“අප කැපකිරීම් කළ යුතුයි” – චමින්ද වාස්

5328

“කැපකිරීම්” යන වචනයත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවත් එකට යා කරන චමින්ද වාස්, මෙතෙක් ශ්‍රී ලංකාවෙන් බිහිවූ සාර්ථකම වේගපන්දු යවන්නා ය. ඊට කොපමණ තර්ක-ප්‍රතිතර්ක ගොඩනැගුනත් සත්‍යය එයයි.

මුත්තයියා මුරලිදරන් ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා වන්නට යන ගමනේ දී ඊට අනෙක් පසින් සහාය වූ ප්‍රමුඛතම පන්දු යවන්නා චමින්ද වාස් ය. පීඩාකාරී අව් රශ්මිය යට, තමන්ට කිසිදු සහයක් නැති තණතීරු මත, දහදිය වැගිරෙන සිරුරෙන්, වේදනා දෙන වළලුකරින්, කොඳු ඇට පෙලෙන් දමනය නොවී තම සගයාව ලොව හිනිපෙත්තට නංවන්නට වේගපන්දු යවන්නෙකු ලෙස ඔහු කළ කැපකිරීම් පමණක්ම ඊට සාක්ෂි සපයයි.

“පුහුණුවේදී දහදිය හෙලන්නා, යුද්ධයේ දී ආරක්‍ෂිත ය.”

නොඑසේ නම් MRF වේගපන්දු ඇකඩමියේ දී “ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කරන්නට නුසුදුසු බව” ලෝක ප්‍රකට වේගපන්දු යවන්නෙකු වූ ඩෙනිස් ලිලී විසින් පැවසීමෙන් පසුවත් අනලස්ව තම කාර්යයේ නියුතු වූ උදාහරණය ගෙන හැර පෑ හැකිය.

MRF ඇකඩමියේ දී ආබාධවලට ලක්වීමේ ඉඩකඩ ඇත්තෙකු ලෙස හංවඩු ගැසුණු වාස් පසුකාලීනව ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨතම ජාත්‍යන්තර වේගපන්දු යවන්නා වූ අතර, එම ඇකඩමියෙ හිදී ම ශ්‍රී ලංකාවට දිගුකාලයක් සේවය සපයනු ඇතැයි විශ්වාසය ලද රවීන්ද්‍ර පුෂ්පකුමාරගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ අතරමඟ නතර විය. කොපමණ පීඩා දෙන්නට වෑයම් කළත්, ආබාධ චමින්ද වාස්ගේ නම ඉදිරියෙහි සැඟවුණි.

“කැපකිරීම්” සහ චමින්ද වාස් අතර ඇති සම්බන්ධය එයයි. හින්දුස්තාන් ටයිම්ස් සමඟින් පසුගිය දා සිදු කළ සාකච්ඡාවක දී ඔහු නැවතත් කැපකිරීම් කළ යුතුව ඇති බව සිහිකළේය. එසේ නම් මේ මොහොතේ අප කළ යුතු කැපකිරීම කුමක්ද?

ඒක ලේසි නෑ. මිනිස්සු පෙට්‍රල්, ගෑස්, ඩීසල් පෝලිම්වලත්, ඇතැම් විට කෑම පෝලිම්වලත් ඉන්නවා. එක දවසින් හැමදේම හරියන්නේ නෑ. මේ වෙලාවේ දී අප කැපකිරීම් කළ යුතුයි. හොඳ කාලයක් ඉක්මණින්ම එයි කියලා බලාපොරොත්තුවෙන්.” ඔහු කිවේය.

ශ්‍රී ලංකාව, එහි ඉතිහාසය තුළ මුහුණපාමින් සිටින දරුණුතම ආර්ථික අර්බුදය ඉදිරියේ අසරණව ඇත. දෛනික අවශ්‍යතා සඳහාවත් නිසි පරිදි භාණ්ඩ හා සේවා සපයා ගැනීමට තරම් ප්‍රමාණවත් විදෙස් සංචිත හිඟ වීමෙන් එහි දරුණුකම මහජනයාට දිනෙන් දින දැනෙමින් තිබේ. මහජනතාව නොසන්සුන් වෙමින් සිටින අතර ප්‍රකට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වූ රොෂාන් මහානාම, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, මාවන් අතපත්තු, ධම්මික ප්‍රසාද් වැන්නන් ද ඒ පිළිබඳ සිය හඬ අවදි කළේය.

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වන වනිඳු හසරංග, භානුක රාජපක්ෂ වැනි ක්‍රීඩකයන් ද මහජනයා විසින් මුහුණදෙන දුෂ්කරතා ගැන වරින් වර අදහස් පළකරනු අපි සමාජ මාධ්‍ය තුළින් දුටුවෙමු. චමින්ද වාස් ඊට එක්වූ ජ්‍යෙෂ්ඨයෙකි.

මට දේශපාලනයෙන් නම් වැඩක් නෑ, ඒත් මේ කාරණය ශ්‍රී ලංකාව තුළ විශාල අවුලක්.” මුම්බායි ක්‍රිකට් සමාජයේ සහ ජ්වාලා ක්‍රිකට් පදනමේ ක්‍රිකට් ක්‍රීඩා කරන කුඩා දරුවන් වෙනුවෙන් වැඩමුළුවක් පවත්වන අතරතුර ඔහු මේ අදහස් පළකළේය.

හැමදේම වෙනස් වෙන්න කාලෙ හරි. පාලනාධිකාරයට හොඳම පුද්ගලයන්ව තෝරාගෙන හොඳම විදියට රට පාලනය වෙන්නත්, අනාගතය වෙනුවෙන් යමක් කරන්නත්.” ඔහු කීවේය.

