රාජපක්ෂ සමඟ යොවුන් ක්‍රීඩකයින් දෙදෙනෙක් මූලික සංචිතයකට

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

1780

නිමා වුනු යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වුනු වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ සහ එම සංචිතයේ නායකයා ලෙස කටයුතු කළ තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ඕස්ට්‍රේලියාවට එරෙහි ශ්‍රී ලංකා මූලික සංචිත සඳහා ඇතුළත් කර තිබෙනවා.

ජුනි සහ ජූලි මාසවල දී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත මේ තරගාවලිය සඳහා විස්සයි විස්ස තරග 3ක්, එක්දින තරග 5ක් සහ ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ටෙස්ට් තරග දෙකක් ඇතුළත්.

ශාරීරික යෝග්‍යතා ගැටලු නිසාවෙන් ශ්‍රී ලංකා සංචිතවලින් ඉවත් කර තිබුණු ප්‍රහාරාත්මක වමත් පිතිකරු භානුක රාජපක්ෂ නැවතත් එක්දින සහ විස්සයි විස්ස මූලික සංචිත සඳහා කැඳවා තිබෙනවා.

රාජපක්ෂ නිමා වුණු ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට පසුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කර නොමැති නමුත්, ඔහු මෙවර IPL තරගාවලියේ තරග වදිනු ලබන Punjab Kings කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙක් බවට දැන් පත්ව තිබෙනවා.

කොන්දේ ආබාධයක් නිසා මේ දිනවල ක්‍රියාත්මක වන බංග්ලාදේශ තරග සංචාරය මඟ හැරී ගිය ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ද නැවතත් ශ්‍රී ලංකා සංචිතයන් සඳහා කැඳවා තිබෙනවා.

මේ වන විට ශ්‍රී ලංකාව ඉතාමත් දුෂ්කර ආර්ථික අර්බුධයකට මුහුණ දී තිබෙන නමුත්, ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත මේ දීර්ඝ ක්‍රිකට් තරගාවලිය සැලසුම් කර තිබෙන පරිදිම ක්‍රියාත්මක වෙන බව දෙරටේ ක්‍රිකට් ආයතනයන් බලධාරීන් පවසනවා.

වයස අවුරුදු 19ක් වන ලසිත් මාලිංගගේ ඉරියව්ව හා සමාන ඉරියව්වකින් පන්දු යවන පතිරණ ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා ගැනීමටත් පෙර මේ දිනවල පැවැත්වෙන IPL තරගාවලියේ දී Chennai Super Kings නියෝජනය කිරීමට වරම් දිනා ගත්තා.

ඔහු සිය මංගල තරගයේ දී මංගල පන්දුවෙන්ම (පැයට කිලෝමීටර 141) කඩුල්ලක් දවා ගනිමින් සුපිරි ආරම්භයක් ලබා ගත් අතර ඒ නිසාවෙන් දින කිහිපයක් තුල ඔහු මුළු ලෝකයේම අවධානයට ලක්වුනා.

නිමා වුන 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව මෙහෙයවමින් කැපී පෙනෙන තුන් ඉරියව් දස්කම් දැක්වූ වෙල්ලාලගේ නිමා වුනු NSL තරගවල දී පවා කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුනා.

මේ සංචිතවල එක්දින සහ විස්සයි විස්ස නායකත්වය දසුන් ශානක හට ලබා දී තිබෙන අතර ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්න වෙත ලබා දී තිබෙනවා. දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග ද මේ තරගාවලියේ දී සිමිත පන්දුවාර සංචිතයන් සඳහා පමණක් තරග වැදීමට නියමිතයි.

අත්දැකීම් බහුල පිතිකරු දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා මෙහි එක්දින සහ ටෙස්ට් සංචිතයට පමණක් ඇතුලත් කර තිබෙන අතර කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස් තරග ආකෘති රටාවන් තුනේම මූලික සංචිත සඳහා කැඳවා තිබෙනවා.

මේ තරගාවලියට සහභාගී වන අවසන් ශ්‍රී ලංකා සංචිත ඉදිරි දෙසතිය තුල නම් කරනු ඇත.

ටෙස්ට් සංචිතය – දිමුත් කරුණාරත්න (නායක), පැතුම් නිස්සංක, කමිල් මිෂාර, ඕෂද ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල්, චාමික කරුණාරත්න, රමේෂ් මෙන්ඩිස්, මොහොමඩ් ශිරාස්, ශිරාන් ප්‍රනාන්දු, ඩිල්ෂාන් මධුශංක, ලහිරු කුමාර, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සේ, ලක්ෂිත මණසිංහ,ප්‍රවීන් ජයවික්‍රම, ලසිත් ඇඹුල්දෙණිය, සුමින්ද ලක්ෂාන්.

එක්දින සංචිතය – ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, දසුන් ශානක (නායක), අශේන් බණ්ඩාර, දිනේෂ් චන්දිමාල්,  නිරෝෂන් දික්වැල්ල, ජනිත් ලියනගේ, දුනිත් වෙල්ලාලගේ, ධනංජය ලක්ෂාන්, සහන් ආරච්චිගේ, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, ලහිරු මධුශංක, රමේෂ් මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, ඩිල්ෂාන් මධුශංක, ලහිරු කුමාර, කසුන් රාජිත, ජෙෆ්රි වැන්ඩර්සේ, මහීෂ් තීක්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම.

T20 සංචිතය – ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, දසුන් ශානක (නායක), අශේන් බණ්ඩාර, නිරෝෂන් දික්වැල්ල, දුනිත් වෙල්ලාලගේ, ධනංජය ලක්ෂාන්, සහන් ආරච්චිගේ, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, ලහිරු මධුශංක, රමේෂ් මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, මතීෂ පතිරණ, නුවන් තුෂාර, කසුන් රාජිත, නිපුන් මාලිංග, ලහිරු කුමාර, ජෙෆ්රි වැන්ඩර්සේ, මහීෂ් තීක්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම, ලක්ෂාන් සඳකැන්.

තරග කාලසටහන:

දිනය ක්‍රීඩාංගණය
පළමු විස්සයි විස්ස තරගය ජුනි 7 ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය
දෙවැනි විස්සයි විස්ස තරගය ජුනි 8 ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය
තෙවැනි විස්සයි විස්ස තරගය ජුනි 11 පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය
පළමු එක්දින තරගය ජුනි 14 පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය
දෙවැනි එක්දින තරගය ජුනි 16 පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය
තෙවැනි එක්දින තරගය ජුනි 19 ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය
සිව්වැනි එක්දින තරගය ජුනි 21 ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය
පස්වැනි එක්දින තරගය ජුනි 24 ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය
පළමු ටෙස්ට් තරගය ජුනි 29 – ජූලි 3 ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
දෙවැනි ටෙස්ට් තරගය ජූලි 8 – 12 ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

 

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙතට රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<