2022 IPL අවසන් වටයේ තරග කාලසටහන තීන්දුයි

ඉන්දීය ප්‍රිමියර් ලීගය 2022

3007
Teams confirmed for IPL 2022 Playoffs Sinhala

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයට (Playoffs) මේ වන විට කණ්ඩායම් හතරම සුදුසුකම් ලබාගෙන තිබෙනවා.

මූලික වටයේ තවත් තරගයක් ඉතිරිව තිබෙන පසුබිමක ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන Gujarat Titans, දෙවැනි ස්ථානයේ පසුවන Rajasthan Royals, තෙවැනි ස්ථානයේ පසුවන Lucknow Super Giants සහ සිව්වැනි ස්ථානයේ පසුවන Royal Challengers Bangalore (RCB) යන කණ්ඩායම් මෙලෙස මෙවර IPL තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබාගෙන තිබෙන කණ්ඩායම් වෙනවා.

Gujarat තමන් ක්‍රීඩා කළ තරග 14න් තරග 10ක් ජය ගත් අතර, Rajasthan තරග 14න් ජය ගත් තරග ගණන 9ක්. ශ්‍රී ලංකා ක්‍රීඩක දුෂ්මන්ත චමීර ක්‍රීඩා කරන Lucknow කණ්ඩායම තරග 9ක ජය තහවුරු කරගන්නා විට වනිඳු හසරංග ක්‍රීඩා කරන RCB ජය ගත්තේ තරග 8ක් පමණයි.

ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙකේ රැඳී සිටින Gujarat Titans සහ Rajasthan Royals යන කණ්ඩායම් අවසන් වටය යටතේ පැවැත්වෙන පළමු තරගයට (Qualifier 1) තරග වැදීමට නියමිත අතර එම තරගය මේ මස 24 වැනිදා රාත්‍රී 7.30ට Kolkata හිදී පැවැත්වෙනු ඇත.

අවසන් වටයේ දෙවැනි තරගය (Eliminator) පැවැත්වෙන්නේ Lucknow Super Giants සහ Royal Challengers Bangalore යන කණ්ඩායම් අතරයි. එම තරගය මේ මස 25 වැනිදා රාත්‍රී 7.30ට Kolkata හිදී ම ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

අවසන් වටයේ Qualifier 1 තරගය ජය ගන්නා කණ්ඩායම සෘජුවම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා අතර Qualifier 1 තරගයෙන් පරාජයට පත්වන කණ්ඩායම සහ Eliminator තරගය ජය ගන්නා කණ්ඩායම එළඹෙන 27 වැනිදා Ahmedabad හිදී පැවැත්වීමට නියමිත අවසන් වටයේ තෙවැනි තරගය (Qualifier 2) සඳහා සුදුසුකම් ලබනවා.

එම Qualifier 2 තරගයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම Qualifier 1 තරගය  ජය ගත් කණ්ඩායමට එරෙහිව එළඹෙන 29 වැනිදා Ahmedabad හිදී අවසන් මහා තරගය සඳහා තරග වැදීමට නියමිත අතර එම තරගය රාත්‍රී 8ට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය ThePapare.com සූදානම්. රැඳී සිටින්න, ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<