Main Logo

Thursday 2 June 2022

දහනවයත් විස්සත් දෙක ම අහෝසි කරමු

 දහනවයත් විස්සත් දෙක ම අහෝසි කරමු


අද රටේ ප්‍රශ්නය ආර්ථික ප්‍රශ්නයක් මිස දේශපාලන ප්‍රශ්නයක් නො වෙයි. ආර්ථික ප්‍රශ්නය ප්‍රධාන වශයෙන් ම මධ්‍යම පාංතිකයන් ඇති කළ එකක්. මධ්‍යම පාංතියන් අතරත් හොරු ඉන්නව. ඔවුන් සමහරු රාජ්‍ය සේවකයන්. ඒ ඇතැම් නිලධාරීන් ද සමගින්. දේශපාලනඥයන් අතර ද හොරු ඉන්නවා. ඒ්ත් මේ කිසිම හොරකමකින් නොවෙයි වර්තමාන ආර්ථික අර්බුදය ඇති වී තියෙන්නෙ. ආර්ථික අර්බුදය මධ්‍යම පාංතික ජීවන රටාව විසින් හා සුබ සාධන රාජ්‍යය විසින් ඇති කෙරුණක්. අපේ අධිපරිභෝජනය, බොරු ෂෝක්, බොරු උගත්කම වගේ ම පිනට කෑම, එහෙම නැත්නම් වැඩ නොකර කෑම එයට ප්‍රධාන හේතු වෙනවා. මධ්‍යම පංතිය විශේෂයෙන් හා අප සියල්ලන් පොදුවේ තමයි ප්‍රශ්නය ඇති කර තිබෙන්නේ.

අප කලක සිට හැමදාම බැලුවේ එංගලන්තයක් වෙන්න නැත්නම් ඇමරිකාවක් වෙන්න, එහෙමත් නැත්නම් සිංගප්පූරුවක් වෙන්න. අප ලංකාවක් වෙන්න උත්සාහ කළෙ නැහැ. ඒ කියන්නෙ බරකරත්තයෙන් ආපසු අනුරාධපුරයට යන්න නො වෙයි. පිටිනුත් ගන්න දෙයක් අරගෙන (අවශෝෂණය කරගෙන) අපේ සංවර්ධනයක් කිරීම, අපේ විධියකට සංවර්ධන ආකෘතියක් තනා ගැනීමයිි ඉන් අදහස් වෙන්නෙ. අප අපේ සංස්කෘතියේ අලුත් දේ සංස්කරණය කරගන්න ඕන. අපට සිංගප්පූරුවක් වෙන්න ඕන නැහැ. ජීවන රටාවෙන් සිංගප්පුරුවක් වෙන්න ගිහින් තමයි මේ ආර්ථික අර්බුදය ඇති වුණෙ.

ඊයෙ පෙරේදා කවුදෝ කියා තිබුණා මහින්ද රාජපක්‍ෂ රුවන්වැලි සෑයෙ චුඩා මාණික්‍යයෙනුත් ගසා කැව කියා. රුවන්වැලියෙ නායක හාමුදුරුවන් එය අසත්‍ය කියා ප්‍රකාශයක් කර තිබුණා. ඒ කොහොම වෙතත් චූඩා මාණික්‍යයෙන් ගසා කෑව නම් ඒක යම රජු හරි හතරවරම් දෙවියන් හරි බලා ගනීවි. චූඩා මාණික්‍යය රුවන්වැලි සෑයෙ තිබුණත් නැතත් සෑයටවත් ආරථිකයටවත් ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. ඊනියා නිරාගමික පඬි නැට්ටකු තර්ක කරන්න පුළුවන් ඒ ගසා කෑව නම් ආර්ථිකයට එකතුවක් වෙනව කියලත්.

