2022/05/04 – ලංකාදීප

මැජික් විසදුම් අපේක්ෂාව යළි පොට වරද්දා ගැනීමක් 

ජන බලය විස්මිතය. දිනා ගැනීම හා සමානව ආපසු උදුරා ගැනීමට ද ලක්වේ. ඉතාම ස්වල්ප කාලයකට කලින් මහත් හරසරින් පිළිගෙන ඉහළටම ඔසවා තබන ලද දේශපාලන නායකයෝ අද ප‍්‍රතික්ෂේප වී සිටිති. ඉක්මනින් බැදෙන අතර එපා වෙන්නට ද එපමණ කාලයක් ගත වෙන්නේ නැත. මෑත කාලීන සමාජ සහ සංස්කෘතික වටපිටාව අනුව උස් පහත්වීම් පිළිගත යුතුය. පිළිගැනීම හා එපාවීමට සූදානමින් ක‍්‍රියා කිරීම අවශ්‍ය කෙරේ. 2015 මහ මැතිවරණයෙන් බලයට පත් ආණ්ඩුව එපා වෙන්නට වැඩි කාලයක් ගත වූයේ නැත. ප‍්‍රධාන පක්ෂ දෙක අතර එකමුතුවකින් රට අලූත් යුගයකට ඇතුළු කරනු ඇතැයි ජනතාව එදා බලාපොරොත්තු සහගතව සිටියහ.

