Wednesday, May 18, 2022

ඉත්තෝ!!

2025 අප්‍රේල් 1දා

මේ තත්ත්වයට රටේ පාලනාධිකාරිය වග කියන්න ඕනද? ඔව් 100%
ප්‍රධාන විපක්ෂය ඇතුළු සෙසු පක්ෂ සියල්ලම වගකියන්න ඕනද? ඔව් 100%
මාත් ඔබත් ඇතුලු මේ රටේ මහජනතාව වගකියන්න ඕනද? ඔව් 100%
මෙතන කාගේ කාගෙත් කිල්ලෝටවල හුණු තියෙනවා. කවුරු කවුරුත් අඩුවැඩි වශයෙන් සියඹලා ගෙනල්ලත් තියෙනවා.

හැම මිනිහෙක්ටම ආවේණික වූ මතිමතාන්තර, ආකල්ප, චර්යාවන් තියෙනවා. හැබැයි සාමුහිකව වගවිය යුතු ඔය කලින් කිව්ව සමූහයන් තුනේදීම කාටවත් තමන්ගේ විදියටම ජීවත් වෙන්න බෑ. ඒ සමූහයේ හැමෝටම ඇදේට යන එකා කෙලින් කරවන්න වගකීමක් තියෙනවා. මේක තමයි න්‍යායාත්මකව විය යුත්තේ. ඒත් ප්‍රායෝගික තත්ත්වය මීට වඩා වෙනස් වෙනවා කියන එකත් අපි මතක තියාගන්න ඕන.
සමූහයක බහුතරය ඇදට ගමන් කරනවා නම් කොහොමද දැනගන්නේ කෙළින් ගමන් කරනවා කියන්නේ මොකද්ද කියලා? කොහොමද හරි වැරැද්ද අඳුනගන්නේ? 

මිනිස්සු දිගින් දිගටම පීඩාවට පත්වේගෙන එනකොට රජය, ප්‍රධාන විපක්ෂය ඇතුළු සියලු පක්‍ෂ පාර්ලිමේන්තුවේදී සහ ඉන් පිටතදී මොනවද කළේ? සුපුරුදු ලෙස ආඳාමය ප්‍රකාශ, විකාරරූපී හැසිරීම්, ගැලරියට ආතල් සැපයීම් සහ බොරදියේ මාලුබෑම්! එතකොට පීඩනය කොයි මොහොතක හෝ පුපුරා යන බව නොදන්නවාද? නෑ. 
ඇයි එහෙනම් පියවරක් නොගත්තේ? අධිමාන්නය, අධිතක්සේරුව, උද්ධච්ඡකම, මුග්ධකම, ආත්මාර්ථකාමීත්වය, බලතණ්හාව, ඩීල් ඇතුළු අපි කවුරුවත් පැහැදිලිව නොදකින තවත් හේතු. 
ඒක පක්ෂ විපක්ෂ සේරටම පොදුයි! 
උඩයන්න එපා, ඔය කොයි පක්ෂෙත් එහෙමයි! 

ඔබෙත් මගෙත් නියෝජනය තියෙන තුන්වැනි සමූහය කොහොමද? 
ගෑස් නෑ, කරන්ට් නෑ, පෙට්‍රල් නෑ, ඩීසල් නෑ, භූමිතෙල් නෑ, කිරිපිටි නෑ, එළවළු නෑ, හාල් නෑ! තිබ්බත් ගන්න සල්ලි නෑ. ඒක තමයි ඇත්ත තත්ත්වය. එකඟයි.

එක අඩියක් ආපස්සට අරන් සමූහය දිහා බලමුද? 
පෝලිම්වල දුක් වින්ඳ, කට්ට කෑව, මැරිලා වැටුණ ඇත්තටම තමන්ගෙ ගෙදර මිනිස්සුන්ට කන්න බොන්න ටික දෙන්න ඕන මිනිස්සු ඉන්නවා. බහුතරයක් එහෙමයි. හැබැයි ඕක අස්සෙ හිටියෙ නැද්ද සල්ලිවලට පෝලිමේ හිටිය උං?
සංවිධානාත්මකව ඇවිල්ලා සිලින්ඩර් තුන හතර ලයින් කරගෙන ගිහින් ගිනිගාණට පිට විකුණපු උං? 
බූලි තුනහතර පුරවං ගිහින් ගිනිගාණට විකුණලා අහිංසකයන්ව, ගෙවල්වලට කොටුවෙච්ච තනිවෙච්ච වයසක මිනිස්සුන්ව විශ්‍රාමිකයන්ව රෝගීන්ව හූරං කාපු උං? 
කලුකඩකාරයන්ගෙ චක් ගෝලයෝ වෙච්චි උං? 
කලුදුම දැම්මට දුං පරීක්ෂණ සමත්වෙන, ලාභ ලබන්න භූමිතෙල්වලින් දුවන බස්කාරයන්ට භූමිතෙල් ඇදපු උං හිටියේ නැද්ද? 
ටෝලර්කාරයන්ගේ තෙල් සංචිත තරකරන්න හිටිය උං නැද්ද? 
හිටියා! දැනුත් ඉන්නවා! 
ඒත් අපි ඒක පිළිගන්න කැමති නෑ. 
අපි තමයි සුර. අරුන් විතරයි අසුර! 

