Main Logo

Wednesday 25 May 2022

විසිඑකත් එහි ප්‍රභූ දේශපාලනයත් පරදවමු

විසිඑකත් එහි ප්‍රභූ දේශපාලනයත් පරදවමු

 

දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති ව්‍යවස්ථා සංශෝධන දෙකක් තියෙනවා. ඒ පෞද්ගලික මන්ත්‍රී යෝජනා දෙකක් ලෙස. එකක් විජේදාස රාජපක්‍ෂගෙ. අනෙක රංජිත් බණ්ඩාරගෙ. ඒ දෙක අස්කර ගන්නවා ද නැද්ද යන්න ගැන තවම ආරංචියක් නැහැ. කොහොමටත් වැදගත් වන්නෙ පෙරේදා (23) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ සංශෝධනය. එය බොහෝ විට විසිඑක්වැනි සංශෝධනය ලෙස හැඳින්වේවි.

 

මා තවම ඉදිරිපත් කර ඇති සංශෝධනය  කියවා නැහැ. එහෙත් ආරංචි මාර්ගයෙන් කියන්න පුළුවන් කරුණක් දෙකක් තියෙනව. ව්‍යවස්ථා සභාව ඇති කෙරෙනවා. අද තියෙන විධියට එහි අගමැති මෙන් ම විපක්‍ෂ නායකයා ද  සාමාජිකයන්. පොදු ජන පෙරමුණෙන් සමාජිකයකු විය හැක්කේ එක් අයකුට පමණක් වෙනන පුළුවන්. අද පත්වීම් කෙරෙන ආකාරය අනුව මෙහි සාමාජිකයන් බොහෝ දෙනකු එ ජා ප හිතවතුන් වේවි. අමාත්‍යංශ ලේකම්වරුන් පත් කර ඇති ආකාරය සලකන්න. ව්‍යවස්ථා සභාවට විවිධ කොමිෂන් සභාවලට පත් කිරීමේ දී බලතල ලැබෙනවා.  රාජ්‍ය පාලනය එ ජා පක්‍ෂය අතට අරගන්න ඒ මගින් පුළුවන්.

 

ප්‍රජාතන්ත්‍රවදී ආයතනයක් ලෙස පෙනී ගිය ද ව්‍යවස්ථා සභාව කියන්නෙ ප්‍රභූ ආයතනයක්. එයින් එක්තරා ආකාරයකට බලය ප්‍රභූන්ට පැවරෙනවා. ව්‍යවස්ථා සභාවට ඇති බලතල සමග පාර්ලිමේන්තුවෙන් පිටතට බලය ගෙන යෑමක් සිදු වෙනවා. ඒත් ආතල්ගමට නම් නො වෙයි. ප්‍රධාන වශයෙන් කුරුඳුවත්තට හා අවට ප්‍රදේශයට. කෙටියෙන් කිවුවොත් කොළඹ 3, 5, 7ට. ඊනියා නිරප්‍රභූ දේශපාලනයක් ගැන දෙඩ වූ අයට ඉහළ ම ප්‍රභූ දේශපාලනයක් ලැබෙනවා. 

 

මේක තමයි ප්‍රජාතන්ත්‍රවාදය. එක් ආසනයක්වත් දිනා ගන්න බැරි වුණු පක්‍ෂයක් අද බලය හසුරනවා. රනිල් ජාතික ලැයිස්තුවෙන් පත් වූ මන්ත්‍රීවරයෙක්. මෙය හරියට අතන මෙතන පනින රතන හාමුදුරුවන් රටේ බලය හසුරනවා වගේ. එකම වෙනස රනිල් බටහිරයන්ගෙ නියෝජිතයා. අද ප්‍රජාතන්ත්‍රවාදය හරියට ම ක්‍රියාත්මක වෙනවා. මේ බටහිරයන් විසින් බටහිරයන් සඳහා පවත්වාගෙන යන බටහිරයන්ගෙ ආණ්ඩුවක්!

 

මේ සංශෝධනයෙන් ජනාධිපති බලතල සමහරක් අයින් කෙරෙනවා. උදාහරණයක් වශයෙන් ජනාධිපතිට අගමැති අස් කිරීමේ බලය නැති වෙනවා. ජනාධිපති බලතල ඉවත් කරන්න ජනමත විචාරණයක් අවශ්‍ය වෙන බවට තර්කයක් තියෙනවා. ජනාධිපති බලතල කිසිවක් වෙනස් කරනවා නම් ජනමත විචාරණයක් පවත්වන්න ඕන කියා අධිකරණයට යන්න පුළුවන්. යමකුට තර්ක කරන්න පුළුවන් විධායක බලතල යනු මොනවා ද යන්න ගැන. අගමැති ඇමතිවරුන් පත් කිරීම් විධායක බලතල ද කියා අහන්න පුළුවන්. අගමැති ආදීන් පත් කෙරෙන්නෙ ලංකාවේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රීන් අතරින්. එක්සත් ජනපදයේ නම් ඒ කොන්දේසියවත් නැහැ.

