රනිල්ගේ ආගමනය හා රටේ හෙට දවස

එක මන්ත්‍රීවරයෙක් පමණක් ඉන්නා පක්ෂයකට රටේ අගමැති කම ලැබීම උත්ප්‍රාසජනක ය. ඒ උත්ප්‍රාසය මතු වන්නේ ඔහු ලංකාවේ ඒ වන විට පස් වරක් අගමැති ලෙස වැඩ කොට පළපුරුද්දක් ඇති කෙනෙක් වන අතරතුරේ ම ය. උත්ප්‍රාසයට හේතුව මීට වසර දෙක තුනකට ඉහත දී බහුතරයක් සිටින පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර පමණක් නොව ඊට පක්ෂව ඡන්දය දුන් 69 ලක්ෂකයකින් බහුතරයේ ද දුෂ්ඨයා වී සිටි පුද්ගලයා නිසාත් අද ඔහුගේ ගැලවුමට ඉදිරිපත් වී ඇත්තේ ද ඒ පාර්ශවය නිසාත් ය. අනෙත් අතට පොදු ජන පෙරමුණේ ගැලවුමට ඉදිරිපත් වී ඇති ගැලවුම් කාරයා ද ඔහු නිසා ය.

මේ ලංකාව ය. ඒ නිසා ඒ තුළ ඔ්නෑම දෙයක් සිදු විය හැකි ය යන සරල වැකියකින් සංවාදය අවසන් කළ හැකි ය. එහෙත් විමසන කෙනෙකුට මේ තුළින් ඉගෙනුමක් ලැබිය හැකි ය. සිදු වූයේ කුමක් ද කළ යුත්තේ කුමක් ද යන්න ගැන නිගමනයන්ට එළඹිය හැකි ය. ඒ නිසා මෙය විමසන්නට උත්සහ කරමු.

සිදු වී ඇත්තේ විවාහයකි. එක් පැත්තක පොදුජන පෙරමුණ ය. සිංහලෙන් කියන්නේ නම් රාජපක්ෂ පවුල හා ඔවුන්ගේ සහචරයින් ය. බත් බැලයන් ය. අනෙක් පැත්තේ ඉන්නේ තනි අලියා ය.

පොදු ජන පෙරමුණ යනු තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ප්‍රදර්ශනය කරන ලද පාර්ශවයක් වන විට රනිල් යනු එක ද පාර්ලිමේන්තු අසුනක ද ජය ගත නොහැකිව ජාතික ලයිස්තුවට පින්සිදු වන්නට පාර්ලිමේන්තු ආසනයක් ලැබුණු එය ද පිරවීමට කල්පයක් ගත කළ පක්ෂයක නායකයා ය. බැලූ බැල්මට මේ දීගය නොපෑහෙන එකකි. එහෙම හිතෙන්නේ මැතිවරණය පසු කළ වහාම එළැඹි පින්තූරය දෙස බැලූ කල ය. එහෙත් ඒ පින්තූරය මේ වන විට දුර්වර්ණ වී තිබේ.

ඒ පොදු ජන පෙරමුණ රටේ සම්පත් කොල්ල කෑ පක්ෂයක් හැටියට බහුතර මහජනයාගේ අප්‍රසාදයට පත් ව සායම් දිය වී යෑම නිසා ය. හොරකම් කරන්නට හුරු වූ විට ඒ සුනාමි වැනි ව්‍යාසනයක දී ද කෝවිඩ් වැනි වසංගතයක දී ද ගෑස් ටික තෙල් ටික ගේන්නට වත්කමක් නැති ආර්ථික අර්බුදයක දීි ද යන්න අදාළ වන්නේ නැති බව ඒ අය විසින් හෙලි කර ඇත. අන්තිමේ පතුලට ම හිඳුනා ම මිනිසුන් මුලින් නිවෙස් වලින් මහපාරේ පෝලිමට කැඳවනු ලැබූ අතර ඉන්පසු ඔවුනට අරගල භූමියට යෑමට තිබුනේ සොච්චම් දුරකි.

