HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

හිරුගේ මෙතෙක් නුදුටු දසුන් දක්වන සෝලා ඕබිටර් යානය

හිරුගේ ගිනි දලු හිරුගේ ධ්‍රැව අතර සැතැපුම් 15,000ක් දිගට විහිදෙනවා. ඒවා ඉත්තෑවාගේ ඇඟේ කූරු මෙන් වන නිසා ‘ඉත්තෑවා’ කියා අන්වර්ත නාමයකුත් විද්‍යාඥයන් හිරු හැඳින්වීමට යොදා ගෙන තියෙනවා. එසේ ගිනි දලු විහිදෙන බව දැක ගත හැකිවූයේ පසුගිය දා හිරුගේ දර්ශන එවීමට විශේෂයෙන් සකසා යැවූ සෝලා ඕබිටර් (Solar Orbiter) යානයෙන්. මේ සූර්ය අග්නි ජාලා විවිධාකාරයට විහිදෙන බව ඒවායින් පෙනී යනවා. මේ සෝලා ඕබිටර් යානය නිෂ්පාදනය කළේ එක්සත් රාජධානියයි.


සෝලා ඕබිටරය සූර්යයාට වඩාත් ළං වූයේ මාර්තු 26 වැනිදායි. ඒ බුධ ග්‍රහයාගේ 
කක්ෂය ඇතුළතින් යන විටයි.

මේ අපූරු දසුන් සෝලා ඕබිටර් යානය හසුකර ගෙන ඇත්තේ පසුගිය මාර්තු 26 වැනිදා සූර්යයාට වඩාත් සමීප වූ උපහේලිකයක (perihelion) යමින් සිටියදීයි. මේ යානය සූර්යයාගේ දර්ශන ලබා ගත්තේ හිරුට ආසන්න ග්‍රහයා වූ බුදගේ කක්ෂයක යන අතරතුරයි. ඒ වන විට යානය තිබුණේ පෘථිවියත් හිරුත් අතර දුර මෙන් තුනෙන් එකක දුරකයි. ඒ සූර්ය ගිනි ජාලා විහිදෙන මොහොතේ ම පෘථිවියේ සිටින අපට ඒවා දැක ගන්නට සැලැස්වීම විද්‍යාවේ තවත් හාස්කමක් ලෙස සැලකිය හැකියි. ඒවායින් තාක්ෂණයට හා අභ්‍යවකාශගාමීන්ට සිදුවන බලපෑම් ගැන අනාවැකි කියන්නට පුලුවන්. 

මෙහි ඇති අනෙක් සිත්කලු දසුන වන්නේ හිරු මත තාපය අනුව උණුසුම් වූ හා සිසිල් වූ ගෑස්වලින් නිකුත් වන මේ සූර්ය ජාලා හැම අතට ම විහිදෙන දර්ශනීය ආකාරයයි. හිරුට ‘ඉත්තෑවා’ කියා අන්වර්ත නාමයක් තබන්නට විද්‍යාඥයන් පෙලඹුණේ ඒ නිසයි.


ඕබිටරය එවූ සූර්යයා වෙතින් විහිදෙන අග්නිජාලාවක පින්තූරයක්.

එක්සත් රාජධානියේ අභ්‍යවකාශ ඒජන්සියේ අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳ ප්‍රධානී කැරොලීන් හාපර් (Caroline Harper) කියන්නේ “ඇත්තෙන් ම අතිශයින් විස්මයජනක දෙයක්, හිරුගේ ගිනිදැල් විහිදන ආකාරය පිළිබිඹුවකින් දැක ගන්නට ලැබීම. මේ තරම් සමීපව මේ දසුන් දැක ගන්න ලැබුණු පළමුවන වතාව” කියලයි. 

