නිපුන් ධනංජයගෙන් නායකත්වයේ ඉනිමක්

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2022

526
Nipun Dhananjaya

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ තෙවැනි සහ අවසන් සිව්දින ක්‍රිකට් තරගයේ පළමු දිනය අද (20) අවසන් වුනා.

Guildford හිදී ආරම්භ වුනු මේ තරගයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදී වුනේ Surrey ප්‍රාන්ත කණ්ඩායමයි. අයහපත් කාලගුණ තත්වය නිසාවෙන් ප්‍රථම දිනයේ පළමු තරග කාලසමය තුල එකඳු පන්දුවාරයක් හෝ ක්‍රියාත්මක කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ.

කාසියේ වාසිය දිනූ Surrey නායක Cameron Steel පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් 5ක් සිදු කරමින් මේ තරගයට අවතීර්ණ වුනු අතර දෙවැනි සිව්දින තරගයට ක්‍රීඩා කළ ධනංජය ලක්ෂාන්, දිලුම් සුධීර, උදිත් මදුශාන්, නිපුන් රන්සික සහ අශේන් ඩැනියල් වෙනුවට අවිශ්ක පෙරේරා, අවිශ්ක තරිඳු, මනෙල්කර් ද සිල්වා, යසිරු රොද්‍රිගෝ සහ අම්ෂි ද සිල්වා මේ තරගය ක්‍රීඩා කිරීම වෙනුවෙන් කැඳවා තිබුණා.

තවද Nathan Barnwell, Nico Reifer සහ Tom Lawes යන Surrey ක්‍රීඩකයින් මේ තරගයේ දී පළමු පෙළ වරම් දිනා ගත්තා.

නිමා වුනු තරග දෙකේ දී ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ ආරම්භක ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කළ ලසිත් කෘස්පුල්ලේගේ සඟයා වෙනස් කරමින් නායක නිපුන් ධනංජය වෙනුවට අවිශ්ක පෙරේරා සමඟ ඉනිම ආරම්භ කළා.

ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 45ක සබඳතාවයක් ගොඩනංවා සිටිය දී, ලකුණු 13ක් ලබාගෙන සිටි පෙරේරාගේ කඩුල්ල දවා ගැනීමට දකුණතින් වේගපන්දු යවන Tom Lawes සමත් වුනා. පන්දු 36ක් තුල ලකුණු 32ක් ලබා ගත් කෘස්පුල්ලේගේ ඉනිම මනරම් 4 පහර 4කින් සහ එක් 6 පහරකින් වර්ණවත් වුනා.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා මුල්පෙළ සහ මැදපෙළ අතර හොඳ සබඳතා දැක ගැනීමට තරමක් අපහසු වුනු අතර එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 4ක් ලකුණු 79ක් තුල දවා ගැනීමට Surrey පන්දු යවන්නට හැකියාව ලැබුණා. නුවනිඳු ප්‍රනාන්දු සහ කඩුලු රකින පිතිකරු නිශාන් මදුෂ්ක පිළිවෙළින් ලකුණු 16කට සහ එක් ලකුණකට දැවී ගියා.

ලකුණු 127කට කඩුලු 5ක් දැවී ගොස් තිබූ ශ්‍රී ලංකා ඉනිම ගොඩනැංවීම වෙනුවෙන් නායක නිපුන් ධනංජය සමඟ පිටියේ එක්වුණු අවිශ්ක තරිඳු 6 වැනි කඩුල්ල වෙනුවෙන් අගනා ලකුණු 82ක සබඳතාවයක් ගොඩනැංවූ අතර එය දිනයේ වාර්තා වුනු හොඳම සබඳතාවය වුනා.

පළමු තරග දෙකේ දී ම ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කරමින් සාර්ථක වීමට නොහැකි වුනු නායක ධනංජය මේ තරගයේ දී අංක 5 පිතිකරු ලෙස සිය පළමු පෙළ ක්‍රිකට් දිවියේ ලබා ගත් තෙවැනි අර්ධ ශතකය ලබා ගත්තා.

ඔහු සමඟ එක්ව මැදපෙළ සවිමත් කිරීමේ වගකීම කර මතට ගත් තරිඳු ලකුණු 48ක් (4 පහර 6) ලබාගෙන සිටිය දී Ryan Patel යොමු කළ පන්දුවක් හමුවේ නායක Steel වෙත උඩපන්දුවක් ලබා දෙමින් දැවී ගියා.

පළමු දිනය අවසන් වන විට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් පන්දුවාර 63ක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 230ක් ලබාගෙන සිටිනවා.

නොදැවී ක්‍රීඩා කරමින් සිටින නායක ධනංජය 4 පහර 4ක් සමඟ ලකුණු 81*ක් ලබාගෙන සිටින අතර අනෙක් අන්තයෙන් ක්‍රීඩා කරන මනෙල්කර් ද සිල්වා නොදැවී ලකුණු 13*ක් ලබාගෙන සිටිනවා. පන්දු යැවීමේ දී 19 හැවිරිදි දකුණතින් වේගපන්දු යවන Lawes ලකුණු 34කට කඩුලු 3ක් දවාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නැගී එන පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 230/6 (63): නිපුන් ධනංජය 81*, අවිශ්ක තරිඳු 48, ලසිත් කෘස්පුල්ලේ 32, Tom Lawes 3/34, Amar Virdi 2/45.

තරගයේ දෙවැනි දිනය හෙට (21) ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3.30ට ආරම්භ වීමට නියමිතයි. එහි තොරතුරු ද ඔබ වෙත සමීප කිරීමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<