HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

21 ව්‍යවස්ථාවෙන් ආණ්ඩුව අරගලයට කොකා පෙන්නයිද?

ගාලුමුවදොර අරගලය 50 වැනි දිනට පා තබමින් ඉන්නවා. මේ වන විට අරගලයේ තරුණ පරපුර අපේ සමාජයට බොහෝ දේ දිනා දී තියෙනවා. එහෙත් ඔවුන්ගේ මුඛ්‍ය අරමුණ තවම ඉටු වුණේ නැහැ. ඒ 'ගෝඨා ගෝ හෝම්' යන උද්යෝග පාඨය සංකේතවත් කළ මේ පාලන ක්‍රමය සහමුලින්ම වෙනස් කිරීමයි. ඒත් එය ඉටුවෙන බවක්වත් පේන තෙක් මානයේ නැහැ. පාලකයන් එක්කෝ ඒවා තේරුම් අරගෙන නැහැ. නැත්නම් ඒවාට උත්තර දීමට තරම් මොළයක් ඔවුන්ට නැහැ.

ආදරයේ අරගලයට සහය පළ කරමින් සෑමදාම විශාල ජනකායක් 
ගාලුමුවදොර අරගල භූමියට ආවා.

මං මොළයක් නෑ කියලා කියන්නේ අද අපේ රට වැටිලා තියෙන තත්වයවත්, ඉදිරියේ දී මුහුණ පාන්නට වෙන තත්වයවත් ඔවුන්ට යම්තම්වත් තේරනේනෙ නැති හින්දයි. අගමැතිතුමා වුනත් කියන්නේ 'මට ජනතාවගෙ තරහ තේරෙනව' කියලා. ඒකෙන්ම කියවෙනවා, එයාට ඒ දුක දැනෙන්නෙ නැති බව: එයා අපේ ජනතාවට අයත් නැති බව. ඒ නිසා ඒ ජනදුක එයාට දැනෙන්නේ නැහැ. එයා දැන් හිතන් ඉන්නෙ මේ ජනතාව එක වේලක් කාලා විඳින දුක නැති කර දෙන්න මොකක් හරි කරන්නයි. එයාට තවමත් තේරෙන්නේ නැහැ, මේ රටේ සමස්ත ජනතාවට ම ඊට වඩා විශාල භයංකර තත්වයකට මුහුණ පාන්න සිදුවෙලා තියෙන බව. 

ඒක අපේ රටේ පොළොවෙ පය ගහලා ඉන්න හැමෝටම තේරෙනවා. ඒක තේරෙන්නේ නැත්තේ හීන ලෝකවල ඉන්න අපේ දේශපාලන නායකයන්ටයි, පාර්ලිමේන්තුවෙ ඉන්න 225 දෙනාට විතරයි. ඔවුන් කියන්නේ ව්‍යවස්ථාවෙන් ඡන්දයක් තියන්න ඉඩ ලැබෙන කං ජනතාවට 'බකංනිලාගෙන' ඉන්න කියලයි. 

බඩු මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යාම, අත්‍යවශ්‍ය ඖෂධ හිඟය, අව්වැසි, දිවා රෑ, නොතකා ගෑස්, ඩීසල්, පැට්රල්, භූමිතෙල් පෝලිම්වල සිටීම, ඒ අය තාමත් හිතන්නේ ඒවා ජනතාවට වෙච්ච කරදර කියලා. මොකද ඒ අයට කවදාවත් ඒවා ප්‍රශ්න නොවන හින්දා. වරප්‍රසාද යටතේ ඒ හැම දෙයක් ම ලැබෙන හින්දා. මිල කෙතෙක් වැඩි වුනත් ඒ අයට බඩු ගන්න එක අපහසුවක් නැති හින්දා. තමන්ගෙ ගෙදරට ජනතාව කුපිත වෙලා ඇවිත් ගැහුවාමත්, මන්ත්‍රීවරු හිතන්නෙ ඒකත් තමන්ගේ විරුද්ධකාර, ඡන්ද පදනමක් නැති පුංචි පක්ෂවල වැඩක් කියලයි. එහෙම කියලා ඊළඟට පොලිසියට අවලාද නඟනව, නිකං බලන් හිටියා, ඒ ප්‍රහාර වැළැක්කුවෙ නෑ කියලා. තමන් කැමති අය පොලිසියට දාගෙන තියෙද්දිත් එහෙම වුණේ ඇයි කියලා හිතෙන්නෙ නැහැ. පොලිසියෙ ඉන්න අයත් ඒ ජනතාව විඳින දුකම විඳින බව ඒ අය දන්නේ නැති හින්දයි. ජනතාවගෙ නියෝජිතයො හැටියට ගියාට ඒව නොතේරෙන නිසා තමයි. ආදරයේ අරගලයේ තාරුණ්‍යය මේ 225 එපා කියන්නේ: සිස්ටම් චේන්ච් එකක් ඉල්ලන්නේ. 