ඊළගට සල්ලි නෑ, කන්න බොන්න නෑ කියකියාත් මහරගම, නුගේගොඩ, කිරිබත්ගොඩ ඇතුලු ප්‍රධාන නගරවල පොරකකා ෂොපිං කළේ නැද්ද අපි? පෙට්‍රල් ඩීසල් නැතිවුණාට වාහන කාර්පාක්වල ඉඩ නැතිවෙන්න පුරවගෙන, මහපාරේ රණ්ඩුවෙවී පවුල් පිටිං අවුරුදු ෂොපින් ගියේ නැද්ද, යන්නෙ නැද්ද? 
සුපර්මාර්කට්වල රාක්ක සේරම හූරං මට, මගේ පවුලට විතරක් දේවල් තිබ්බම ඇති කියලා ෂොපිං කරපු උං හිටියෙම නැද්ද? 

ඔය උඩම කිව්ව මුල් සමූහ දෙකේ බඩගෝස්තරවාදියෝ වැඩියි. එකෙකුට එකෙක් ඇඟිල්ල දික් කරන්න බෑ හතරක් ආපහු හැරෙන හින්දා. හැබැයි ඒ ගේම් එකේදි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ සමූහය එකතුයි! පොඩ්ඩක් කෙනිත්තුවට තුවාල කරන්නේ නෑ.
ඇයි? තුන්වැනි සමූහය ඉන්නව අවශ්‍යවුණාම පාවිච්චි කරන්න. ඉත්තො නං ඉත්තො, ගවයො නං ගවයො, මැට්ටො නං මැට්ටො, බට්ටො නං බට්ටො! හැබැයි දැන් ලෝකේ දියුණු හින්දා තුන්වැනි සමූහයේ අපි හිතං ඉන්නවා අපි ගැන මෙහෙම: අපි කිසිදු දේශපාලන පක්ෂයක හෙංචයියලා නෙවෙයි, අපි ස්වාධීන මතධාරීන්, දේශපාලන ගැතිභාවය අපේ කලින් පරම්පරාවලින් ඉවරවුණා, අපි තමයි රටේ බලවත්ම කොටස. 
රෙද්ද තමයි!!

අපි තමයි අවස්ථාවාදීන්ගේ ලොකුම ආයුධය! අපි තමයි උංගෙ හොඳම ඉත්තෝ සෙට් එක! උංට පුළුවන් නොපෙනෙන නායකත්ව බලවේග යටතේත් අපිව හසුරුවන්න උංට ඕන විදියට. ඉතිහාසයේ ඉඳන්ම ඕක තමයි වුණේ. යාපනේ පුස්තකාලේ ගිනි තිබ්බෙ කොහොමද? කලුජූලිය පටන් ගත්තෙ කොහොමද? යුද්ධෙ දශක තුනක් ඇදුණේ කොහොමද? 
හොඳම මොළකාරයෝ වෙන්න පුළුවන් කියලා හිතපු උං මැරුණේ කොහොමද? 
විප්ලව කියලා පටන් ගත්තුවයෙ ඇත්තටම වුණේ විප්ලවද? 
දැංවුණත් වෙනසක් නෑ, එකම දේ දැං ඉත්තො ඉස්සර ඉත්තන්ට වඩා පොෂ්, හැබැයි හෙන ගොං! දැං ගේම් එක දියුණුයි, සංවිධාන ශක්තිය වැඩියි. අපි කතාකරන්නේ ලොකු බර වචන, කියන්නේ ගෝලීය දේශපාලනමය කතා, හැබැයි අර සමූහ දෙක යටතෙ තාම දුවන ඉත්තො!

ඉත්තො ගේම් එක ගැහුවට උංට බෝඩ් එක අයිති වෙන්නේ නෑ, දිනපු එකාව අයිති වෙන්නෙත් නෑ. බෝඩ් එක යට යන ගේම ඉත්තෝ දන්නෙත් නෑ! 
ඉත්තො ලව්වා ඉත්තන්ටම ගස්සන උං හරි ලස්සනට දිනපු පැරදුණු ඉත්තො සෙට් දෙකම එක බෝතලේට දාලා බෝඩ් එක බිත්තියට හේත්තු කරලා යනවා. අවසානෙ හැම ගේම් එකකදිම වෙන්නේ ඒකයි!


No comments:

Post a Comment