සම්බුදු තෙමඟුලේ සැබෑ අරුත තේරුම් ගනිමු

Share

මැයි මාසය ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාවට ගෙන එන්නේ සුපහන් හැඟීමක්. ඒ අන් කවරක්වත් නිසා නොව බුදුරජාණන් වහන්සේගේ සම්බුදු තෙමඟුල වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයට යෙදෙන බැවිනි. වෙසක් පොහොය යනුවෙන් ඇසූ සැණින් ම අප මතකය දිව යන්නේ විවිධ හැඩ රැගත් වෙසක් පහන් කූඩු, රමණීය තොරණ්, තෙමඟුල සිහි කරවන විවිධාකාරයේ පූජා පමණක් නොව සැදැහැ සිතින් දෙනු ලබන දන්සල් ද වෙතට ය.

නමුත් අවාසනාවන්ත ලෙස අවුරුදු කිහිපයක සිට ඇති වසංගත හා ආර්ථිකමය මෙන් ම දේශපාලනික අස්ථාවරවීම් නිසා අතීත වෙසක් සිරිය අප කෙරෙන් සෙමින් සෙමින් ඈත් වන ලෙසක් ඔබ අප සියලු දෙනාට ම හැඟෙන්නට පටන් ගෙන තිබේ. කුඩා කාලයේ දී පාසලේ හොඳ ම වෙසක් කූඩුව නිර්මාණය කිරීමට පන්ති අතර තිබූ තරගකාරීත්වය, කූඩු සෑදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය සොයමින් එහෙ මෙහෙ දුව පනිමින් අප ගත කළ ලස්සන ම මතකයන් වර්තමාන පාසල් ළමයින්ට අහිමි වී තිබෙන්නේ වසර ගණනාවක සිට ය. අතීතයේ දී සෑම ගෙදරක ම අනිවාර්ය අංගයක් වූ වෙසක් කූඩුවක් අද වන විට කඩයෙන් මිල දී ගැනීමට බොහෝ අය පෙළඹී තිබීම අවාසනාවක්.

ඇත්තට ම බුදු සමිඳුන් දෙසූ දහමින් අපි කෙතරම් බැහැරට ගොසින් ද? ආමිසයට වඩා ප්‍රතිපත්තිය උතුම් කර ගනිමින් පුණ්‍ය ක්‍රියාවල යෙදෙන්නේ කීයෙන් කී දෙනෙක් විතරද?

වර්තමානයේ ශ්‍රී ලංකාවාසී මිනිසුන් සිටින්නේ ඉතාමත් විශාල අර්බුදයක වුව ද සම්බුදු තෙමඟුලේ සැබෑ අරුත ඉස්මතු කරමින් පින් වැඩෙන ආකාරයට මේ වෙසක් පොහොයේ ක්‍රියා කිරීම අපහසු නැත. ඇති හැකි අයුරින් කුඩා සතෙකුට වුව ද කෑමට යමක් දී සතුටු විය හැකි නම් එය උතුම් පුණ්‍ය කර්මයක් වනු නොඅනුමානයි. විච්චූරණ බල්බ වැල් හා ඝෝෂාකාරී සංගීතයෙන් ඔබ්බට ගොසින් අප කළ යුතු වන්නේ කරුණාව හා මෛත්‍රිය පෙරදැරි කර ගනිමින් බුද්ධ භාෂිතය අනුව ක්‍රියා කිරීමයි.

සැබවින් ම වෙසක් සමය වෙන් වන්නේ බෞද්ධ ජනතාවට පමණක් ම නොවේ. අවිහිංසාව, කරුණාව මුල් කර ගත් ඕනෑම අයෙකුට වෙසක් උළෙලේ සැබෑ අරුත තේරුම් ගැනීමට පුළුවන් වනු ඇත. මේ දිනවල සිත්වල පවතින දුක් වේදනා දුරලමින් සිත් පහන් කර ගැනීමටත්, සමාජය තුළ පැතිරී පවතින වෛරය, ක්‍රෝධය ආදී දුර්ගුණ තුරන් කර ගැනීමටත් මේ වෙසක් සමයේ අප සැවොම අදිටන් කරගත යුතු වෙමු.

වෙසක් උත්සවය මුවාවෙන් සිදු කරන බහුරූ කෝලම් නුවණැසින් තේරුම් ගනිමින් ජාති, ආගම්, කුල බේදයකින් තොර ව මනුසත් ප්‍රජාව කෙරෙහි සුපහන් හැඟීමෙන් යුතු ව ක්‍රියා කරමින් හැකිතාක් බුද්ධ වචනය කෙරෙහි විශ්වාසයෙන් පින්කම්වල යෙදීමෙන් රටේ පවතින වර්තමාන අර්බුදකාරී වාතාවරණය ඉක්මනින් ම සමනය කර ගැනීමට අපට හැකි වනු ඇත. මේ පින්බර වෙසක් පොහෝ දින සියලු ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තුව ද එය ම වනු ඇත.

 

Image link: https://bit.ly/3wuUXNc

 

 
Tagged : / /