“අපට මෙහිදී සෝලා ඕබිටර් යානය එවන මේ පිළිබිඹුවලින් අපට ඉගෙන ගන්නට ලැබෙනවා විතරක් නොවෙයි, හිරුට වඩාත් සමීප වන විට එය දැනෙන ආකාරයත් අපට අත් විඳින්න පුලුවන්. ඒ වගේම ඒ හිරුගේ ගිනිදැල් හා මෑත කාලීනව සිදුවූ සූර්ය ස්කන්ධ විමෝචනයත් දැක ගන්න පුලුවන්” 

මේ සෝලා ඕබිටර් යානය තුළ විද්‍යාත්මක උපකරණ 10ක් තියෙනවා. ඒවායින් 9ක් යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියෙන්, එකක් ඇමරිකාවේ නාසා ආයතනයෙන්. මේ සියල්ලම එක්ව ක්‍රියා කරන්නේ සූර්යයාගේ ක්‍රියාකාරිත්වය ගැන සොයන්නයි. 


සූර්යයාගේ ධ්‍රැව අතර ප්‍රචණ්ඩ අග්නිජාලා සැ. 15000ක් පමණ දුරට විහිදෙයි.

ඕබිටර් යානයේ ප්‍රධාන අරමුණ වන්නේ සූර්යයා හා සූර්යගෝලය (heliosphere) හෙවත් සූර්යයා ඇතුළු අප ඉන්නා මුළු සෞරග්‍රහ මණ්ඩය ඇතුළත් විශාල බුබුළ තුළ ඇති ග්‍රහ වස්තූන් අතර සම්බන්ධතා ගැන ගවේෂණය කිරීමයි. ඒ බුබුළ පිරී ඇත්තේ ආරෝපිත විද්‍යුත් අංශුවලින්. ඒවායින් වැඩි හරියක් සූර්යයා මත ඇතිවන සූර්ය සුළංවලින් ගසා ගෙන ආ අංශුයි. ඒවා තමයි, සූර්ය චුම්බක ක්ෂේත්‍රවල බලයෙන් අභ්‍යවකාශයේ කාලගුණය නිර්මාණය කරන්නේ. 

ඊළඟට මේ යානය හිරුට තවත් ටිකක් ළං වෙන්නේ ඔක්තෝබර් මාසයේ 13 වැනිදායි. ඒ අවස්ථාවේ යානය හිරුට ළං වෙන්නේ පෘථිවිය හා සූර්යයා අතර දුර මෙන් 0.29 ගුණයකිනි. ඊට කලින් එනම් සැප්තැම්බර් 4 වැනිදා ඔබිටර් යානය සිකුරු අසලින් ගමන් කරනවා. 

මේ ඕබටර් යානයේ ඇති ආන්තික පාරජම්බුල කිරණ ප්‍රතිබිම්බ ජනක උපකරණයට අදාළ පරීක්ෂණ කටයුතු කරන පිරිසේ ප්‍රධානියා බෙල්ජියමේ රාජකීය ග්‍රහ නිරීක්ෂාගාරයේ ඩේවිඩ් බර්ග්මන්ස් (David Berghmans) නම් විද්‍යාඥයායි. සූර්ය කොරෝනාව ලෙස හැඳින්වෙන සූර්යයාගේ ‘වායුගෝලයේ’ පහළ ස්තරවල අධි විස්තාරක පිළිබිඹු නිර්මාණය කරන්නේ ඒ උපකරණයෙන්. ඔහු එයින් ලැබුණු පිළිබිඹු ගැන විස්මයට පත් වී සිටිනවා. 

ඒ පරීක්ෂණ කණ්ඩායමට දැන් තියෙන රාජකාරිය මේ පිළිබිඹු විශ්ලේෂණය කිරීමයි. මේක ලේසි පහසු කටයුත්තක් නොවෙයි. සෝලා ඕබිටරය විශාල ක්‍රියාකාරකම් රැසක දත්ත හකුළා එවනවා. ඔවුන්ට එක්වරම තමන් දකින දේ ගැන නිගමනයක් දෙන්න බැහැ. එයට හේතුව කිසියම් සිදුවීමක ලක්ෂණ දුටු පමණින් කිව නොහැකි වීමයි. ඒ සඳහා ඔවුනට අතීතයේ වෙනත් අභ්‍යවකාශ ගමන්වල දී ලත් පිලිබිඹු සමඟ සසඳා බලන්න වෙනවා. 