හිටපු අගමැති මැයි 9 වැනිදා තමා ව්‍යවස්ථාව ආරක්ෂා කරන බව කීවා. ඒ මගින් ජනවරම අවසන් වීමට කලින් ජනාධිපතිටත්, අගමැතිටත් ගෙදර යන්න කීමෙන් අරගලයට එක් වූ පිරිස්, කරන්නේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බව ඇඟෙව්වා.

එදා 9 වැනිදා ගාලුමුවදොර සාමාකාමී අරගලයට ගහන්න තමන්ගේ හෙන්චයියලා උසි ගන්නපු අවස්ථාවේ අපේ හිටපු අගමැති කීවේ, එයා ව්‍යවස්ථාව කඩන්න කිසිවකුටත් ඉඩ නොදෙන බවයි. එයින් ඔහු නො කියා කීවේ සාමාකාමී අරගලයට එක් වූ පිරිස්, ජනවරම ලත් කාලයට කලින් ජනාධිපතිටත්, අගමැතිටත් ගෙදර යන්න කීමෙන් කරන්නේ ව්‍යවස්ථා විරෝධී දෙයක් බවයි. සාමකාමී අදහස් ප්‍රකාශනය ව්‍යවස්ථා විරෝධී දෙයක් නෙමෙයි කියලා කිව්වේ නැහැ. ඊළඟට ඔහු කීවේ තමා තරම් මව්බිමට ආදරය කරන තවත් කෙනෙක් නොමැති බව අවධාරණය කර තමා අස්වී යන්නදැයි රැස්වී සිටි අයගෙන් ඇසුවා. ඒ පිරිස් 'එපා!' කියා කෑ ගැසුවා. එයින් පසුව කතා කළ අය ඒ පිරිස ප්‍රකෝප කරවන කථා කීපයක් පැවැත් වුවා. අවසානයේ එහි නිවේදකයා පවා ගාලුමුවදොරට යන පාර කියා දුන්නා. ඒ පිරිස් ගාලුමුවදොර බලා ගියා. ඊට පස්සේ වච්ච දේ හැමෝම දන්නවා නෙ. 

දැන් ව්‍යවස්ථාවට 21 වැනි සංශෝධනයක් ගෙනල්ලා අරගලයට කොකා පෙන්නන්න හදනව වගෙයි මට පේන්නෙ. එකක් නම් කමක් නැහැ වෙන වෙන ම ව්‍යවස්ථා සංශෝධන දෙකකුත් යෝජනා පොකුරක් ගෙනල්ලා. ඒත් ඒ එකකින්වත් ගාලුමුවදොර අරගලයේ තාරුණ්‍යය ඉල්ලන පවත්නා ක්‍රමයේ වෙනසක්, එනම් 'සිස්ටම් චේන්ජ්' එකක් නම් සිද්ධවෙන්නේ නැහැ. ගෝඨා ජනාධිපති ධූරය අත්හරින්නෙත් නැහැ. ඒ නිසා වෙන ක්‍රමයකට එය අහෝසි කරන්නත් බැහැ. ස.ජ.බ. ගෙනා 21කේ ඇති විධායක ජනාධිපති ධූරය අහෝ කිරීමේ යෝජනාව සාර්ථක කර ගන්න නම් ජනමත විචාරණයකට යායුතුයි කියලයි, නීතිපති උපදසේ දී තියෙන්නේ. ඒ නිසා ඒක ඉක්මනින් වෙන්නේත් නැහැ. 

1972 නව ව්‍යවස්ථාවක් අනුව යමින් ජනරජයක් වූ අවස්ථාවේ සිට ම අප අපේ අයවැය කළමනාකරණය සමතුලිතව කර ගත්තේ නැහැ. ආනයන ආදායමට වැඩිය අපනයන ආදායම වැඩි කර ගැනීමට වැඩි උනන්දුවක් දැක්වූ බවක් පෙනෙන්නේ නැහැ. ඉන්පසු 78 දි ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ව්‍යවස්ථාව යළිත් වෙනස් කරමින් විධායක ජනාධිපති වූ දා කීවේ තමාගේ ව්‍යවස්ථාව කොතරම් ප්‍රබල එකක් ද යත් එයට කළ නොහැක්කේ ගැහැනියක පිරිමියෙකු කිරීමට පමණක් බවයි. එහෙම කියලා මන්ත්‍රී වරුන්ගේ දින නොදාපු අස්වීමේ ලිපි ඉල්ලා ගෙන ඔවුන් නිෂ්ක්‍රිය කර තමන්ගේ අභිමතය පරිදි පාලනය ගෙන ගියා. කොට්ඨාස නියෝජන ජන්ද ක්‍රමය වෙනුවට දිස්ත්‍රික්ක මනාප ක්‍රමයක් හැඳින්වීම තුළින් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය විකෘති කළා. 

50 වැනි දිනට පා තබමින් ඉන්නා ගාලුමුවදොර ආදරයේ අරගලය.

