2022/ 05/ 11 – ලංකාදීප

දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාව නැවත වතාවක් ඛේදවාචකයක් අභියසය. නැවත වතාවක් යනුවෙන් සඳහන් කරන්නට සිදුවූයේ ඇයි? ශ්‍රී ලංකාද්වීපය පුරා රත් පැහැති කැකෑරෙන රැධිරය ගලා ගිය අවස්ථා ගණනාවකි. බිහිසුණු අන්ධකාර රාත්‍රීන් විශාල ප්‍රමාණයක් අප පසු කරගෙන පැමිණ ඇත. ජාති, ආගම්, දේශපාලනික වශයෙන් බෙදී, ගැටී විනාශයට පත් වූ කාල වකවානු අමතක කළ යුතු නැත. ජයග්‍රහණය කරා ගෙන යා යුතු අරගලය වෛරයෙකින් තොර සන්සුන්ව ගෙන යා යුතු තීරණාත්මක මොහොතකට පැමිණ සිටී. බුදු තෙමඟුල සමරන වෙසක් සමයේ දී බුද්ධ දේශනාව එහි ගැබ්ව ඇති උතුම් දර්ශනය අනුව ක්‍රියාකිරීමට අදිටන් කරගත යුතුය.

එදිනෙදා ජීවත්වීම සඳහා මහත් පරිශ්‍රමයක යෙදෙන,  මග තොට නිතර මුණ ගැසෙන, හොඳින් දන්නා හඳුනන ජනී ජනයා ගැටුමකට තල්ලු වූයේ කෙසේද?

පැන නැගී ඇති ගැටළුවේ ස්වභාවය මුල මැද අග හඳුනාගත යුතුව තිබේ. ආර්ථික කඩාවැටීම සමග මැදි ආදායම් මටට්මක සිටි සියළුම දෙනා දුප්පතුන් වී ඇත. දුප්පත් ජනතාව අන්ත දිළිඳු භාවයට පත්ව සිටී. අඛණ්ඩ විදුලිය සැපයුමක් කරගන්නට අසමත්, ඛනිජ තෙල් හා ගෑස් හිඟයෙන් පීඩා විඳි ජනතාව වහාම තමන් ගේ අවශ්‍යතා ඉල්ලා සිටියේය. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යන විට ඒවා දරාගත හැකි මිලකට සපයන සේ බලකරමින් සිටියහ. එදිනෙදා පරිපාලනය නිසි පරිදි කරගෙන යා යුතු අතර අවශ්‍යතා ඉටු කළ හැකි පිරිසකට බලය පවරන ලෙස ජනතාව උද්ඝෝෂණය කරමින් සිටි බව ද සඳහන් කළ යුතුය. සම්ප්‍රදායික බැමි බිඳ ජනී ජනයා අවුලුවන්නට සමාජ මාධ්‍ය සමත් වූ අතර ඡන්දයෙන් පත් වූ ජනතා නියෝජිතයන් ප්‍රතික්ෂේප කිරීම අරගලය තුළ තිබුණ ප්‍රධාන ලක්ෂණයකි.

මෙතැන් සිට අලුත් ආරම්භයක් අවශ්‍යය. ජනතා පරමාධිපත්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීම වැදගත්ය. අයිතීන් ලබාගැනීමේ සටන තුළ කිසිසේත් අපේක්ෂා නොකරන අන්තයක් කරා තල්ලුවීමට ඉඩ තිබේ. ලෝකයේ සිදුවූ ජනතාවාදී අරගල අවසානයේ දී ඉතිරි කරන ලද සාක්ෂි වටහා ගැනීම සුදුසුය.

