2022/05/25 – ලංකාදීප

ඇසට ඇසක් නැත්නම් දතට දතක් යන න්‍යායක් ම්ලේච්ඡ ගෝත‍්‍රිකයන් අතර තිබුණි. වනචාරී සංස්කෘතික ලක්ෂණ පසුකරන ජන සමාජ නවීන විද්‍යාත්මක යුගයකට පැමිණ සිටී. සමාජ විනයක් තිබේ. ආගමානුකූල ප‍්‍රතිපත්ති මිනිසුන් සංයමට පත් කර ඇත.

සමාජයක දියුණුව ගොඩනැගිලි යාන වාහන පමණක් නොවේ. මනුෂ්‍යත්වය ද වැදගත්ය. සන්සුන්භාවය, ඉවසිලිවන්තබව රහිතව ඉදිරි ගමනක් නැත. පසුගිය දිනවල සිදුවූ තවමත් අවසානයක් දකින්නට නැති ගැටුම් අපට උගන්වන්නේ මොනවාද? උසස්යැයි කියාගන්නා නමුත් අප ඉල්ලන්නේ දතට දතක්ය. ඇසට ඇසක්ය.

අපගේ සමාජය හැදෙන්නට උත්සාහ කරන්නේ නැත. සාකච්ඡවෙන් ප‍්‍රශ්න විසදාගන්නට වෑයම් කරන්නේ නැත. එය පුදුමාකාර තත්ත්වයකි. කැරළි, කෝලාහල සහ ජුලි කලබල ගැන අපගේ කම්පනය අමතක නොකළ යුතුය. පැරණි මතකයෙන් වේදනාව විදින සමාජයක් නැවතත් ප‍්‍රචණ්ඩත්වය තෝරාගත්තේ ඇයි?  මහ මග මරා දැමුණු, පිලිස්සී ගිය මිනිස් ජීවිත කිසිසේත් පහසුවෙන් අමතක කළ නොහැක. එසේ තිබිය දී පුද්ගලයන්ට පහර දී මරා දමන තරමට අමනුස්ස භාවයක් ඇති කරන්නේ කෙසේද? මහජන නියෝජිතයන්, අහිංසක මිනිසුන් පහර දී මරා දමන තරමට සාහසික වූ රටක තත්ත්වය සාධාරණීකරනය කළ නොහැක. අධිකරණයෙන් නියම කරන මරණ දඩුවම බලගැන්විය යුතු නැති බව විශ්වාස කරන පසුබිමක මෙවැනි සිද්ධි අනුමත කරන්නට පුලූවන්කමක් නැත.

නොබෝදා ඇති වූ මෙම සිද්ධි ඉකුත් ජාතිවාදී අරගලය තුළ රටට කරන ලද විනාශයට වඩා මහා ඛේදවාචකයකි. ජාතිවාදය පසෙක තබමු. ජාතිවාදය ඉක්මවා ගිය අන්තවාදී දේශපාලන ගැටුමකි. නිවාස ගිණිතබන ඒවායේ වටිනා දේ කොල්ලකන දර්ශන මකා දැමිය නොහැකිය. අසල්වැසියාගේ නිවෙස අද ගිණිබත්වන විට බලා සිටි අපගේ නිවස හෙට ගිණි තබන්නට බැරි නැත. බෙදීම්වලින් වෛරයට ඇතුළු වූ සමාජයක එය සිදුවිය හැක.‘ එකම රටක ජීවත්වන ක‍්‍රමය ගැන වෙනස් අදහස් දරන පුද්ගලයන් විනාශ කරන්නට වෑයම් කිරීම තුළ ඇති මනුස්සභාවය කුමක්ද? එක පැත්තකට පමණක් වරද පැටවිය නොහැක. දෙතුන් පිරිසක් මෙහි වගකීම භාරගත යුතුය. අවේග මතුකරන ලද සියළු දෙනා මෙහි කොටස්කරුවෝය.

අරගලය තුළ ඇති වූයේ කුමක්ද? නීතිය නොසලකා ක‍්‍රියා කළේය. නීතිය හා විධිවිධාන බිදවැටීම බරපතල තත්ත්වයකි. අපගේ සාරධර්ම බැහැර කරන්නේ කෙසේද? වැඩිහිටියන් සහ පරමාදර්ශී චරිතවලින් පදනම් වූ සමාජයක ස්වභාවය ගැන අපට සෑහීමකට පත්විය හැකිද? ජාත්‍යන්තරය ඉදිරියේ උසස් මිනිසුන් ලෙස මානව අයිතිවාසිකම් ගැන කතා කරන අපට අපගේ අසල්වැසියාගේ මතය ඉවසන්නට නොහැකිවිය. එය විශාල වරදකි.

මැරවරයන්ට මහ පාර අයිතිකරගන්නා තෙක් ආරක්ෂක අංශ පසුබැසීම ද වරදක් බව පෙනේ. මාර්ග හරස්කරමින් වාහන නතර කරමින් හිංසනය ඉහවහා යන තෙක් ආරක්ෂක අංශ  නීතිය පසෙකට වන විට අවනීතිය රජ කෙරේ. ආහාරයක් බුදින සතෙකුට හිරිහැර නොකරන, පණ බේරාගන්නට පැන යන භයානක සර්පයෙකුට පවා ආරක්ෂාව සපයන තරමට උතුම් ගති ලක්ෂණ තිබුණ සමාජයක් මෙපමණ පිරිහීම ගැන අප සියළු දෙනා වගකීම භාරගත යුතුව තිබේ.

අප සියළු දෙනාටම ආර්ථික ගැටළු ඇත. ජීවත්වීම ප‍්‍රශ්නයකි. මේවා විසදාගත යුතු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමවේදයකට අනුවය. බහුතරයකගේ කැමැත්ත අනුව තෝරාගත් මහජන නියෝජිතයන්ට ප‍්‍රශ්න විසදන, රට දියුණු කරන වගකීම භාර දී ඇත. ක‍්‍රමය අසාර්ථක බව පිලිගත හැක. උස් පහත්කම් සිදුවේ. ඒවා නිවැරදි කරගන්නට අනුගමනය කළ යුතු ක‍්‍රියාමාර්ග තිබේ.

සදාචාරවත් සමාජයක් ඉලක්කය විය යුතුය. වෛරය හෝ ක්‍රෝධය ගැටළු නිරාකරණය කරගන්නා මාර්ගයක් නොවේ. ආවේගයෙන් හැසිරීම ඇතිකරන්නේ පශ්චාත්තාපයකි. අදහන ආගම, වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා නොතැකීම සුදුසු නැත. අවසානයේ දී අපගේ සැනසීම ඇති කරන්නේ හෘද සාක්ෂිය බව මතක තබාගත යුතුය.