 

මා කියන්නේ අප එක්සත් ජනපදය මෙන් ක්‍රියා කළ යුතු ය යන්න නො වෙයි. මා හිතනවා ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න ඕන අගමැති කැබිනට් ඇමතිවරුන් කැබිනට් නොවන ඇමතිවරුන් ලෙස ලැයිස්තුවෙන් පත් වූ මන්ත්‍රීන්ට කටයුතු කිරීමට නොහැකි වන ආකාරයට. ඔය ලැයිස්තුවෙන් අද රටට වෙන සේවයක් නැහැ. විශේෂ දක්‍ෂතා ඇති පුද්ගලයන් ලැයිස්තුවෙන් පත් කෙරෙන්නෙ නැහැ. පත් කෙරෙන්නේ ඒ ඒ පක්‍ෂවල දේශපාලන හිතවතුන් පමණයි. මන්ත්‍රී ආසනයක් දිනා ගන්න බැරි අයත් ලැයිස්තුවෙන් පත් කෙරෙනවා. හොඳ ම උදාහරණය රනිල්.   

 

කොහොමටත් රනිල් වැනි මහජන ඡන්දයෙන් පත් නූණ අගමැතිවරයකු ඉන්න විට ඔහු ඉවත් කරන්න ජනාධිපතිට හැකි වෙන්න ඕන. මා පෞද්ගලික වුවමනා එපාකම් මත ව්‍යවස්ථා සංශෝධන කරන්න කියනවා නො වෙයි. එහෙත් මේ ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ ම පෞද්ගලික හේතු මතයි. බටහිරයන්ගේ නියෝජිතයා රටේ අගමැති ලෙස තහවුරු කිරීම සඳහායි. බටහිරයන්ගේ අවශ්‍යතාවට රට පාලනය කිරීම සඳහායි.

 

21 වැනි සංශෝධනයෙන් ජනාධිපතිට අගමැති උපදෙස් මත පමණයි ඇමතිවරුන් ආදීන් පත් කරන්න පුළුවන්. එය ඉතාමත් ම අමනොඥ ක්‍රියාවක් බව දැන් කියන්න පුළුවන්. ජනාධිපති ඡන්දයෙන් මන්ත්‍රීවරයකුවත් වීමට නොහැකි අයකුගේ උපදෙස් මත ඇමතිවරුන් පත් කරන්න ඕන. තම පක්‍ෂයේ කියා වෙනත් මන්ත්‍රීවරයකු නොමැති අගමැතිවරයකු කැබිනට් හා කැබිනට් නොවන ඇමතිවරුන් පත් කිරීම පිළිබඳ උපදෙස් දෙනවා.

 

මේ ඊනියා ආර්ථික අර්බුදයක් නිසා ඇති වූ දේශපාලන පෙරළියක් නො වෙයි. බටහිර සැලැස්මක් අනුව සිදු වූවක්. එහි දී විනාශකාරී පිළිවෙතක් විමල් වීරවංශ ඇතුළු අය විසින් අනුගමනය කෙරුණා. බටහිරයන්ට අවශ්‍ය නන්දිකඩාල් පරාජයේ පළිය ගන්න. රණවිරුවන්ට විරුද්ධ ව ක්‍රියා කරන්න. දෙමළ ජාතිවාදී ඉල්ලීම් ඉටු කරමින් උතුරු හා නැගෙනහිර පළාත්  එකතු කරන්න. පළාත් සභාවලට වැඩි බලතල දෙන්න. එම් සී සී ගිවිසුම ක්‍රියාත්මක කරන්න. ඒ දේශපාලන පෙරළිය ආර්ථික අර්බුදය සමග වෙළී නැහැ. අවුරුදු හැත්තෑපහක පමණ අදුරදර්ශී පාලයක ප්‍රතිඵල මහින්ද මත පැටවීමට ජඩමාධ්‍ය හා වෙනත් අය ක්‍රියා කිරීමක් නම් සිදු වුණා. විමල්ලා කෙළේ බැසිල් යවන්න මහින්ද ඉවත් කර රනිල් ගෙන ඒමක්.

 

කෙසේ නමුත් තවමත් පාර්ලිමේන්තුවෙ වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් ඉන්නෙ පොදු ජන පෙරමුණෙ. අප එය සැලකිල්ලට ගන්න ඕන විතරක් නොවෙයි යොදා ගන්නත් ඕන. ව්‍යවස්ථා සංශෝධනය සම්මත වෙන්න මන්ත්‍රීන් 150 ක ඡන්දය ඕන. ඡන්ද 75ක් අනෙක් පැත්තට ගියොත් සංශෝධනය පරාදයි. සංශෝධනය පරාජය කිරීමට එකතු වෙමු. කොහොමටත් සංශෝධනය කාරක සභා අවස්ථාවකට ගියොත් එහි දී අහිතකර වගන්ති පරාජය කිරීමටත් වෙනත් අහිතකර වගන්ති ගෙන ඒමට ඉඩ නොදීමටත් කටයුතු කරමු.