මෙවර අන්තර් පාසල් බාලිකා ක්‍රිකට් බිමේ දක්ෂයෝ

19න් පහළ අන්තර් පාසල් බාලිකා ක්‍රිකට් තරගාවලිය 2022

1852
SLSCA U19 Girls Inter Schools Cricket Tournament 2022 Review

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් හි අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලැබූ වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් බාලිකා ක්‍රිකට් තරගාවලිය පසුගිය දා සාර්ථකව නිමා වුනා. තරගාවලියේ ශූරතාවය දිනා ගන්නට ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලය සමත් වුනා.

මෙවර තරගාවලියේ පාසල් කණ්ඩායම් 34ක් කාණ්ඩ 6ක් යටතේ තරග වැදුණු අතර මූලික වටයේ තරග අවසන් වූ පසුව ඉන් කණ්ඩායම් 16ක් (ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයන් දෙක බැගින් කණ්ඩායම් 12ක් සහ හොඳම තෙවැනි ස්ථාන අතරින් කණ්ඩායම් 4ක්) එහි දෙවැනි වටයට සුදුසුකම් ලබා ගත්තා.

එතැන් සිට පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට පැවති තරගාවලියේ දී ගම්පහ රත්නාවලි බාලිකා, වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය, රත්ගම දේවපතිරාජ, නුගේගොඩ අනුලා, මොරටුව වේල්ස් කුමරි, ඔක්කම්පිටිය විජයබා, මාතර අනුර මහා විද්‍යාලය සහ එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාල කණ්ඩායම් අර්ධ අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබා ගත්තා.

එම කණ්ඩායම් අතර පැවති පිළිමළුන් පිටුදැකීමේ තරග වටයට පසුව ගම්පහ රත්නාවලි බාලිකා, වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය, රත්ගම දේවපතිරාජ සහ නුගේගොඩ අනුලා විද්‍යාල අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

මෙහි අවසන් පූර්ව තරග දෙක පසුගිය 30 වැනිදා පැවති අතර එහි දී අනුලා විද්‍යාලය විසින් ගියවර ශූරතාවය දිනා ගත් දේවපතිරාජ විද්‍යාලය ලකුණු 8කින් ද, රත්නාවලි විද්‍යාලය විසින් වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය ලකුණු 58කින් ද පරාජය කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

>>Photos – Anula Vidyalaya Vs Rathnawali Balika Vidyalaya | U19 Girls Schools Cricket Tournament 2022 | Final<<

අවසානයේ දී හෂිනි ලියනගේ මෙහෙයවූ අනුලා විද්‍යාලය පරාජය කළ අපරාජිත ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලය මෙවර අන්තර් පාසල් බාලිකා ක්‍රිකට් ශූරතාවය දිනා ගැනීමට සමත් වුනා.

වැඩිම ලකුණු ලබා ගත් පිතිකාරිණියන්
  • විශ්මි ගුණරත්න – ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය

රත්නාවලි බාලිකා විද්‍යාලය ශූරතාවය දක්වා මෙහෙය වූ නායිකා විශ්මි මෙවර අන්තර් පාසල් බාලිකා ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත්වුනා.

ආරම්භක පිතිකාරිණිය ලෙස ක්‍රීඩා කළ 16 හැවිරිදි විශ්මි මෙවර තරගාවලියේ ඉනිම් 8ක දී ලකුණු 900ක් ලබා ගත්තේ අර්ධ ශතක 2ක් සහ ශතක 3ක් එල්ල කරමින්. ඇය ජයසිරිපුර කනිෂ්ඨ විද්‍යාලයට එරෙහිව පන්දු 128ක දී නොදැවී ලකුණු 417*ක් ලබාගෙන සුපිරි ඉනිමක් දියත් කළ අතර එය වාර්තාගත ඉනිමක් බවට පත්වුනා.

ශ්‍රී ලංකා කාන්තා ජාතික සංචිතය ද නියෝජනය කළ ඇය නොදැවුණු ඉනිම් 5ක් සමඟ 300ක සුපිරි දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගත්තේ 213.78ක දැවැන්ත ප්‍රහාරාත්මක වේගයක් ද රඳවා ගෙනයි. තරගාවලිය පුරාවට 6 පහර 43ක් සහ 4 පහර 113ක් එල්ල කිරීමට දකුණතින් පිතිකරණයේ නිරත වන විශ්මි සමත් වුනා.

  • ඉමේෂා දුලානි – දේවපතිරාජ විද්‍යාලය

තරගාවලිය තෙවැනි ස්ථානය දිනා ගත් දේවපතිරාජ විද්‍යාලයේ මුල්පෙළ පිතිකාරිණියක් ලෙස නායිකා ඉමේෂා ඉනිම් 7ක දී ලකුණු 667ක් ලබා ගත්තා.

