HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අලුත්ම නිපැයුම ලෝකයේ කුඩාම රොබොට්ටා මෙන්න!

රොබට් විද්‍යාඥයන් අපූරු නිර්මාණයක් කරලා තියෙනවා. ඒක ඇහැට නොපෙනෙන තරම් ම කුඩායි. ඒ කුඩා රොබෝ කකුළුවෙක්. හරිම හුරුබුහුටියි කොතරම් කුඩාදැයි කීවොත් මේ කකුළු රොබොට්ටා දැක ගන්නට නම් විශාලන කාචයක් නැතිව බැහැ. රොබොට්ටාගේ පළල මිලි මීටර් 0.5ක්. අඟල්වලින් නම් අඟල් 0.02ක්. ඒ අනුව, දුරස්ථ පාලකයකින් ක්‍රියාත්මක වන, ඇවිද යා හැකි ලොව කුඩාම රොබොට්ටා ලෙස මේ අපූරු නිර්මාණය වාර්තා අතරට එක්වනු ඇති. 

ඇහැට නොපෙනෙන තරම් කුඩා මේ රොබෝ කකුළුවා බලන්න 
විශාලන කාචයක් අවශ්‍ය වෙනවා.

මේ රොබොට්ටා, කකුළුවකුට වඩා මැක්කෙකු වගේ යැයි කීවොත් නිවැරදියි. මැක්කෙක් තරම් කුඩා කකුළුවාට නැමෙන්න, ඇඹරෙන්න, බඩගාන්න, ඇවිදින්න, හැරෙන්න විතරක් නෙමෙයි පනින්නත් පුලුවන්. ඒ විතරක් නෙවෙයි, පුංචි තැන්වලින් යන්න එන්න වගේම රිංගන්නත් හැකියාව තියෙනවා. 

මේ වීඩියෝවෙන් කුඩා කකුළු රොබොට්ටා චලනය වන හැටි බලන්න. 

මේ අපුරු රොබොට්ටා නිපදවා ඇත්තේ, ඇමරිකා එක්සත් ජනපදයේ ඉලිනොයිස්හී 'නෝර්ත් වෙස්ටර්න්' විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් විසිනුයි. මේ වගේ රොබොට්ටකු නිපදවීමට විද්‍යාඥයන්ට සිත් පහළ වී ඇත්තේ 'පීකි-ටෝ' කකුළුවන් දැකීමෙනි. ඒත් ඇසට නොපෙනෙන මෙවැනි කුඩා කකුළු රොබොට්ටකු නිර්මාණය කළේ මොකටද? විනෝදයටද? නැහැ. මේ රොබොට්ටකුට කළ හැකි දේ බොහොමයි. 

“කර්මාන්ත ක්ෂේත්‍රයේදී යන්ත්‍ර සූත්‍ර නිපදවන්න, අලුත්වැඩියා කරන්න, එකලස් කරන්න මෙවැනි රොබොට්ටන් රංචුවක් යොදන්න පුළුවන්. සිරුරේ සැත්කම් සඳහා ‌මේ රොබොට්ටන් යොදා ගන්න පුළුවන්. අවහිර වූ ධමනි පිරිසුදු කරන්න, අභ්‍යන්තර රුධිර වහනයක් නවත්වන්න, පිළිකා සෛල ආදිය ඉවත් කරන්න, ශල්‍ය සහායකයන් ලෙස මේ රොබොට්ටන් යොදා ගන්න පුලුවන්. ඇත්තම කීවොත් මේ රොබොට්ටන් යොදා ගෙන කරන්න බැරි දෙයක් නැහැ” යැයි මේ නිර්මාණ ව්‍යාපෘතියට නායකත්වය දෙන මහාචාර්ය ජෝන් රොජර්ස් පැහැදිලි කරනවා. 

කාසියක දාරයේ රැඳී ඉන්නා රොබෝ කකුළුවා

“රොබෝ තාක්ෂණය එසේත් නැතිනම් රොබෝ විද්‍යාව හරිම උනන්දුයි මේ වගේ රොබෝලා යොදා ගෙන තමන්ට අවශ්‍ය පරිදි ඔවුන් හසුරුවමින් ඔවුන්ගෙන් අවශ්‍ය වැඩ කරවා ගැනීමට.” යැයි මහාචාර්යවරයා වැඩිදුරටත් කියනවා. 

