HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

බිර්බාල් ලොකුම මෝඩයන් සොයා ගිය හැටි

අක්බාර් අධිරාජයා සමහර වෙලාවකට මහ අමුතු විකාර නියෝග දෙනවා කරන්ට. එක දවසක් අධිරාජයා රාජ සභාවෙදි බිර්බාල්ට කතා කරලා මෙහෙම ඇහුවා‍: 

"බිර්බාල්ට පුලුවන් ද මට මාසයක් ඇතුළත් මගේ අධිරාජ්‍යය තුළ ඉන්න ලොකුම මෝඩයන් හය දෙනා මට මුණ ගස්සන්න ?" 

"එහෙමයි රජතුමනි, මට පුලුවන් ඒක කරන්න ඔබ වහන්සෙ උදහස් වෙන්නේ නැත්නම්" බිර්බාල් මහත් ගෞරවයෙන් යුතුව කිව්වා. 


"මං මොකටද උදහස් වෙන්නෙ? මම නෙ ඔහෙට අණ කරන්නේ මගේ රටේ ඉන්නා ලොකුම මෝඩයන් හය දෙනා මගේ රාජ සභාවෙදි මට මුණ ගස්සන්න කියලා". අධිරාජයා කිව්වා. 

බිර්බාල් අධිරාජයාගෙන් අවසර අර ගෙන, ඒ රටේ ඉන්නා ලොකුම මෝඩයන් හොයා ගෙන ගියා. ඔහුට හමු වුණා, රාමු කියලා මිනිහෙක්. රාමු බූරුවකු පිට නැඟලා, තණ කොළ මිටියක් හිස මත තියාගෙන යමින් හිටියා. 

බිර්බාල් රාමුගෙන් ඇහුවා, "ඇයි ඔහොම යන්නෙ? ඔය තණ කොළ මිටියත් බූරුවගේ පිටේ තියලා ඒ උඩට ඔහෙ නැඟලා ගියා නං ලේසිනේ" කියලා.

"අනේ මේ සතා උදේ ඉඳන් මහන්සිවෙලා ඉන්නේ. ඌට තවත් බර පටවන්න හොඳ නෑනෙ. ඒකයි මං මේක මගේ හිස උඩ තියාගෙන යන්නේ. ගෙදර ගිහින් ඌට කන්න දෙන්න" රාමු කිව්වා. 

ඊළඟට බිර්බාල්ට හමු වුණේ චංගු හා මංගු කියලා දෙන්නෙක්. එ් දෙන්න පොර අල්ලමින් හිටිය‍ෙ. "ඔහෙලා මොකද මේ රණ්ඩු කරන්නෙ?" බිර්බාල් ඇහුවා. 

චංගු කිව්වා, "මං මේ හදන්නෙ, දෙවියන්ගේ තෑග්ගක් හැටියට ඔවුන්ට ලැබෙන මංගුගේ හිතේ ඉන්න එළදෙන දඩයම් කරන්න මගේ හිතේ ඉන්න කොටියාව මුදා හරින්නයි" කියලා. 

එදා හැන්දාවේ බිර්බාල්ට හමුවුණා, වීදි ලාම්පුවක් යට නැතිවුණු දෙයක් හොයන මිනිහෙක් හම්බ වුණා. 

"ඔහෙ ඔය මොකක්ද කරන්නෙ?" බිර්බාල් ඇහුවා.

"මං මේ මගේ නැති වෙච්ච මුද්දයි හොයන්නෙ" ඒ මිනිහා කිව්වා.

"කොතනද ඒක වැටුණෙ?" කියලා බිර්බාල් ඇහුවා. 

"මුද්ද නං මෙතැන වැටුණෙ නැහැ. ඒක වැටුණෙ අර ඈත ගහක් ළඟයි. එතැන එළියක් නෑ, නැතිවෙච්ච දෙයක් හොයන්න. ඒ හින්දයි මේ එළිය තියෙන තැන හොයන්නෙ" ඒ මිනිහා කිව්වා. 

බිර්බාල් පහුවදා ම රාජ සභාවට මේ හතර දෙනා ම අරන් ගියා. "සමාය භජනය කරන්න දේවයන් වහන්ස ඔන්න, මම ඔබ වහන්සෙ දුන් අණ ඉටු කළා." කියලා ඒ අයගෙ කතා වෙන වෙන ම අධිරාජයාට කිව්වා.

"කෝ ඉතින් අනිත් මෝඩයන් දෙන්නා?" අක්බාර් අධිරාජයා ඇහුවා. 

"මට සමාවෙන්න දේවයන් වහන්ස, ඒ දෙන්නගෙන් එක් කෙනෙක් තමා මේ වගේ මෝඩ අණක් දුන්නු ඔබ වහන්සෙ, අනික් මෝඩයා තමයි, මේ මෝඩ අණ අනුව ක්‍රියා කළ මම" ‍

- පර්සි ජයමාන්න


Post a Comment

0 Comments