දකුණතින් පිතිකරණයේ නිරත වන ඉමේෂා 4 පහර 88ක් සහ 6 පහර 21ක් සමඟ ලබා ගත් මේ ලකුණු ප්‍රමාණවල සාමාන්‍යය 111.17ක් වුනු අතර ඇයගේ ප්‍රහාරාත්මක වේගය 174.15ක් ලෙස සටහන් වුනා.

අවිස්සාවේල්ල මීගොඩ මහා විද්‍යාලයට එරෙහිව පැවති ආරම්භක තරගයේ දී පන්දු 76ක් තුල වේගවත් ලකුණු 191ක් ලබා ගැනීම මෙවර තරගාවලිය තුල ඇයගේ හොඳම ඉනිම වුනු අතර තරගාවලිය පුරාවට අර්ධ ශතක 2ක් සහ ශතක 3ක් ලබා ගැනීමට ඉමේෂා හට හැකි වුනා.

  • නවෝද්‍යා නෙත්මිණි – වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය

නවෝද්‍යා මේ තරගාවලියේ ඉනිම් 9ක දී ලකුණු 638ක් ලබා ගත්තා. ශතක 2ක් සහ අර්ධ ශතක 2ක් ලබා ගත් ඇය 91.14ක ද​ල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගැනීමට සමත් වුනේ නොදැවුණු ඉනිම් 2ක් ද ක්‍රීඩා කරමිනි.

165.28ක ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගත් ඇය පානදුර සාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයට එරෙහිව පන්දු 96ක දී නොදැවී ලබා ගත් වේගවත් ලකුණු 201* මෙවර තරගාවලිය තුල ඇය දියත් කළ හොඳම ඉනිම බවට ද පත්වුනා.

  • කෞශිනි නුත්‍යන්ගා – නුගේගොඩ අනුලා විද්‍යාලය

වයස අවුරුදු 19ක් වන දකුණතින් පිතිකරණයේ නිරත වන කෞශිනි නුගේගොඩ අනුලා විද්‍යාලයට අනුශූරතාවය දිනා දීම දක්වා රැගෙන එන්නට විශාල මෙහෙයක් කළ පිතිකාරිණියක්. ඉනිම් 8ක දී ලකුණු 549ක් ලබා ගැනීමට සමත් වුනු ඇය මාරපොල මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව පන්දු 133ක දී නොදැවී ලකුණු 374*ක් ලබා ගැනීමට සමත් වුනා.

109.80ක ද​ල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් සහිත වුනු කෞශිනිගේ ප්‍රහාරාත්මක වේගය 191.96ක් වුනු අතර තරගාවලියේ දී එක් ශතකයක් ලබා ගැනීමට ඇයට හැකියාව ලැබුණා.

  • මනුදි නානායක්කාර – මොරටුව වේල්ස් කුමරි විද්‍යාලය

මෙවර මේ තරගාවලියේ වැඩිම ලකුණු ලාභිනියන් අතර සිටින එකම වමත් පිතිකාරිණිය මනුදි. ඇය ඉනිම් 6ක දී ලකුණු 464ක් ලබා ගත්තේ ලකුණු 116.00ක ද​ල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් සහ 139.34ක ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගෙනයි. 4 පහර 56ක් සහ 6 පහර 14ක් සමඟ රැස්කර ගත් ලකුණු 464ට ශතක 2ක් සහ අර්ධ ශතක 2ක් ඇතු​ළත්.

වැඩිම කඩුලු දවා ගත් පන්දු යවන්නියන්
  • සප්නා මදුභාශිනි – රත්ගම දේවපතිරාජ විද්‍යාලය

රත්ගම දේවපතිරාජ විද්‍යාලයට තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගැනීම වෙනුවෙන් පන්දු යැවීමෙන් කැපී පෙනෙන දස්කම් දැක්වූ ක්‍රීඩිකාවක් ලෙස සප්නා මදුභාශිනි හැඳින්වීමට පුළුවන්. දකුණතින් පිට දඟපන්දු යවන ඇය ඉනිම් 9ක දී කඩුලු 22ක් දවා ගත්තා.

මාතර අනුර මහා විද්‍යාලයට එරෙහිව සිය හොඳම පන්දු යැවීමේ දස්කම පෙන්වූ සප්නා එහි දී පන්දු 19ක් තුල ලකුණු 7කට කඩුලු 4ක් දවා ගත්තා.

තරගාවලිය පුරාවට නිලකුණු පන්දුවාර 10ක් සහ 5.59ක සුපිරි කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් පෙන්වූ ඇය එක් පන්දුවාරයකට ද​ල වශයෙන් 2.91ක ලකුණු ලබා දීමක් සිදු කළා.