අරගලය වෙනදා මෙන් විරුද්ධ පක්ෂය විසින් මෙහෙයවනු ලබන අරගලයක් වෙනුවට පොදු ජනතාව තමන්ගේ අතට ගත් අරගලයක් බවට පත් වන විට ආණ්ඩුවට උණුසුම දැනෙන්නට පටන් ගත්තේ ය. සර්ව බලධාරී ජනපතිගේ නිවස කාන්තාවන් පිරිසක් විසින් වටලන ලද අතර ඔහුගේ බල පරාක්‍රමය දිනෙන් දින පුස්සක් බවට පත් වෙමින් තිබුනේ ය. ඊළගට ජනාධිපති සරණ ගිය ඥානක්කාගේ ගෙය ද වටලන විට සියල්ල දුර දිග යන බව පෙනී ගියේ ය. ඉන්පසු නැවත වතාවක් කලබලකාරී උද්ඝෝෂනයක් ජනාධිපතිගේ පෞද්ගලික නිවස වටලා පැවැත්වුනු අතර ඊලඟ ඉලක්කය ජනාධිපති මැදුර වූයේ ය. ඒ රට පුරා ඇති වුනු විරෝධතා ව්‍යාපාරයන්ට අමතරව ය. අහම්බෙන් ගාලුමුවදොර උද්ඝෝෂණයකට එක් කරන ලද ජනතාව ජනපති කාර්යාලය ඉදිරිපිට කඳවුරු බැඳ ගත් විට රජය තවදුරටත් නොසන්සුන් වූයේ ය. සමාජ මාධ්‍ය තහනම් කරමින් ද හදිසි නීතිය පනවමින් සමාජ මාධ්‍ය කරුවන් දඩයම් කරමින් ද අරගලයේ කොඳු කැඩීමට ගත් උත්සහයන් සියල්ල ව්‍යර්ථ වූයේ ය. අරගලයට සහය දක්වමින් එක් වූ අය අතර ආණ්ඩුවට කඩේ ගිය ආණ්ඩුව ගෙන ඒම ට දායක වූ පාර්ශවයන් ද කවදාවත් දේශපාලනයට නොආ දේශපාලනය තමන්ට අකැප යයි සිතූ මිනිස්සු ද වූහ. අරගලය උග්‍ර වන විට පොදු ජන පෙරමුණට සම්බන්ධ මන්ත්‍රී කණ්ඩායමක් ස්වාධීන වූයේ හෝ ස්වාධීන කරනු ලැබුවේ ය. කැබිනට් මණ්ඩලය විසුරුවා හරින ලද්දේ ය. නව කැබිනට් මණ්ඩලය වාඩි ලා ගැනීමට විපක්ෂයට ද ආරාධනා ලැබුනේ ය. උත්තර නැති වූ විට තරුණ මන්ත්‍රීවරු පිරිසක් යොදා කැබිනට් එකට නව මුහුණුවරක් ලබා දෙන ලද්දේ ය. ඒ කිසිවකින් අරගලය සමථයකට පත් වූයේ නැත. කඩ වූ විශ්වාසය ගොඩ නැගුණේ නැත. අගමැතිට ද ඉල්ලා අස්වීමට බල කෙරුණු අතර එය නිම වූයේ කැරැල්ල මැඩ පැවැත්වීමට කරන ලද වියරු උත්සහයකින් හා ඊට ප්‍රතිපක්ෂව රට පුරා ඇති වුනු ප්‍රචණ්ඩත්වයෙනි. අගමැති ඉල්ලා අස්වී හමුදා කඳවුරක රැකවරණය පැතීමෙනි. ඒ කුමන තත්වයක් යටතේ වත් ජනාධිපති අස් වෙන බවට ලකුණු තිබුනේ නැත.

රටේ ආර්ථික අර්බුදය දිනෙන් දින උග්‍ර වෙමින් තිබෙන තත්වයක් යටතේ පාර්ලිමේන්තුව එකිනෙකා පරයා තමන් උඩට ගැනීමේ දේශපාලන සූදුවක යෙදී තිබුනේ ය. මිනිසුන්ගේ විරෝධය ආණ්ඩු පක්ෂයෙන් ඔබ්බට ද යොමු වෙමින් තිබුනේ ය.

මිනිසුන්ගේ අරගලයට දේශපාලන නායකත්වයක් දීමට කිසිදු දේශපාලන බලවේගයක් ඉදිරිපත් වූයේ නැත. පවතින ව්‍යවස්ථා රාමුව තුළ අරගලයේ ශක්තිය ද ඇති ව දියත් කළ හැකි ව තිබූ වැඩ පිළිවෙළක් ඉදිරිපත් කිරීමට ඔවුන්ට හැකි ව තිබුනේ නැත. තමන්ට බලය ලබා දෙන්නේ නම් අර්බුදය විසඳිය හැකි යැයි කියමින් බලය ඔඩොක්කුවට කඩා ගෙන වැටෙන තෙක් ඔවුහු බලා සිටිය හ.

