සිධූට සිර දඬුවම්

677

’90 දශකයේ ඉන්දියානු ක්‍රිකට් තරුවක් වූ නව්ජෝත් සිං සිධූ හට සිර දඬුවම් නියමව තිබෙනවා. ඒ 1988 දී සිදු වූ මනුෂ්‍ය ඝාතනයක් හේතුවෙන්.

මහමඟ දී ඇති වූ සිද්ධියක් මත සිධූ අතින් පහර කෑමට ලක්වූ 65 හැවිරිදි ගුරනාම් සිං මරණයට පත්වීම සහ ඒ පිළිබඳ ක්‍රියාත්මක වූ නඩුව ගැන ක්‍රිකට් ප්‍රේක්ෂකයන් වන ඔබ මේ වන විට නොයෙක් වර අසා ඇති. මින් පෙර ද මෙම සිද්ධිය නිසාම සිධූව සිරභාරයට පත්කෙරුනා. පසුව 2018 දී මනුෂ්‍ය ඝාතන චෝදනාවෙන් ඔහුව නිදහස් කළා.

කෙසේ වෙතත් ඉන්පසුව ක්‍රිකට් විස්තර විචාරකයෙකු, රූපවාහිනී වැඩසටහන්වලට සහභාගී වන්නෙකු සහ දේශපාලකයෙකු වශයෙන් සිධූ විසින් දිනා ගත් කීර්තිය නිසා එම සිද්ධිය යම් තරමකට යට ගැසී තිබුණා.

පසුගිය දා “චේතනාත්මකව රිදවීමේ චෝදනාව” මත ශ්‍රේෂ්ඨාධිකරණයේ දී සැලකිල්ලට ගත් නඩුවේ දී තීරණය කෙරුණේ “සිධූ විසින් සිතාමතාම ගුර්නාම් සිං හට රිදවා ඇති බව”යි. එබැවින් ඔහුට වසරක සිර දඬුවමක් නියම කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා.

පන්ජාබ් ප්‍රාන්තයේ කොන්ග්‍රස් පක්ෂ දේශපාලනඥයෙකු වූ සිධූ මෑතක දී එහි ප්‍රධානී තනතුරින් ඉල්ලා අස්වුණා. කෙසේ වෙතත් විචාරකයන් පවසන්නේ මෙය ඔහුගේ දේශපාලන ජීවිතයට තද කැළලක් වනු ඇති බව සහ මෙම දඬුවම යළි සලකා බැලීම වෙනුවෙන් ඉල්ලීමක් කිරීමට ඔහුට ඇත්තේ තවත් එක් අවස්ථාවක් පමණක් බවයි.

News18
සිධූ ක්‍රීඩා කරන සමයේදී

සිධූ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ටෙස්ට් ලකුණු 3202ක් සහ එක්දින ලකුණු 4413ක හිමිකරුවෙක්. ඔහු 1999 දී ජාත්‍යන්තර ක්‍රිකට්වලට සමුදීමෙන් පසුව දේශපාලනයට පිවිසුනා. ක්‍රිකට් පිටියේ දී දරුණු ක්‍රීඩකයෙකු මෙන්ම ඉන් පිටත දී විනෝදකාමී පුද්ගලයෙකු ලෙස ඔහු ප්‍රකටව සිටියා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<