ඒ කොහොම වෙතත් මෙවැනි ප්‍රචාර ගෙන යන්නන් යම් වග කීමකින් බැඳෙන්නෙ නැද්ද? තම මඩිය තර කර ගැනීමට විවිධ කතා ප්‍රචාරය කරන ජඩමාධ්‍යවේදීන් මෙවැනි ප්‍රචාර සම්බන්ධයෙන් වග කියන්නෙ නැත්ද? ලංකාවෙ නීතිය අනුව එවැනි ප්‍රචාර කරන අය තමන් ප්‍රචාරය කරන දේ ඔප්පු කිරීමට බැඳී නැත් ද? මෙරට උගත් මධ්‍යම පංතිය සැදී පෑදී සිටින්නේ මෙවැනි ප්‍රචාර සත්‍ය ලෙස පිළිගැනීමට. ඔවුන්ට පාසලේ හා විශ්වවිද්‍යාලයේ ලැබෙන අධ්‍යාපනයේ විශිෂටත්වය නිසා ඔවුන් හිතන්නෙ නැහැ. පිළිගන්නවා පමණයි. ඒ අතර දෙමවුපියන්ගෙන් ලැබෙන දැනුම පිළිගන්න එපා කියලත් කියනවා. ඒවා මිථ්‍යා මත කියනවා. අර ඊනියා මහාචාර්යවරු කියන්නෙ එපා දුවේ ඒ කතා අහන්න කියා. මරණින් සියල්ල කෙළවර වෙනවා කියල ගත්ත ම පඬියන් වෙන්නත් කාමයෙහි වරදවා හැසිරෙන්නත් තවත් දේ කරන්නත් පහසුයි.

පඬි නැට්ටන් දන්නෙ නැහැ කළ යුත්තේ කුමක් ද කියා. ඔවුන් සමහර විට ලෙනින්ගෙ කළ යුත්තෙ කුමක් ද පොත කියවල ඇති. විසිඑක්වැනි සංශෝධනය ගෙනෙන එක නොවෙයි මේ ආණ්ඩුවේ ප්‍රධාන කාර්යභාරය. කාමයෙහි වරදවා හැසිරෙන එකවත් නො වෙයි. රනිල් අගමැති ලෙස මේ ආණ්ඩුව ඇති කර ගත්තෙ ආර්ථික අර්බුදයට විසඳුමක් ගේන්න. රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති කරනු ලැබුයෙ විමල් උදය ප්‍රමුඛ ඊනියා ජාතිකවාදීන් විසින්. ඔවුන හුදෙක් පෞද්ගලික කරුණු මත පදනම්වෙලා දේශපාලන අර්බුදයක් ඇති කළා. එයට ජඩමාධ්‍යයෙන් විශේෂයෙන් අපේ දේ රැකගන්නේ යැයි කියන්නන්ගෙන් ආධාරයක් ලැබුණා. එය ආර්ථික අර්බුදය සමග පටලවා ගන්න ඕන නැහැ. ඒත් රනිල් බලයට ගෙන ඒමට කටයුතු කළ අය ඉතා උපක්‍රමශීලීව ආර්ථික අර්බුදය රාජපක්‍ෂලා හොරකම් කිරීම නිසා ඇති වූවක් බව පෙන්වා විමල්ලා සමග දේශපාලන අර්බුදය දිගට ගෙනිහින් මහින්ද ඉවත් කළා. අද ඔවුන් සූදානම් වන්නේ ගෝඨාභය තියා ගෙන ජනාධිපති තටු කපා අගමැතිට තටු ලබා දෙන්න.

දහනවය සම්මත කර ගත්තෙ නීති විරෝධීව. ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් අනුමත කෙරුණු පනත් කෙටුම්ත නො වෙයි සම්මත කෙරුණෙ. කාරක සභා අවස්ථාවෙ ව්‍යවස්ථාවට එකඟ නැති විවිධ වගන්ති ඇතුළත් කරල කතානායකගෙ අත්සන ගත්තා. ඒ අර කුප්‍රසිද්ධ කරුවල ජයසූරිය. කතානායක අත්සන් කළාට පස්සෙ අධිකරණයටත් ඒ සම්බන්ධයෙන් කිසිවක් කරන්න බැහැ. ඒ වෙනස් කරන්න පුළුවන් නැවතත් පාර්ලිමේන්තුවෙන් ම පමණයි.