යුක්තිය හා සාධාරණත්වය සඳහා තිබුණ අවස්ථා අමතක කිරීම ශ්‍රී ලංකාව වරද්දා ගත් තැන්ය. 1983 ජාතීන් අතර වෛරය අවසන් වූයේ විනාශයකින්ය. 1987 ඉන්දියානු විරෝධය කරන ලද හානිය බරපතලය. දකුණේ අරගලයට පසු තරුණ අසහනයට හේතු සොයන ජනාධිපති කොමිසමක් පත් කළේය. උතුරු නැගෙනහිර ත්‍රස්තවාදය තුරන් කිරීමෙන් පසු උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසමක් පත් කර කරුණු විශ්ලේෂණය කළේය. මේවායෙන් ඉගෙන ගත් බවක් තිබේද? දැන් පවතින නැගිටීම ගැන කරුණු අලුතින් සොයා බැලිය යුතුද? සම්ප්‍රදායික දේශපාලනඥයන් හා නිලධාරීන් අතරින් කොටසක් ජනතාවගෙන් නැගෙන හඬ තේරුම් ගත්තේ නැත. ක්‍රමය වෙනස්කරන උත්සාහයකට අවතීර්ණවීම උවමනාවෙන්ම මග හැරියහ. එහි කෙළවර අද උද්ගතව ඇති අවිනිශ්චිත භාවය බිහි කර තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදය හැර වෙනත් සුදුසු පාලන ක්‍රමයක් දැනට ලෝකයේ නැත. විවෘත ආර්ථික ක්‍රමය තුළ සාධාරණ අවස්ථා සහිත සමාජයක් බිහි කරගත හැකි බව ඔප්පු වී තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කිරීම සඳහා ව්‍යවස්ථානුකූල පියවරක් අනුගමනය කළ යුතුය. ව්‍යවස්ථාව තුළ ඇති දුබලතා සාකච්ඡා කර විසඳා ගැනීම සුදුසුය.

අලුත් ව්‍යවස්ථාවක් ගැන පාර්ලිමේන්තුව තුළ කරන ලද සාකච්ඡාව සම්බන්ධයෙන් ද විශ්වාසය ගිලිහී ගොස් තිබේ. බලයට එන පාලකයන් තමන්ට ගැලපෙන, තමන්ගේ බලය සුරක්ෂිතවන ආකෘතියකට හදන ව්‍යවස්ථාවක් වෙනුවට ජනතාව අතරින් ඉදිරිපත්වන අලුත් අදහස් සැලකිල්ලට ගතයුතුය. ඡන්ද ක්‍රියාවලියේ වියදම අඩු කරන හා දූෂණ සීමා කරන එකක් බවට හැරවීම අවශ්‍යය. සමානුපාතික වැනි සංකීර්ණ ක්‍රමයෙකින් බැහැර සෘජු මහජන නියෝජිත ක්‍රියාවලියක් එම ව්‍යවස්ථාවට යෝජනා කිරීමත් සුදුසුය. මේවා වසර ගණනක් තිස්සේ එක දිගට සාකච්ඡා කළ කරුණු වලින් සමහරක් බව මතක් කිරීම අවශ්‍යය.

ඉක්මන් වෙනස්කම් සමාජයට අවශ්‍ය කර ඇත. ආවේග වෙනුවට ප්‍රඥාවන්ත භාවය අවශ්‍යම කරන මොහොතකි. මෑත කාලය තුළ අත් විඳින ලද කටුක තත්ත්වයන්ට ගොදුරු වූ ජනතාව තව දුරටත් ඉවසන්නට, කැප කිරීම් කරන්නට සූදානම් නැත. හදිසියේ කළ යුතු ප්‍රතිසංස්කරණ තුළින් රාජ්‍ය ස්ථාපිත කරන අතර විශ්වාසනීය ප්‍රතිපත්ති සංවාදයකින් තිරසාර සැලැස්මක් සම්පාදනය කරගැනීම අප සියළු දෙනාගේ වගකීමකි. සන්සුන්, අවෛරී අරගලයක් සඳහා එක්සත්වීම අද පැවැරී ඇති කාර්ය භාරය බව මෙහි දී සඳහන් කළ යුතුය.