දැන් මේ රොබෝ පණ ගැන්වෙන්නේ කෙසේදැයි යන පැනය ඔබේ සිතට නැගෙනවා නිසැකයි. ඇසට නොපෙනෙන මේ රොබෝට බලය සපයන්න සංකීර්ණ දෘඪාංග කිසිවක් යොදා ගෙන නැහැ. හයිඩ්‍රොලික හෝ විදුලිය හෝ වැනි බල ශක්තියක් යොදා ගන්නේත් නැහැ. ඒ වෙනුවට යොදා ගෙන ඇත්තේ ඒ රොබොට්ටා තනන ලෝහයේ ඇති ප්‍රත්‍යස්ථතා ගුණයයි. ඒ අනුව චලනය සිදුවන්නේ ‘පොලා පැනීම’ වැනි ක්‍රමයකටයි.  

මේ රොබොට්ටා ඉහළ පනින හැටි මේ වීඩියෝවෙන් නරඹන්න! 


මේ රොබට්ටා සංවර්ධනය කිරීමේ දී මේ නිෂ්පාදක කණ්ඩායම මේ නිපැයුම සඳහා හැඩ-මතකය ඇති මිශ්‍ර ලෝහයක් භාවිත කර තියෙනවා. ඉතා සියුම් ලේසර් දහරකින් එයට තාපය ලබා දුන් විට ඒ තුළ ගබඩා කර ගෙන ඇති මතක හැඩය අවදි වෙනවා. චලකන සිදුවන්නේ ඒ අනුවයි. මෙය වටා ඉතා තුනී වීදුරු ස්තරයක‍් යොදා ඇති නිසා සිසිල් වෙන විට ඉක්මනින් ම කලින් හැඩයට යළිත් පත් වෙනවා. 

මෙහිදී ලේසර් දහරක් යොදා ගෙන රොබොට්ටාගේ සිරුරේ විවිධ තැන් රත් කෙරෙන අතර ඒ අනුව රොබොට්ටා මතකයේ හැඩය අනුව වෙනස් වෙමින් චලනය සිදු වෙනවා. ලේසර් දහර එල්ල කරන දිසාව අනුව රොබොට්ටා යන දිසාව තීරණය කරන්න පර්යේෂකයන්ට පුලුවන්.

මේ රොබෝ කකුළුවාට බලය සැපයෙන්නේ විදුලියෙන්වත්, හයිඩ්‍රොලික ක්‍රමයටවත් නෙවෙයි. සිරුරේ ඇති ප්‍රත්‍යාස්ථ ශක්තියෙන්

“මෙහි ව්‍යුහය ඉතාම කුඩා නිසා සිසිල් වීමත් ඉතාමත් ඉක්මනින් සිදු වෙනවා” යයි කියන මහාචාර්ය රොජර්ස්, ‘අනික් අතට මේ රොබොට්ටන් ප්‍රමාණයෙන් කුඩා කිරීමෙන් ඔවුන් වේගයෙන් යන්නට සැලැස්විය හැකියි.”වැඩිදුරටත් කියනවා.. 

මේ රොබොට්ටා තැනීමේ දී පර්යේෂකයන් කළේ මුලින් ම පැතලි ව්‍යුහයක් තැනීමයි. ඉන්පසු එය මඳක් ඇදෙනසුලු රබර් උප ස්තරයකට අලවනු ලැබුවා. මේ රබර් උප ස්තරය මඳක් හැකිලී තිබී දිග හැරෙනවා. ඒ පොලා පැනීමක් බඳු ක්‍රීයාවක්. “මේ එකලස් කිරීමේ තාක්ෂණය යොදා ගෙන අපට අවශ්‍ය ද්‍රව්‍ය තෝරාගෙන අවශ්‍ය ප්‍රමාණයේ හෝ ත්‍රිමාන හැඩයේ එකක් වුනත් නිපදවිය හැකියි.” මහාචාර්ය රෝජර්ස් පැහැදිලි කරනවා. 

“ඒත් අපේ ශිෂ්‍යයන් කුඩා කකුළුවන්ගේ පැති ගමන දැකීමෙන් ඒ කෙරෙන් ලද ආභාසය අනුව යමින් විස්මයජනක නව ක්‍රමයක් නිපදෙව්වා” යැයි මහාචාර්ය රොජර්ස් කියනවා 

“අපේ තාක්ෂණයෙන් අපට හැකියාව ලැබී තියෙනවා විවිධ චලන ආකාරයන් සංවර්ධනය කරන්නට. ඒ අනුව තත්පරයකට සිරුරේ දිග මෙන් අඩක වේගයකින් ගමන් කරවිය හැකියි.” යයි මෙහි න්‍යායාත්මක කාර්යයට නායකත්වය දෙන යොන්ගැන් හුවාන් කියනවා. “මේ ආකාරයේ ඉතා කුඩා ප්‍රමාණයේ භෞමික රොබොට්ටන් තැනීම ඉතාමත් අභියෝගාත්මක එකක්” ඔහු වැඩිදුරටත් කියනවා. 

 - පර්සි ජයමාන්න

Post a Comment

0 Comments