48 හැවිරිදි චමින්ද වාස් තවමත් බලාපොරොත්තු වන්නේ එළඹෙන මාස 3-4ක කාලය තුළ තත්වය හොඳ අතට හැරෙනු ඇති බවටයි. ඕනෑම පියවරක ප්‍රතිඵල ලබා ගැනීමට යම් කාලයක් ඇවැසි ය.

පසුගිය වසරේ දී ශ්‍රී ලංකා වේගපන්දු පුහුණුකාරීත්වය භාරගැනීමෙන් පසුව ඔහු විසින් දුෂ්මන්ත චමීරව දියුණු කළ ආකාරය ඊට හොඳම උදාහරණයකි. ආබාධවලින් පීඩා විඳිමින් තමන්ගේ උපරිම දස්කම් වලට යාමට නොහැකිව සිටි චමීර, වාස්ගේ පුහුණුකාරීත්වය යටතේ වේගයෙන් දියුණු වූවා පමණක් නොව ලොව ඉහළින්ම සිටින වේගපන්දු යවන්නෙකු බවට පත්ව ඇත.

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ වේගපන්දු යවන්නන් දියුණු කිරීමේ දී ක්‍රීඩකයන් තුළින් හමුවන ප්‍රධාන අභියෝගය වන්නේ වේගය ඇත්නම් ඉලක්කය සහ දෝලනය අවම වීමත්, දෝලනය සහ ඉලක්කය ඇත්නම් වේගය අවම වීමත් ය. එහෙත් චමීර සම්බන්ධව ඒ අභියෝගය ජයගැනීමට වාස් සමත් විය. ඔහුගේ වේගය නොමරා ඔහුව ශූර, ආබාධ අවම පන්දු යවන්නෙකු කිරීමට වාස්ට හැකි විය.

ඊට අමතරව ඔහු විසින් සොයා ගත් ඩිල්ෂාන් මදුශංක වැනි නවකයින් මේ වන විට බංග්ලාදේශ ටෙස්ට් සංචාරය වෙත යාමට තරම් දියුණු වී ඇත. එහෙත් සමස්තයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් තිබෙන තත්වය ගැන ප්‍රේක්ෂකයන් තුළ එතරම් පැහැදීමක් නැත.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලකයන් සහ රජය තමයි ඒ ගැන බලලා අනාගතය වෙනුවෙන් යම්කිසි දෙයක් කරන්න ඕන. ඔවුන්ට ඒක කරන්න පුළුවන් නම් නැවත අපේ ක්‍රිකට් හොඳ අතට පත්වේවි.” වාස් පැවසීය.

අපට ඇතිතරම් දක්ෂතා තිබෙනවා. ඒත් මෑතකාලීන දේශපාලනය නිසා විශාල ප්‍රමාද දෝෂ සිදුවී තිබෙනවා. ශ්‍රී ලංකාවට ඒ දේවල් හදාගන්න පුළුවන් නම්, කණ්ඩායමක් හැටියට වැඩ කරන්න පුළුවන් නම්, අපට අනිවාර්යයෙන්ම අනාගතයේ දී තව ක්‍රීඩකයන්ව නිපදවගන්න පුළුවන්.” ඔහු වැඩිදුරටත් කිවේය.

අනාගතය වෙනුවෙන්…

පසුගිය වසරේ දී පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ කාණ්ඩ වටයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම ඉවතට විසිවිය. එහෙත් මේ වසර වන විට එම කණ්ඩායමේ ක්‍රීඩා කළ වනිඳු හසරංග, භානුක රාජපක්ෂ, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ වැනි තරුණ ක්‍රීඩකයන් IPL තරගාවලියට සහභාගී වෙමින් ශ්‍රී ලංකාවට ආඩම්බර විය හැකි ලෝක මට්ටමේ දස්කම් දක්වමින් සිටියි. පසුගිය දා සිය පළමු IPL තරගයට සහභාගී වූ මතීෂ පතිරණ ද ඉහළ දස්කම් දැක්වූයේය.

මම සතුටුවෙනවා මේ වසරේ IPL තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වැඩි ගණනකට අවස්ථා ලැබිලා ඔවුන් තමන්ට විශාල රාජකාරියක් කරන්න පුළුවන් කියලා විශ්වාස කරන එකට. වනිඳු තමයි හොඳම උදාහරණය. ඔහු තරුවක්. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙනුත් හොඳින් දස්කම් දක්වමින් ඉන්නවා. අනෙක් අයත් තමන්ගේ කොටස කරනවා. අනාගත ශ්‍රී ලංකා ක්‍රීඩකයන් IPL තරගාවලියේ ක්‍රීඩා කරන එක හොඳයි.” ඒ පිළිබඳව වාස්ගේ අදහස එයයි.

අභියෝග රැසක් මැද ජාත්‍යන්තර ක්‍රිකට් වෙත පා තබා, එහි දී ද සිය උපරිම කැපවීමෙන් ක්‍රීඩා කොට, ක්‍රීඩාවෙන් විශ්‍රාම ගිය පසුව ද නවක ක්‍රීඩකයන් හා සමීපව ඔවුන් හා දැනුම බෙදාගත හැකි විරල ගණයේ වේගපන්දු යවන්නෙකු ලෙස චමින්ද වාස් ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ සිත් තුළ වැජඹෙන්නෙකි. එබැවින් ඔහුගේ ඉහත වචන ස්වල්පය පවා ශ්‍රී ලංකාවට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට නොවැදගත් වන්නේ ද?

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<