ජෝන් කීල්ස් සහ HNB අවසන් සටනට

සිංගර් - වෙළෙඳසේවා සුපර් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2022

354

29 වැනි සිංගර් වෙළෙඳසේවා සුපර් ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග දෙක අද (21) කොළඹ දී ක්‍රියාත්මක වුනා. එහි දී CDB ෆිනෑන්ස් සහ Mode ඉංජිනියරින් පරාජය කළ ජෝන් කීල්ස් සහ HNB අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

මූලික වටය අවසානයේ දී අපරාජිතව පැමිණි CDB ෆිනෑන්ස් සහ Mode ඉංජිනියරින් කණ්ඩායම් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් සිටිමින් සෘජුවම මේ අවසන් පූර්ව තරගවලට සුදුසුකම් ලබා ගත්තා.

ජෝන් කීල්ස් සහ HNB අර්ධ අවසන් පූර්ව තරගවල දී පිළිවෙළින් සම්පත් බැංකු සහ හේලීස් පරාජය කරමින් මේ අවසන් පූර්ව තරග වටයට පැමිණියා.

BRC ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනු Mode ඉංජිනියරින් සහ ජෝන් කීල්ස් තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් හිමි කරගැනීමට ඉශාන් ජයරත්නගේ නායකත්වයෙන් යුත් ජෝන් කීල්ස් සමත් වුනා. කාසියේ වාසිය දි නාගත් Mode ඉංජිනියරින් පන්දුවාර 37කුත් පන්දු 5ක් අවසානයේ සියල්ලන්ම දැවී ලකුණු 178ක් රැස් කරගත්තා.

වමතින් දඟපන්දු යවන දුවිඳු තිලකරත්න සහ දකුණතින් පිට දඟපන්දු යවන අකිල දනංජය Mode ඉංජිනියරින් ක්‍රීඩකයින් ඉතාමත් හොඳින් පාලනය කිරීම එයට විශාල හේතුවක් වුනා. ඊට අමතරව නායක ඉශාන් ජයරත්න කඩුලු 3ක් දවා ගෙන දස්කම් දැක්වූවා.

Mode ඉංජිනියරින් වෙනුවෙන් නායක ඉසුරු උදාන රැස් කර ගත් ලකුණු 44 හැරෙන්නට ඔවුන්ගේ අනෙකුත් එකඳු ක්‍රීඩකයෙකු හට හෝ උදානව අභිබවා ලකුණු වාර්තා කරගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.

ලකුණු 179ක ඉලක්කයක් හඹා ගිය ජෝන් කීල්ස් පළමු කඩුලු 3 ලකුණු 34ක් තුළ බිඳ වැටුණා. කෙසේ නමුත් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වුණු අහන් වික්‍රමසිංහ සහ සදීර සමරවික්‍රම පන්දු 161ක් තුළ නොදැවී ලකුණු 145*ක සබඳතාවයක් ගොඩනංවමින් ජෝන් කීල්ස් අවසන් මහා තරගය දක්වා රැගෙන ගියා.

4 පහර 2ක් එල්ල කරමින් පන්දු 92ක් තුළ ලකුණු 50ක් රැස් කරගත් සදීර සමරවික්‍රම එක් අන්තයකින් සිය කඩුල්ල ආරක්ෂා කරගනිමින් පන්දුවට පහර දුන් අතර අනෙක් අන්තයෙන් අහන් වික්‍රමසිංහ වේගවත් පිතිකරණයක නිරත වෙමින් තරගාවලියේ වාර්තා වුනු දෙවැනි ශතකය (පළමු ශතකය – ලසිත් අබේරත්න) වාර්තා කළා. පන්දු 95ක් තුළ වාර්තා වුනු වික්‍රමසිංහගේ එම ලකුණු 102* සුපිරි ඉනිමට 4 පහර 2ක් සහ 6 පහර 5ක් ඇතුළත් වුනා.

තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අනෙක් අවසන් පූර්ව තරගයේ දී අපරාජිතව පැමිණි CDB ෆිනෑන්ස් ගමන් මඟ අහුරා දැමීමට රවීන් ද සිල්වා, ගයාන් සිරිසෝම, මාධව වර්ණපුර සහ චාමර සිල්වා ඇතුළු HNB ක්‍රීඩකයින් සමත් වුනා.

CDB ෆිනෑන්ස් රැස් කර ගත් ලකුණු 195ක ඉලක්කය පසුපස හඹා ගිය HNB ක්‍රීඩකයින් පන්දුවාර 48කුත් එක් පන්දුවක් අවසානයේ සිය ඉලක්කය හඹා ගියා.

එහි දී ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රීඩක රවීන් ලකුණු 48ක් රැස් කරගෙන දස්කම් දක්වන විට නායක වර්ණපුර ලකුණු 41ක් වාර්තා කරගත්තා.

අවසන් පූර්ව තරගයේ දී අර්ධ ශතකයක් ලබාගෙන දස්කම් දැක්වූ අත්දැකීම් බහුල පරිණත ක්‍රිකට් ක්‍රීඩක චාමර සිල්වා මේ තරගයේ දී නොදැවී ලකුණු 36*ක් රැස් කරගත්තා. CDB ෆිනෑන්ස් ක්‍රීඩකයින් පාලනය කිරීම වෙනුවෙන් දායක වුනු ගයාන් සිරිසෝම සහ වර්ණපුර කඩුලු 3 බැගින් දවා ගත්තා.

HNB සහ ජෝන් කීල්ස් අතර පැවැත්වීමට නියමිත අවසන් මහා තරගය පැවැත්වෙන දිනයක් සහ ක්‍රීඩාංගණය තවමත් නිල ව‍ශයෙන් තහවුරු කර නැහැ.

පළමු අවසන් පූර්ව තරගය – Mode ඉංජිනියරින් සහ ජෝන් කීල්ස්

  • ක්‍රීඩාංගණය – BRC
  • කාසියේ වාසිය – Mode ඉංජිනියරින්

Mode ඉංජිනියරින් – 178 (37.5/50): ඉසුරු උදාන 44, සම්මු අශාන් 31, දුශාන් හේමන්ත 26, දුවිඳු තිලකරත්න 3/28, ඉශාන් ජයරත්න 3/40, අකිල දනංජය 3/47.

ජෝන් කීල්ස් – 179/3 (36.3/50): අහන් වික්‍රමසිංහ 102*, සදීර සමරවික්‍රම 50*, කවීන් බණ්ඩාර 22, නුවන් තුෂාර 1/26, අයන සිරිවර්ධන 1/28, චානුක ඩිල්ශාන් 1/38.

ජෝන් කීල්ස් කණ්ඩායමට කඩුලු 7ක ජයක්.


දෙවැනි අවසන් පූර්ව තරගය – CDB ෆිනෑන්ස් සහ HNB 

  • ක්‍රීඩාංගණය – තර්ස්ටන් ක්‍රීඩාංගණය
  • කාසියේ වාසිය – HNB

CDB ෆිනෑන්ස් – 195 (49/50): හසිත පෙරේරා 42, රොහාන් සංජය 33, තරිඳු රත්නායක 23, සිතාර ගිම්හාන් 22, ලක්ෂිත මණසිංහ 20, ගයාන් සිරිසෝම 3/24, මාධව වර්ණපුර 3/34, ඩිල්ශාන් මුණවීර 2/43.

HNB – 196/8 (48.1/50): රවීන් ද සිල්වා 48, මාධව වර්ණපුර 41, චාමර සිල්වා 36*, චමිඳු විජේසිංහ 21, ලක්ෂිත මණසිංහ 2/19, ලහිරු මධුශංක 2/29, තරිඳු රත්නායක 2/41.

HNB කණ්ඩායමට කඩුලු 2ක ජයක්.

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<