  • හෂිනි ලියනගේ – නුගේගොඩ අනුලා විද්‍යාලය

නුගේගොඩ අනුලා විද්‍යාලය අනුශූරතාවය දක්වා මෙහෙයවූ කණ්ඩායමේ නායිකා හෂිනි මෙවර තරගාවලියේ ඉනිම් 9ක දී කඩුලු 22ක් දවාගෙන දස්කම් දැක්වූවා. හෂිනි සහ සප්නා දවා ගත් කඩුලු ගණන සමාන වුවත් කඩුලු දවා ගැනීමේ සාමාන්‍යය අනුව හෂිනි දෙවැනි තැන දිනා ගත්තා.

වමතින් දඟපන්දු යවන ඇය නිලකුණු පන්දුවාර 9ක් සමඟ 6.86ක අගනා මට්ටමක කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගැනීමට සමත් වුනා. වැල්ලවාය ඇතිලිවැව මහා විද්‍යාලයට එරෙහිව පන්දු 16ක් තුල ලකුණු 2කට කඩුලු 5ක් බිඳ හෙලීම ඇයගේ හොඳම දස්කම ලෙස සටහන් කළ හසිනි ද​ල වශයෙන් පන්දුවාරයකට 3.08ක ලකුණු ලබා දීමක් සිදු කරමින් පන්දු යැවීම සිදු කළා.

  • විදූශිකා පෙරේරා – ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය

වමතින් දඟපන්දු යවන විදූශිකා මෙවර තරගාවලියේ ශූරතාවය රත්නාවලී බාලිකා විද්‍යාලයට දිනා දීම වෙනුවෙන් පන්දු යැවීමෙන් වැඩිම වගකීමක් දැක්වූ ක්‍රීඩිකාවයි.

විදූශිකා ඉනිම් 8ක දී කඩුලු 19ක් දවාගෙන දස්කම් දක්වමින් මෙවර අන්තර් පාසල් බාලිකා ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලු ලාභිනියන් අතර තුන්වැනි තැන දිනා ගත්තා.

6.47ක කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවාගෙන පන්දු යැවූ විදූශිකාට එරෙහිව ද​ල වශයෙන් පන්දුවාරයකට 2.73ක ලකුණු ලබා ගැනීමක් සිදු කර තිබෙනවා.

  • නිම්සරා දිසානායක – එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලය

වැඩිම කඩුලු දවා ගත් පන්දු යවන්නියන් 5 දෙනා අතර ඉදිරියෙන්ම සිටින වේගපන්දු යවන ක්‍රීඩිකාව වන්නේ නිම්සරා දිසානායකයි. දකුණතින් මද වේගපන්දු යවන ඇය තරගාවලියේ ඉනිම් 7ක දී කඩුලු 18ක් දවා ගත් අතර නිලකුණු පන්දුවාර 4ක් එයට ඇතුළත්.

මන්නාරම සාන්ත ෆාතිමා මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ලකුණු 7කට කඩුලු 6ක් දවා ගැනීම මේ තරගාවලිය තුල නිම්සරා දැක්වූ හොඳම දස්කමයි. 5.72ක කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් සඳහා හිමිකම් කියන ඇයට එරෙහිව ද​ල වශයෙන් පන්දුවාරයකට 3.43ක ලකුණු ලබා ගැනීමක් සිදු කර තිබෙනවා.

  • නෙත්මි පූර්ණා – වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය

දකුණතින් මද වේගපන්දු යවන නෙත්මි පූර්ණා ඉනිම් 9ක දී කඩුලු 17ක් දවාගෙන දස්කම් දැක්වූ අතර එහි දී 7.29ක කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් සහ නිලකුණු පන්දුවාර 7ක් ක්‍රියාත්මක කිරීමට නෙත්මිට හැකියාව ලැබුණා.

කඩුලු 3 බැගින් වූ අවස්ථා 3ක් සමඟ ඇයගේ හොඳම පන්දු යැවීමේ දස්කම පෙන්නුම් කළ නෙත්මිට එරෙහිව ද​ල වශයෙන් පන්දුවාරයකට 3.02ක ලකුණු ලබා ගැනීමක් සිදුකර තිබෙනවා.

තරගාවලියේ දස්කම් දැක්වූ බොහෝමයක් ක්‍රීඩිකාවන් හට පළමු වරට පැවැත්වෙන ICC වයස අවුරුදු 19න් පහළ කාන්තා ලෝක කුසලාන (විස්සයි විස්ස) ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට අවස්ථාවක් හිමිවෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<