ්ස් ඇතුලේ හිටපු බේබද්දා බේරගන්න ඒ කොන්ත්‍රාත්තුවට ඉඩක් ලැබෙන්නේ නෑ.

අතිශය විශාල සහජ හැකියාවක් තිබූ සයිමන්ඩ්ස්ට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ දොර සදහටම වැහෙන්නේ මේ කාලයේ.

“ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාවට ඔහු වෙනුවෙන් මීට වඩා දෙයක් කරන්න බෑ”.

හැමදාම සයිමන්ඩ්ස් වෙනුවෙන් පෙනී හිටපු රිකී පොන්ටින් කනගාටුවෙන් ප්‍රකාශ කළා.

අසමසම සහජ හැකියාවක් තිබූ නමුත් ඒ හැකියාව උපරිමයෙන් ක්‍රියාවේ යොදවන්න සයිමන්ඩ්ස්ට හැකියාවක් ලැබුණේ නැහැ.

පහුගිය මැයි 14 වැනිදා තමන්ගේ මෝටර් රථය පදවා ගෙන යමින් හිටපු සයිමන්ඩ්ස් අනතුරකට මුහුණ දෙමින් ජීවිතය හැර යනවා. ඒ වෙද්දී ඔහුට වයස අවුරුදු 46ක්.

සයිමන්ඩ්ස් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කළේ ටෙස්ට් තරග 26කට, එක්දින තරග 198 කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 14කට. ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්ත ගැන කියවෙද්දී සයිමන්ඩ්ස්ගේ නම ඉස්සරහින් කියවෙන්නේ නෑ. නමුත් ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේ නම ගිය පුරාවෘත්තයන් වලට වඩා මතකයන් ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට ඉතිරි කර ගිය අයෙක්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<