මාලිංගට එරෙහිව Sehwagගේ පළමු නිලකුණු පන්දුවාරය

2836
Virender Sehwag recalls facing Lasith Malinga

“ඔයා කොහොමද දෙයියනේ ඒක කළේ?” කියලා ගොඩ දෙනක් මගෙන් ඇහුවා. ඉන්දීය කණ්ඩායමේ හිටපු විශිෂ්ඨ ආරම්භක පිතිකරු Virender Sehwag මෙසේ පවසා සිටියේ 2011 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ඔහු ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක ලසිත් මාලිංගට මුහුණ දුන් අයුරු සිහිපත් කරමින්.

හිටපු ඉන්දීය ආරම්භක පිතිකරු Virender Sehwag ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ මෙන්ම ලෝක ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ ප්‍රවේගකාරීම පිතිකරුවෙකු ලෙස සැලකෙනවා.

Virender Sehwag ලෝක ටෙස්ට් සහ එක්දින පිතිකරණයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට මුල් වූ අතර ලොව පුරා පන්දු යවන්නන්ට පහර පිට පහර දීම කෙරෙහි ප්‍රබල ආධිපත්‍යයක් දරනු ලැබුවා.

විශිෂ්ට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ Virender Sehwag ටෙස්ට් තරග 104ක දී, එක්දින තරග 251ක දී සහ විස්සයි විස්ස තරග 19ක දී ඉන්දියාව නියෝජනය කළා. එමෙන්ම ක්‍රීඩාවේ දීර්ඝතම ආකෘතිය වන ටෙස්ට් තරගවල දී ත්‍රිත්ව ශතකයක් රැස් කළ පළමු ඉන්දියානුවා ද ඔහුයි.

Virender Sehwag හට ටෙස්ට් ත්‍රිත්ව ශතක දෙකක් මෙන්ම එක්දින ද්විත්ව ශතකයක් ද තිබීම විශේෂත්වයක්.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුල් සාමාජිකයෙකු වූ Virender Sehwag, 2011 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී Delhi Daredevils නියෝජනය කළා. Delhi Daredevils සහ Mumbai Indians අතර තරගයක දී ලසිත් මාලිංග ක්‍රියාත්මක කළ පන්දුවාරයට ක්‍රීඩා කළ ආකාරය බොහෝ දෙනෙකු පුදුමයට පත් කර තිබුණා.

එම පන්දුවාරයේ දී Sehwag කිසිදු ලකුණක් රැස් කරගෙන තිබුණේ නැහැ. එම පන්දුවාරය තමන් ක්‍රීඩා කළ පළමු නිලකුණු පන්දුවාරය බව Sehwag වසර 10කට පසු හෙළි කළා. හිටපු ඉන්දීය පිතිකරුවා Cricbuzz සමඟින් පැවති සංවාදයක දී මේ බව පවසා සිටියා.

මම වරක් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ නිලකුණු පන්දුවාරයක් ක්‍රීඩා කළා. ඉනිම අවසන් වෙද්දී මට බොහෝ පණිවුඩ ලැබිලා තිබුණා. ‘ඔයා කොහොමද ඒක කළේ? ඒකත් විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩාවේ දී නිලකුණු පන්දුවාරයක් ක්‍රීඩා කරන්නේ කොහොමද?’ ගොඩක් අය මගෙන් අහලා තිබුණා.

මම පන්දුවාරය ක්‍රීඩා කළේ මාලිංගට එරෙහිව. මාලිංග වෙද්දී කඩුලු 3ක් 4ක් දවා ගෙන තිබුණේ. පන්දුවාරය powerplay එකේ අවසන් පන්දුවාරය නිසාත් මම ඒක ලකුණු රැස් කරගන්නේ නැතිව ක්‍රීඩා කළා. මම හිතුවා මමම ඔහුට මුහුණ දෙන්න ඕනේ කියලා. නැත්නම් මාලිංග තවත් විකට් එකක් ගන්න ඉඩ තිබුණා. නිසා මට ඉවසීමෙන් ක්‍රීඩා කරන්න සිද්ධ වුණා. මට මතකයි මගේ මිතුරන් සහ මාධ්‍යවේදීන් මට පණිවුඩ එවලා ඇහුවා මේ වගේ තරගයක දී මම කොහොමද නිලකුණු පන්දුවාර ක්‍රීඩා කරන්නේ කියලා”, යයි Sehwag පවසා සිටියා.

එම පන්දුවාරයේ පළමු පන්දු තුනේ දී මාලිංගගේ පන්දු හමුවේ ලකුණු රැස් කරගැනීමට උත්සාහ කළ ද එය සාර්ථක නොවූ බව හිටපු ඉන්දීය පිතිකරුවා හෙළි කළා. අවසානයේ ඔහු එම පන්දුවාරයේ ඉතිරි පන්දු තුන ද ලකුණු ලබා ගැනීමකින් තොරව ක්‍රීඩා කිරීමට තීරණය කර තිබුණා.

පළමු පන්දු තුනේ දී මම ඔහුගේ පන්දුවලට පහර දෙන්න උත්සාහ කළත් පන්දු කෙළින්ම පන්දු රකින්නන් දෙසට ගියා. ඉතින්, ඉතිරි පන්දු තුනේ දී මම ඉවසීමෙන් ක්‍රීඩා කරන්න උත්සාහ කළා”, Sehwag පවසා සිටියා.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<