රාජපක්ෂලගේ කෙනෙහිලි ඉවසිය නොහැකි ව ඉවත් ව ගිය නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකු අධිපති කිරීමට ආණ්ඩුව ඒ වන විටත් තීරණය කර තිබුනු අතර ඔහු ගත් යම් සාධනීය පියවරයන් නිසා යම් අරුණක සෙවනැල්ල ආර්ථිකය මත වැටෙමින් තිබුනේ ය. ඔහු ම කියූ පරිදි ආර්ථික ස්ථාවරත්වය දේශපාලන ස්ථාවරත්වයෙන් තොරව ඇති කළ නොහැකි ය. එය ඇති නොවන්නේ නම් ඔහුට ද තම වෑයම අත්හරින්නට සිදු වන බවට අනතුරු ඇඟවුනේ ය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තනතුරේ බලය අඩු කොට 19 + ව්‍යවස්ථා සංශෝධනයකට පමණක් නොව ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ද එකඟත්වය පල කරමින් ජාතිය අමතා කතාවක් කළේ ඒ අතරතුර ය. ඒ සඳහා කාලවකවානු විමසා ඔහුව ඊට යොමු කරනු වෙනුවට විපක්ෂය මස් රාත්තල ම, ඔහුගේ අස්වීම ම, ඉල්ලා සිටියේ ය.

රනිල් ඉදිරියට එන්නේ මේ පසුබිම තුළ ය. ඔහු ජනාධිපතිගේ අස්වීම වත් අරගලය අවසන් කිරීම වත් යන කොන්දේසි දෙකින් එකක් වත් නැති ව අභියෝගය බාර ගැනීමට ඉදිරිපත් වුනේ ය. අවසන් මොහොතේ කොන්දේසි වෙනස් කළ නමුත් සජබය ඒ වන විටත් පමා වී තිබුනේ ය.  

රටේ ජනතාව හා ඔවුන් නියෝජනය කරන දේශපාලන බලවේග කෙසේ වෙතත් ජාත්‍යන්තරය ඔහුට සහය පල කරන බව ඔහු පත් වූ සැනින් ප්‍රකාශයට පත් කළේ ය.

දේශපාලන බලවේග වල වත්මන් හැසිරීම පෙන්නුම් කරන්නේ ගෝඨා සමග රනිල් ද කෙළ වී යන තෙක් බලා සිටින තත්වයකි. රටට කුමක් වුව ද ඔවුන්ට කාරියක් නැති ගාන ය. සර්ව පාක්ෂික තාවකාලික ආණ්ඩුවකට සම්බන්ධ වී තමන්ගේ සුජාත භාවයට කෙළ වී යනු ඇතැයි ජාජබය සිතන අතර තමන්ගේ පරණ ඇරියස් නිසා රනිල්ට එකතු වන්නට නොහැකි ව සෙසු පක්ෂ වික්ෂිප්තව සිටින්නේ ය.

ඔවුන්ගේ කල් බැලීම යුක්ති යුක්ත කරන එක් කාරණයක් තිබෙන බව ඇත්ත ය. ඒ රනිල්ට අගමැති කම පිරිනමන්නේ කුමන ඩීල් එකක් යටතේ ද යන්න අපැහැදිලි වීම ය. ඩීල් එකකින් තොරව නම් මේ පදවිය මෙසේ පිරිනමන්නේ නැත.

අපට ඇති ප්‍රශ්නය නම් ඩීල් එක කුමක් වුවත් මේ මොහොතේ රටේ අරගලයේ ශක්තිය ද ගෙන එය කටු ගා දැමීමට නොහැකි ද යන්න ය. සර්ව පාක්ෂික ආණ්ඩුවක කොටස් කරුවන් වීම හරහා ඩීල් එක පරාජය කිරීමේ ඉඩකඩවත් සොයා බැලීම මේ මොහොතේ කාලෝචිත නොවන්නේ ද යන්න ය. ලංකාවේ මිනිසුන් පමණක් නොව දේශපාලන බලවේග ද කැමති අවදානමකින් තොර වැඩ කරන්නට ය. තමන්ට හුරු ආකාරයට වැඩ කරන්නට ය. පවතින තත්වය හමුවේ නවෝත්පාදනයට යොමු වීම නව ක්‍රම අත්හදා බැලීමට ඔවුන් සූදානම් නැත. අන්තර් කාලීන පාලනයකට එකතු වනවාටත් වඩා එයින් එලියට ඒම පහසු ය. අපේක්ෂිත ප්‍රතිඵල නොලැබෙන්නේ නම් එලියට පැමිණිම වැළැක්වීමට බැරි ය.

