බංග්ලාදේශ ක්‍රීඩකයින් දෙදෙනෙකුට ආබාධ

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය 2022

761

බංග්ලාදේශ දඟපන්දු යවන ක්‍රීඩක Nayeem Hasan හට ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අහිමි වී තිබෙනවා.

ඊයේ (19) නිමා වූ පළමු ටෙස්ට් තරගයේ දී ඔහුගේ දකුණු අතේ ඇඟිල්ලක සිදු වූ ආබාධයක් ඊට හේතුවයි. ඔහුව වෛද්‍ය පරීක්ෂණයකට යොමු කොට තිබෙන අතර එහි දී අනාවරණය වී තිබුණේ ඇඟිල්ලේ අස්ථි බිදී යාමක් සිදුව ඇති බවයි.

ඒ අනුව ඔහුට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වනු ඇති බව බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටු සාමාජික Habibul Bashar Cricbuzz වෙබ් අඩවියට තහවුරු කර තිබුණා.

දකුණතින් පිට දඟපන්දු යවන 22 හැවිරිදි Nayeem Hasan දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී කඩුලු 6ක් දවා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම අඩපන කිරීමට සුවිශේෂී දායකත්වයක් දැක්වූවා. එය ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ මෙතක් ඉනිමක දක්වා තිබෙන හොඳම පන්දු යැවීමේ දස්කම (6/105) ද වුනා.

බංග්ලාදේශ – ශ්‍රී ලංකා තරගාවලිය ආරම්භ වීමට පෙරම ඔවුන්ගේ ප්‍රධාන වේගපන්දු යවන ක්‍රීඩකයෙක් වන Taskin Ahmed හා ඔවුන්ගේ ප්‍රධාන දඟපන්දු යවන ක්‍රීඩක Mehidy Hasan යන ක්‍රීඩකයින්ට ද ආබාධවලට මුහුණ දීමට සිදු වුන නිසා ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔවුන්ට අහිමිව ගියා.

එමෙන්ම කසුන් රාජිත එවූ පන්දුවක් අතේ වැදීම නිසාවෙන් පළමු ටෙස්ට් තරගය අතරතුර ආබාධයකට ලක්වූ වමතින් වේගපන්දු යවන Shoriful Islam හට ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර පැවැත්වෙන ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතවලියේ දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය මේ මස 23 වැනිදා සිට 27 වැනිදා දක්වා Dhaka හිදී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කිරීමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<