“මේ සෝලා ඕබිටර් යානය කවදා හෝ අක්‍රියවුණු පසුවත් අපගේ මේ පරීක්ෂණ කටයුතු අවසන් වන්නේ නැහැ. දැනමත් ඒ මගින් තව වසර ගණනාවක් කරන්න දත්ත අපට ලබා දී තියෙනවා.” බර්ග්මන්ස් වැඩි දුරටත් කියනවා. 

සූර්යයාගේ ධ්‍රැව කලාපවල පළමුවරට පිළිබිඹු එවූ සෝලා ඕබටර් යානය 

බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනයක් වූ සෝලා ඕබිටර් යානය උඩු ගුවනට යැවීමට මූලික වූයේ යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියයි. ඇමරිකාවේ නාසා ආයතනයේ පූර්ණ අනුග්‍රහය ඇතුවයි. එහි අරමුණ වුණේ හිරු සහ පෘථිවිය ඇතුළු සෞරග්‍රහ මණ්ඩලයට ඇති හිරුගේ බලපෑම ගැන සොයන්නයි. 

මේ චන්ද්‍රිකාව උඩුගුවනට යවනු ලැබුවේ 2020 පෙබරවාරි මාසයේදියි. එය සූර්යයා වෙත පළමුවරට සමීප වූයේ 2020 ජූනි මාසයේදියි. එංගලන්තයේ ස්ටෙවනේජ්හි දි තනනු ලැබූ මේ චන්ද්‍රිකාවට ඉතා පරිස්සමෙන් තෝරාගනු ලැබූ දුරේක්ෂ 10ක් හා දිසා සංවේදක උපකරණ (direct sensing instruments) සවි කෙරුණා. 


සෝලා ඕබිටරය සූර්යයා වටා මෙතෙක් ගිය ආකාරය.

සැලසුම් කර ඇති පරිදි මේ සෝලා ඔබිටර් යානය සූර්යයා මතු පිට සිට කි.මී 43,000ක් (සැ. 26,000ක්) තරම් දුරකට සමීප වීමට නියමිතයි. කොරෝනා යනුවෙන් හැඳින්වෙන සූර්යයාගේ ප්‍රචණඩකාරී බාහිර වායුගෝලය නිරීක්ෂණය කිරීමට විද්‍යාඥයන් මෙය යොදා ගැනීමට බලාපොරොත්තු වෙනවා. මේ කලාපයෙන් තමයි, පෘථිවියේ ඉලෙක්ට්‍රොනික උපකරණවලට බලපෑම් ඇති කරන, සූර්යයාගෙන් නිකුත්වන සූර්ය සුළං අභ්‍යවකාශයට විදිනු ලබන්නේ. ඔවුන් මේ ඕබිටරයෙන් බලාපොරොත්තු වෙනවා, මේ සුර්ය සුළං ඇති වීම පිළිබඳ කරුණු හෙළිදරවු කර ගැනීමට. එමගින් අනාගතයේ ඇති වන එවැනි තත්වයන් ගැන කල් තියා හොඳින් අනාවැකි කියන්නට ඔවුන්ට හැකි වේවි. 

මේ සෝලා ඕබිටරයේ ඇති තාප නිවාරකවලට සූර්යයාට සමීප වන විට ලැබෙන අධික තාප තත්වයන් සෙල්සියස් 600ක් (ෆැරන්හයිට් 1112ක්) දක්වා දැරිය හැකියි. එය නාසා ආයතනය විසින් 2018 අගෝස්තු මාසයේදී සූර්යයාගේ කොරෝනාව නිරීක්ෂණය සඳහා යවනු ලැබූ පාකර් සෝලා නිරීක්ෂණ යානය (Parker Solar Probe) සමග සමීප කටයුතු කරනු ඇති. 

- පර්සි ජයමාන්න 


Post a Comment

0 Comments