අනෙත් අතට ඩීල් එක කුමක් විය හැකි ද යන්න ද අපට විමසිය හැකි ය. ඩීල් යනු කැත වචනයකි. අනෙත් අතට දේශපාලනය යනුම ඩීල් ය. රනිල් කුමන ඩීල් දැම්මත් ඔහු රකින ප්‍රතිපත්ති ගණනාවක් තිබේ. ඒවා චින්තන ධර්මදාස සහෘදයා විසින් සිය ෆේස් ගිණුමකට එක් කර තිබුනේ මෙසේ ය.

එක, රනිල් කීයටවත් ජාතිවාදියෙක් නෙමෙයි. කිසිම බල උවමනාවක් වෙනුවෙන් එයා ජාතිවාදය පාවිච්චි කරලා නෑ. දෙක, අපේ ගොඩක් දේශපාලකයන්ට වඩා දැනුමක් සහ බුද්ධියක් රනිල්ට තියෙනවා. ඒකට මිනිස්සු කියන්නෙ රනිල් කපටියි කියල. තුන, රනිල් මානව අයිතිවාසිකම් ගරු කරන කෙනෙක්. සුළු ජාතික අයිතීන් වගේම අනෙක් ආගමික, ලිංගික සහ පුද්ගලික අයිතිවාසිකම් වඩාත්ම ආරක්ෂා වෙන්නෙ රනිල්ගෙ පාලනයක කියන්න පුළුවන්. හතර, පුද්ගලික හෝ පවුලේ ලාභ උපයන්න කටයුතු කරන්නෙ නෑ. හතර, ජාත්‍යන්තර සම්බන්ධතා. එයා දූපතෙන් එලියට විහිදුනු චරිතයක්. අපේ බහුතරයක් දේශපාලකයො දූපත ඇතුලට යොමුවුනු චරිත. පහ, නාගරිකයි නූතනවාදියි. වැක්සින් වෙනුවට පැනි වගේ දේවල් රනිල් ට්‍රයි කරන්නෙ නෑ.”

ඔහු රනිල්ගෙ දුර්වලතා ගැනත් කියනව. “රනිල්ගේ තියෙන ලොකුම දුර්වලත්වය අනෙකාව අසාගෙන නොසිටීමයි. එතනදි රනිල් දේශපාලකයෙක් විදිහට ජනතාව ඉස්සරහ ෆේල් වෙනවා. ඕක පීආර් එක කියලත් කියන්න පුළුවන් . ඒකට බැඳුනු උද්දච්චකම. තමන් දන්නවා කියන හැගීමෙන් ඉන්න එක. ඇත්තටම ගොඩක් දේවල් දන්නවා තමයි. ඒත් ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් සෑහෙන අඩුයි”.

ඒ ශක්තීන් හා දුර්වලතා මතක තියාගෙන බැලුවහම මට හිතෙන විදිහට නම් එය රාජපක්ෂ පවුලේ ආරක්ෂාව සම්බන්ධව මිසක වෙනත් ආකාරයක ඩීල් එකක් නොවිය හැකි බව ය. අද දවසේ ප්‍රමුඛ අභියෝගය ඔවුන් නීතියට හමුවට ගෙන ඒම නොවේ. ගෝඨාගෝගමට ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම හැර ඉතිරි ඒවා මාස කීපයක් කල් දැමිය හැකි ය. අද ප්‍රමුඛ විය යුත්තේ එළඹෙන සාගතයකින් මිනිසුන් මුදා ගැනීම ය.

මේ දීගය කියවා ගත යුත්තේ මේ ඔස්සේ ය. රනිල් එන්නේ ම සෙස්සන්ගේ බැරි කම නිසා ය. දැන් වත් බැරි බැරියා රෝගයෙන් උන්ට සුවපත් වීමට නොහැකි ද?

අනුගමනය කරන කුමන වැඩ පිළිවෙළක් වුව නිවැරදි දිසාවකට යොමු කිරීමට අරගලයේ ශක්තිය අවශ්‍ය ය. ඒ නිසා ම එය නොනිමා පවත්වා ගත යුතු ය. එහෙත් අරගලයට පමණක් ගෝඨා ඉවත් කිරීමට හැකි වේ දැයි සැක සහිත ය. ඒ සඳහා ව්‍යවස්ථා ප්‍රතිපාදන ද ඇතුළු විවිධ ක්‍රම අනුගමනය කළ යුතු ය. ඒ අතර රටේ ආර්ථික අර්බුදය ජය ගැනීමට මාර්ගය සකස් කිරීම ද අවශ්‍ය ය. ඒ ආවේගයෙන් පෙලෙන මිනිසුන්ගෙන් සබුද්ධික ප්‍රතිචාර අපේක්ෂා කළ නොහැකි ද නිසා ය.

Leave a comment