Home Sinhala තරගාවලිය අරඹමින් ඕස්ට්‍රේලියාවට වාර්තා ගත ජයක්

තරගාවලිය අරඹමින් ඕස්ට්‍රේලියාවට වාර්තා ගත ජයක්

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

507

වසර 6ක නිහැඬියාවකින් පසුව ශ්‍රී ලංකාවට පැමිණි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (7) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වුනේ ඕස්ට්‍රේලියාව කඩුලු 10ක දැවැන්ත ජයග්‍රහණයට හිමිකම් කියමින්.

කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියා නායක Aaron Finch පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර පන්දු යවන්නන්ට සහ පිතිකරුවන්ට සමබර තණතීරුවක් මේ තරගය සඳහා සූදානම් කර තිබුණා.

වත්මන් විස්සයි විස්ස ලෝක ශූරයින් වන ඕස්ට්‍රේලියාව නිත්‍ය දඟපන්දු යවන්නෙක්, නිත්‍ය වේගපන්දු යවන ක්‍රීඩකයින් තිදෙනෙක්, පිතිකරුවන් සිව්දෙනෙක් සහ තුන් ඉරියව් ක්‍රීඩකයින් තිදෙනෙක් සමඟ මේ තරගයට අවතීර්ණ වුනා.

සත්කාරක ශ්‍රී ලංකාව නිත්‍ය වේගපන්දු යවන්නන් දෙදෙනෙක්, තුන් ඉරියව් ක්‍රීඩකයින් තිදෙනෙක් සහ එක් නිත්‍ය දඟපන්දු යවන්නෙක් සහ පිතිකරුවන් පස්දෙනෙක් සමඟ තරගයට අවතීර්ණ වුනා.

දින 823කට පසුව 100%ක ප්‍රේක්ෂක සහභාගීත්වයක් සහිතව ශ්‍රී ලංකාව තුල පැවැත්වෙන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය මෙය වීම විශේෂත්වයක්.

පළමු විස්සයි විස්ස තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

ශ්‍රී ලංකාව – ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), චරිත් අසලංක, භානුක රාජපක්ෂ, දසුන් ශානක (නායක), වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, නුවන් තුෂාර.

ඕස්ට්‍රේලියාව – Aaron Finch (නායක), David Warner, Mitchell Marsh, Glenn Maxwell, Steve Smith, Marcus Stoinis, Matthew Wade (කඩුලු රකින්නා), Ashton Agar, Mitchell Starc, Kane Richardson, Josh Hazlewood. 

ආරම්භක පිතිකරුවන් ලෙස නිස්සංක සහ ගුණතිලක පිටියට අවතීර්ණ වුනු අතර ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 39ක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් වුනා.

4 පහර 3ක් සහ එක් 6 පහරක් සමඟ පන්දු 15ක දී ලකුණු 26ක් රැස් කළ ගුණතිලකගේ දැවී යාමෙන් පසුව අංක 3 ස්ථානයෙන් පිටියට පිවිසි අසලංක ඒ සඳහා හැකි උපරිම සාධාරණය ඉටු කරමින් ලකුණු අතරට පැමිණියා.

පළමු පන්දුවාර 10 තුල කඩුල්ලක් පමණක් දැවී ලකුණු 79ක ලකුණු සටහනක් නිර්මාණය කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනේ දැවැන්ත ලකුණු පුවරුවක් වෙත යාමට අවශ්‍ය මූලික අඩිතාලම සකස් කරගෙනයි. නමුත් එය මේ තරගයේ දී සැබෑ නොවන සිහිනයක් බවට පත්වීමට ගත වුනේ පන්දුවාර 3-4ක් පමණයි.

නිස්සංක සහ අසලංක දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 46ක් තුල වේගවත් ලකුණු 61ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා මුල්පෙළ තවදුරටත් සවිමත් කිරීමට සමත් වුනා.

සිය අත්දැකීම් සහ පරිණත බව මනාව ප්‍රයෝජනයට ගත් Starc යොමු කළ තරමක් වේගය අඩාල කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා 4 පහර 2ක් සහ 6 පහරක් සමඟින් පන්දු 31ක් තුල ලකුණු 36ක් වාර්තා කරගෙන සිටි නිස්සංක දවා ගැනීමට Starc සමත් වුනා.

4 පහර 3ක් සහ 6 පහරක් සමඟ පන්දු 34ක දී ලකුණු 38ක් රැස් කරගෙන යම් ස්ථාවරත්වයක් ගොඩනංවාගෙන සිටි අසලංක අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසු වුනා. එතැන් පටන් ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ නිතර දකින දුර්වලතාවයක් වන මැදපෙළ කඩුලු කිහිපයක් අවම ලකුණක් තුල බිඳ වැටීම ආරම්භ වුනා.

Photo Album – Australia tour of Sri Lanka 2022 – 1st T20I

කඩුලු බිඳ වැටීම සහ ලකුණු නොලැබීමේ පීඩනයට හසුවුණු ශ්‍රී ලංකා මැදපෙළ කඩුලු 7ක් ලකුණු 18ක් තුල දවා ගැනීමට ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්නන් සමත් වුනු අතර ශ්‍රී ලංකා පිතිකරුවන් කඩුලු අතර දිවයාමේ දී දැක්වූ දුර්වලතාවය ද එම කඩුලු බිඳ වැටීම සඳහා විශාල බලපෑමක් එල්ල කළා.

ඒ අනුව පන්දුවාර 12ක් තුල ලකුණු 100කට කඩුලු 2ක් ලෙස සටහන් වූ ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ අවසන් කඩුලු 8 පන්දුවාර 7කුත් පන්දු 3ක් තුල ලකුණු 28කට දවා ගැනීමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් සමත් වුනා.

කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ සහ නායක දසුන් ශානක යන ක්‍රීඩකයින් තිදෙනාම 14 වැනි පන්දුවාරය තුල දවා ගැනීමට Hazlewood සමත් වුනු අතර එය ශ්‍රී ලංකා ලකුණු සටහනට විශාල මරු පහරක් වුනා. වනිඳු හසරංග ලකුණු 17යි. අවසානයේ දී ශ්‍රී ලංකාව පන්දුවාර 19කුත් පන්දු 3ක් අවසානයේ සියල්ලන්ම දැවී රැස් කරගත්තේ ලකුණු 128ක් පමණයි.

දක්ෂ පන්දු යැවීමක නිරත වුනු Hazlewood සහ Starc ශ්‍රී ලංකා පිතිකරණය සුන්කර දමමින් පිළිවෙළින් කඩුලු 4ක් සහ කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා. Richardson ලකුණු 22කට එක් කඩුල්ලක් දවා ගත් අතර ශ්‍රී ලංකාව මේ තරගයේ දී නිලකුණු පන්දු 53ක් වැය කර තිබුණා.

ලකුණු 129ක පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට අවතීර්ණ වුනු ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් වන නායක Finch සහ Warner ලකුණු 134*ක සාර්ථක නොදැවුණු ආරම්භක සබඳතාවයක් ගොඩනංවමින් සිය කණ්ඩායම ජයග්‍රහණය වෙත මෙහෙය වූවා.

ඕස්ට්‍රේලියානු පිතිකරුවන් දෙදෙනෙක් පළමු කඩුල්ල වෙනුවෙන් මේ දක්වා ගොඩනංවා තිබෙන තෙවැනි හොඳම සබඳතාවය මෙයයි. එසේම ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රතිවාදී කණ්ඩායමක ආරම්භක පිතිකරුවන් දෙදෙනෙක් ශ්‍රී ලංකාවේ දී ගොඩනැංවූ හොඳම සබඳතාවය ලෙස ද මේ සබඳතාවය ලෝක ක්‍රිකට් වාර්තා අතරට එක් වුනා.

සිය ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ 22 වැනි අර්ධ ශතකය වාර්තා කර ගත් Warner 4 පහර 9ක් සමඟ පන්දු 44ක දී නොදැවී ලකුණු 70*ක් රැස් කරගෙන දස්කම් දැක්වූවා. එම වාර්තා කර ගත් අර්ධ ශතකයත් සමඟම එක් ප්‍රතිවාදී කණ්ඩායමකට එරෙහිව නොකඩවා අර්ධ ශතක 5ක් වාර්තා කර ගත් ලොව පළමු ක්‍රීඩකයා බවට පත්වීමට Warner සමත් වුනා.

Warner සමඟ එක්ව පන්දුවාර 14ක් තුල ඔවුන්ගේ ජයග්‍රහණය වෙත සිය කණ්ඩායම මෙහෙය වූ නායක Finch සිය විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ 17 වැනි අර්ධ ශතකය වාර්තා කරගෙන නොදැවී ලකුණු 61*ක් රැස් කරගත්තේ පන්දු 40ක් තුලයි. ඔහුගේ එම මනරම් ඉනිමට 4 පහර 4ක් සහ 6 පහර 4ක් ඇතුළත් වුනා.

දෙරට අතර පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි විස්ස තරගය හෙට (8) ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

  • තරගයේ වීරයා – Josh Hazlewood

Result


Sri Lanka
128/10 (19.3)

Australia
134/0 (14)

Batsmen R B 4s 6s SR
Dhanushka Gunathilake c Mitchell Marsh b Josh Hazlewood, 26 15 3 1 173.33
Pathum Nissanka b Mitchell Starc 36 31 2 1 116.13
Charith Asalanka run out () 38 34 3 1 111.76
Kusal Mendis c Ashton Agar b Josh Hazlewood, 1 5 0 0 20.00
Bhanuka Rajapaksa c Matthew Wade b Josh Hazlewood, 0 1 0 0 0.00
Dasun Shanaka lbw b Josh Hazlewood, 0 2 0 0 0.00
Wanidu Hasaranga c Aaron Finch b Mitchell Starc 17 15 2 0 113.33
Chamika Karunaratne run out (Steve Smith) 1 2 0 0 50.00
Dushmantha Chameera c David Warner b Mitchell Starc 1 5 0 0 20.00
Maheesh Theekshana c David Warner b Kane Richardson 1 4 0 0 25.00
Nuwan Thushara not out 0 3 0 0 0.00


Extras 7 (b 0 , lb 0 , nb 0, w 7, pen 0)
Total 128/10 (19.3 Overs, RR: 6.56)
Bowling O M R W Econ
Mitchell Starc 4 0 26 3 6.50
Josh Hazlewood, 4 0 16 4 4.00
Mitchell Marsh 2 0 21 0 10.50
Glenn Maxwell 2 0 18 0 9.00
Kane Richardson 3.3 0 22 1 6.67
Ashton Agar 4 0 25 0 6.25


Batsmen R B 4s 6s SR
Aaron Finch not out 61 40 4 4 152.50
David Warner not out 70 44 9 0 159.09


Extras 3 (b 0 , lb 0 , nb 0, w 3, pen 0)
Total 134/0 (14 Overs, RR: 9.57)
Bowling O M R W Econ
Maheesh Theekshana 4 0 25 0 6.25
Nuwan Thushara 2 0 21 0 10.50
Dushmantha Chameera 4 0 50 0 12.50
Wanidu Hasaranga 2 0 27 0 13.50
Chamika Karunaratne 2 0 13 0 6.50



තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<