එබැවින් 2020 දි මේ ආණ්ඩුව කළ යුතුම දෙයක් වුණෙ දහනවය අහෝසි කිරීම. ඔවුන් එය කළෙ විස්ස මගින්. එහෙත් විස්ස ගෙනෙන්න තිබුණෙ දහනවය අහෝසි කිරීමේ පනත ලෙස පමණයි. විස්සෙන් වැඩි වැඩ කරන්න ගිය එකයි අවුල වුණෙ. මා දැක්ක සජබ උගත් මන්ත්‍රීවරු තර්කයක් ගේනවා දහනවයෙන් ජනමත විචාරණයක් නැතුව විධායක ජනාධිපති ක්‍රමය කප්පාදු කළා නම් දැන් කරන්න බැරි මොකද කියල. ඔය සිරසක් නැති තැන්වලින් හදපු මන්ත්‍රීවරුන් කියන කතා සතපහකට ගණන් ගන්න ඕන නැහැ. දහනවය ජනමත විචාරණයක් නැතිව සම්මත කර ගත්තෙ වංචාවෙන්. කළ යුතුව තිබුණෙ ඒ අහෝසි කිරීමයි. එහෙත් විස්ස වැඩි වැඩ කරන්න ගියා.

මේ පාර්ලිමේන්තුව ව්‍යවස්ථාවට අත තියන්න සුදුූුසුු එකක් නො වේය කියා මා කිවුවෙ ජනාධිපතිවරයටත් පෙර. මා හිතනවා මේ පාර්ලිමේන්තුව ඒ සඳහා සුදුසු නැහැ කියා. මේ පාර්ලිමේන්තුව කළ යුතුව තිබුණෙ දහනවය අහෝසි කිරීම පමණයි. ඒත් ඒ වෙනුවට විස්සක් ගෙනැල්ල තවත් අවුල් කර ගත්තා. මා හිතන්නෙ අද මේ පාර්ලිමේන්තුව කළ යුත්තෙ විසිඑකක් ගෙනැල්ල දහනවයයි විස්සයි දෙකම අහෝසි කරන එක පමණයි. පාර්ලිමේන්තුව ඉදිරි කාලය සම්පූර්ණයෙන් ම ගත කරන්න ඕන ආර්ථිකය මනා පදනමක සැලසුම් කරන්න. ඒ කියන්නෙ සිංගප්පූරුවක් කරන්න නම් නො වෙයි.

මා දන්නව දහනවය යම් යම් සංශෝධන සහිත ව සම්මත කර ගන්න මහින්ද රාජපක්‍ෂ අගමැති කාලෙ උත්සාහ දරපු බව. ඒ උත්සාහය සාර්ථක වුණෙ නැහැ. දහනවයට විශාල විරුද්ධත්වයක් තියෙන බව එයිනුන පැහැදිලි වෙනවා. අද විසිඑක මගින් විවිධ පුද්ගලයන් තම තමන්ගෙ දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන්න උත්සාහ ගන්නවා. සමහරූන්ට ඕන විධායක ජනාධිපති ක්‍රමය කප්පාදු කරල දහතුන තව තවත් ශක්තිමත් කරල දෙමළ ජාතිවාදී අවශ්‍යතා ඉටු කර ගන්න. රනිල්ට ඕන විවිධ කමිටුවලට සභාවලට බලය දීල ඒවට තමන්ගෙ හෙංචයියන් පත් කරන්න. ඒ සමග තමන්ට බලයක් නැති පාර්ලිමේන්තුවෙ බලය අඩු කරන්න.

අගමැතිට විධායක බලතල දෙන එකේ භයානකකම දැන් ඇස් පනාපිට ඔප්පු වෙනවා. ඊනියා ප්‍රජාතන්්‍රවාදය යටතෙ ඡන්දෙ දිනන්න බැරි අයකු වුණත් අගමැති වෙන්න පුළුවන්. එවැන්නකුට බලතල දිමද කළ යුතු නැත්නම් මුළු රටෙන් ම පත්වන අයකුට බලය දීමද කළ යුත්තෙ. රනිල් තමන්ට භාර දුන් ආර්ථික වැඩේ නොකර විජේදාස රාජපක්‍ෂ හවුල් කරගෙන රට තව තවත් අර්බුදයට යවන්න හදන බව පැහැදිලියි. රනිලට් තමන්ට භාර දුන් වැඩේ කරන්න බැරි නම් කළ යුත්තේ නැවත විපක්‍ෂයට යැවීමයි. ආතල්ගම තිබුණ නම් එතැනට ම යවන්න තිබුණ.