පාර්ලිමේන්තුව තුළ හා පාර්ලිමේන්තුවෙන් එපිට ඇති වූ අර්බුද නියමිත කාලයට කලින් මැතිවරණයක් කැදවීය. හවුල් ආණ්ඩු ජනතාවට එපා වූ අතර 2020 වසරේ අගෝස්තු මාසයේ පවත්වන ලද පාර්ලිමේන්තු මැතිවරණයෙන් දැනට බලයේ සිටින ආණ්ඩුව තෝරා ගෙන තිබේ. එම මැතිවරණ ප‍්‍රතිඵල අනුව ලක්ෂ ගණනින් වැඩිම මනාප ලබා පාර්ලිමේන්තුවට පත් වූ ඇතැම් ජනතා නියෝජිතයෝ අද විශාල අප‍්‍රසාදයකය. මහ ඉහළින් කැදවාගෙන පැමිණි තමන්ගේ මහජන නියෝජිතයා එපා වී හූ කියා පන්නා දමන තැනට පත්වීම පුදුම සහගතය. ජනතා විරෝධයට හේතුව කුමක්ද? ආර්ථිකය බිද වැටී ඇත. ජීවන වියදම දරා ගත නොහැකි තැනට පත්ව තිබේ. විදුලිය, ගෑස්, ඉන්ධන හිගය විශාල ප‍්‍රශ්නයකි. ආර්ථික ගැටළු විසදාගත හැක. ඇතැම් මහජන නියෝජිතයන් ප‍්‍රශ්න වලට මුහුණ දිය නොහැකිව පසු බැසීම තවත් පුදුමයකි.  ඡන්දයෙන් පත් කරගත් නමුත් ජනතාවට ඉක්මනින් එපාවීමත්, පීඩනය එල්ලවන විට මැති ඇමැතිවරු ආණ්ඩුව අත්හැරීමට යුහුසුළුවීමත් අවධානයට ගත යුතු කරුණු අතර තිබේ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය මුහුණ පා ඇති ඉරණම මෙම පැති දෙක මැනැවින් අපට විග‍්‍රහ කරයි. ඊළගට බලයට එන්නට සූදානම් වන දේශපාලනඥයන් මෙම සංකීර්ණ ව්‍යුහය වටහා ගත යුතුය. ‘බින්න කසාදය’ ගැන අපගේ ජන සාහිත්‍ය උපමා කොට දක්වා ඇත. හුලූ අත්තක් හා තල් අත්තක් සූදානම් කොට තබා ගෙන මනාලියගේ නිවසේ බින්න කසාදයට කැමැති විය යුතුය. මදි පුංචිකම දරාගත නොහැකිවන විට  ඕනෑම රාත‍්‍රියක, ධාරානිපාත වැස්සක දී පවා මගට බහින්නට සිදුවේ. ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුකරණය බින්න කසාදයක් විය යුතු නැත. තාවකාලික වාසි පදනම් කරගෙන බලයට එන්නට සූදානම්වන දේශපාලන පක්ෂ අද පවතින මතිමතාන්තර වලින් පාඩමක් ඉගෙන ගත යුතුය.  විරෝධතා අවුලූවා, හූ කියා පන්නා දමන දේශපාලනයකින් රටක් ආණ්ඩු කළ නොහැක. ආණ්ඩු පත් කරන්නටත්, ඉවත්කරන්නටත් ක‍්‍රමයක් තිබේ. ව්‍යවස්ථාවක් සම්මත කරගෙන ඇත. ව්‍යවස්ථාව නොගැලපෙන බව බහුතරයකගේ තීන්දු කරන අවස්ථාවක අලූත් ව්‍යවස්ථාවක් සම්මත කරගත හැකිය. අද පවතින ප‍්‍රශ්න ව්‍යවස්ථාවකින් මතු වූ ඒවා නොවේ. ආදායම හා වියදම අතර ගැටුමකි. ආනයන හා අපනයන අතර නොගැලපීමකි.  රාජ්‍ය ආදායම දරුණු ලෙස පිරිහී ගොස් තිබේ. ආදායම ලැබෙන මාර්ග අවහිර වී ඇත. ආදායම උත්පාදනය කරගත හැකි කර්මාන්ත හා ව්‍යාපාරික අවස්ථා බෙලහීන වී තිබේ. සාමාන්‍ය ජනතාව මෙම පීඩනයෙන් පෙලෙන අතර ආර්ථිකයේ ප‍්‍රතිසංස්කරණයක් කර එය නගා සිටුවීම මහජන නියෝජිතයන්ගේ වගකීමකි. අපට නොපෙනෙන නමුත් බලය බෙදාහැරීම සම්බන්ධයෙන් ද නොවිසදුන ප‍්‍රශ්න ඇත. මෙම සංකීර්ණ ව්‍යුහය ආණ්ඩුව වෙත පටවා ගැලවෙන විපක්ෂ දේශපාලන පක්ෂ වලට හෙට මුහුණ දෙන්නට සිදුවන අභියෝගය අදට වඩා බරපතල බව මෙහි දී මතක් කළ යුතුය. 

පාරට බැස කෑ ගසන තරුණ පෙල ඇතුළු පොදු ජනතාවට ප‍්‍රශ්ණ ඇත. ඒවා නිරාකරණය කරගැනීමට ක‍්‍රමයක් තිබේ. මෙවැනි අර්බුද මතුවූ අවස්ථාවල ආණ්ඩු පෙරලා නායකයන් පලවා හැරීම මෑත කාලය තුළ නොයෙක් රටවල සිදුවී ඇත. අලූත් නායකත්ව සොයාගැනීම ආර්ථික හා සමාජ ප‍්‍රශ්නවලට නිසි විසදුමක් ලබාගැනීමේ දී ප‍්‍රයෝජනවත්ය. වෙනත් පැත්තකින් උත්තර සොයන පිලිවෙලක් විය හැකිය. අලූතින් එන නායකත්වයක් ගැන පවා විශ්වාසයක්, එකගතාවයක් හා කැපවීමක් අපට තිබිය යුතුය. මාස හයෙන්, අවුරුද්දෙන් රටක් දියුණු කරන මැජික් විසදුම් අපේක්ෂා කිරීම නැවතත් මග වරද්දා ගැනීමකට අත වැනීමකි.