ඒ ඡන්ද ක්‍රමයට ජයග්‍රාහකයකු වීමට අති විශාල මුදලක් අපේක්ෂකයකුට වැය කරන්න සිද්ධ වුණා. ඒ ඡන්ද ක්‍රමයම දූෂිත එකක් වුණා පමණක් නොව ඡන්ද ව්‍යාපාරයට ගිය වියදම සොයන්න මන්ත්‍රීවරුන් පෙලඹුණා‍. ඊළඟට මන්ත්‍රීවරුන්ට රජයේ දේපළ අව භාවිතයට ඉඩ හැරියා. ඔවුන්ට 'බාර් පර්මිට්' දුන්නා. රජය සමග බිස්නස් කරන්න ඉඩ හැරියා. දැන් ඉහ වහ ගිහින් තියෙන්නේ ඒ දූෂිත ආරම්භයයි. දූෂිතයන් පාර්ලිමේන්තුවට එන එක වළක්වන්න නම් ඒ මනාප ක්‍රමයත්, දැන් දී ඇති මන්ත්‍රී වරප්‍රසාද සම්භාරයත් අහෝසි කොට, ඒ හැම එකක් ම විගණනය කරන ක්‍රමයක් ස්ථාපිත කරන්න ඕනෑ. 

නව ව්‍යවස්ථාවක් මගින් ජනරජයක් වී විධායක ජනාධිපතිවරයකු බවට පත් වූ අවස්ථාවේ ජේ. ආර්.ට ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා කී කතාවක් මෙහෙදී මට මතක් වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය ඇති රටක ව්‍යවස්ථාදායකයට තිබිය යුතු බලය තනි අයකුට කේන්ද්‍රීය වන ආකාරයට පූර්ණ විධායක බලය ලබා දීම භයානක තත්වයක්, එය අව භාවිත වීම නොවැළක්විය හැකි යැයි එතුමා කී විට ජේ. ආර්. ජයවර්ධන මහතා කීවේ 'මා ඉන්න කම් එහෙම වෙන්නේ නැහැ.' කියායි. 'මා ඒක පිළිගන්නම්, ඒත් අනාගතයේ දී පිස්සකු ඔතැනට ආවොත් මොනව වේවිද?' ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා එදා උපහාසයෙන් ප්‍රශ්න කළා මට මතකයි. ඔහු එහි ආදීනව කියා පොත් පිංචකුත් ලිව්වා..

අද අපට අත්විඳින්න සිදු වී ඇත්තේ එයයි. පසුගිය වසර ගණනාව තුළ ම අපේ රට වැරදි පාලනයකටයි නතු වුණේ. ප්‍රජාතන්තවාදී ක්‍රමයට අන් අයගේ අදහස් නොවිමසා, අමන තීරණ, අත්තනෝමතිකව ගැනීම නිසයි, අපට වැරදුණේ. අපේ තරුණ පරපුර ඒ අතින් අපට වඩා අවදියෙන් ඉන්නවා. ඔවුන්ට මේ තත්වය ගැන හොඳ අවබෝධයක් ඇති නිසා තමයි, විධායක ජනාධිපති පදවිය අහෝසි කළයුතුයි කියල උද්ඝෝෂණය කරන්නේ. ඒකට විසඳුමක් ඉතා ඉක්මනට ම දිය යුතුයි. 

අඩු තරමින් ඒ විසඳුම දෙන්න තියෙන කැමැත්ත පළ කරන්නවත් මේ 21 ව්‍යවස්ථා සංශෝධනය වහා සම්මත කර පෙන්වන්න ඕනෑ. පක්ෂ නායකයන් අතර '21' පාපන්දුවක් කර නොගෙන කල් නොයවා එය සම්මත කර 'සිස්ටම් එක' වෙනස් කරන මුල් පියවර තියන්න. 

21 ගැන ඉදිරිපත් කර ඇති සියලු යෝජනා ඉක්මනින් සකස් කර ජනමත විමසුමකට නොගොස් සම්මත කළ හැකි උපරිමය කරන්න. අඩු තරමින් පහත සඳහන් කරුණුවත් 21ට එකතු කර ගන්න. විධායක ජනාධිපතිවරයාගේ බලතල සීමා කිරීම, ජනාධිපතිවරයා අමාත්‍යංශ විෂයයක් තමන් වෙත තබා ගැනීම වැළැක්වීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්ථාපිත කිරීම, විගණන කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සභා නැවත පිහිටුවීම, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු වරම් අහිමි කිරීම, රජයේ ඉහළ තනතුරු සඳහා පත් කිරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පැවරීම ඉන් ප්‍රධාන කීපයක්. 

අපි අපේ දේශපාලනඥයන්ගෙන් ආදරයෙන් ඉල්ලා සිටින්නේ ගාලුමුවදොර පැවැත්වෙන අදට දින 50ට පා තබන සාමාකාමී 'ආදරයේ අරගලය'ට ඔබේ 21 පෙන්වා කොකා පෙන්නන්න එපා! කියලයි. 

- පර්සි ජයමාන්න 

Post a Comment

0 Comments