වැඩ බිමේ විරුවෝ කම්කරුවෝ

Share

දොළොස් මහේ අත් වාරුව නිමක්    නැත

විඩාබර ව නැති වරුවක් මතක          නැත

හිතේ විරිය මත ගැටෙනා යකඩ       අත

අපටයි කියා ලොව දවසක් වෙන් ව ඇත

 

අද ලෝක කම්කරු දිනය ලෙස කැලැන්ඩරයේ වෙන් ව ඇති දවසයි. අද ඔවුන්ගේ දවසයි. සමස්ත රටක ආර්ථිකයේ ශක්තිමත් ම පුරුක ලෙස මා සලකනු ලබන්නේ කම්කරුවන් ය. ඔවුන් විසින් සපයනු ලබන ශ්‍රම දායකත්වය නොවන්නට රටක ආර්ථිකය අරාජික වනු නොඅනුමානයි. ඉතිං අද මැයි 01 වන දින වැඩ කරන ඔබේ දවසයි. ඔබේ කම්කරු අයිතීන් වෙනුවෙන් ඔබට ස්වාධීන ව හඬක් නැගීමට සුදුසු ම දවස අද යැයි මා සිතමි. වර්තමානයේ බොහෝ දෙනෙක් මැයි දිනය සැණකෙළියක් බවට පත් කරගෙන ඇති බව ලාංකීය සමාජය තුළින් ඔබට නිරීක්ෂණය කළ හැක. වැඩ කරන ජනතාවගෙන් අප විමසීමක් කළහොත්, බොහෝ දෙනෙක් සත්‍ය වශයෙන් ම මැයි දිනයෙහි අරමුණ නොදන්නෝ ය. විවිධ විවිධ පාර්ශව විසින් ඔවුනගේ සමුළු සඳහා ඇතැම් කම්කරුවන් ව අයතා ලෙස සහභාගී කරවා ගනී. සත්‍ය වශයෙන් ම වර්තමානයේ කම්කරුවන් සතු මැයි දිනය විවිධ පාර්ශව විසින් ඔවුන්ගෙන් උදුරා ගෙන ඇත.

ඇත්තට ම මැයි දිනය යනු කුමක්ද? මෙම දිනය වෙන් ව ඇත්තේ කුමක් සැමරීම සඳහා ද?

අපි මෙහි ඉතිහාසය විමසා බලමු. මැයි දින ඉතිහාසයේ වස්තු කතාව ක්‍රි.ව. 1886 තරම් අතීතයකට දිව යයි. වර්ෂ 1886 මැයි මස පළමු වන දින ඇමරිකාවේ චිකාගෝ නුවරට එක්වූ 10 000 කට අධික කම්කරු පිරිසක් විසින් වැඩ වර්ජනයක් දියත් කරනු ලැබීය. ඔවුන්ගේ අරමුණ වූයේ ඔවුනගේ සේවා මුරය පැය 8 කට සීමා කර ගැනීමයි. සටන් පාඨ ඉදිරිපත් කරමින් ඔවුන් ඔවුනගේ අයිතිය ඉල්ලා සිටියෝ ය. තුන්වන දිනය වන විට වර්ජනය සඳහා එක්වූ පිරිස 65 000 කට අධික විය. නමුත් එදින සිදු වූයේ මනුෂ්‍යත්වයට එරෙහි ව යාමකි. අදාළ කර්මාන්තශාලා හිමියන්ගේ මෙහෙයවීමෙන් ආයුධ සන්නද්ධ පොලිස් බට පිරිස් ලවා වර්ජනකරුවන්ට ප්‍රහාරයක් එල්ල කරන ලදී. එම ප්‍රහාරයෙන් තම මූලික සේවක අයිතිවාසිකම් ඉල්ලා හඬ නැගූ අහිංසක සේවකයන් සිවි දෙනෙකුගේ ජීවිත අහිමි විය. ඉන්පසු මැයි මස 4 වන දින කම්කරු නායකයින්ගේ ප්‍රධානත්වයෙන් හේමාර්කට් චතුරස්‍රයට එක්වූ කම්කරුවෝ පෙර දින සිදු වූ ඒ ම්ලේච්ඡ ක්‍රියාවට තම විරෝධය පළ කළෝ ය. එහි දී විරෝධතා කරුවන් හා පොලීසිය අතර ඇති වූ ගැටුමකින් පොලීසියේ කිහිප දෙනෙකු ද මිය ගිය අතර සිදු වූ කම්කරු ජීවිත හානි ගණන අදටත් ගණන් බලා නොමැත. එදා සමස්ත කම්කරු ප්‍රජාවගේ සාධාරණ අයිතියක් වෙනුවෙන් සටන් වැද තම රුහිරු පොළොවට මුසු කළ ඒ ශ්‍රේෂ්ඨ කම්කරුවන් සිහි කිරීමෙහිලා, 1889 දී රැස් වූ ජාත්‍යන්තර කම්කරු සංගමය, සෑම වර්ෂයක ම මැයි මස පළමු වන දින ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. මැයි දින සැමරුමෙහි සැබෑ අරමුණ එයයි.

එදා ඒ කම්කරුවන් තම රුහිරු හෙළා සටන් කළේ මිලියන ගණනක් වූ කම්කරුවන් ව වැඩවසම් ශිෂ්ටාචාරයකට කොටු කළ මුග්ධ ධනේශ්වරයන්ට එරෙහිවයි. ඔවුන් එදා ලබා දුන් ජවය වර්තමානයේ කම්කරුවන් තම අයිතීන් දිනා ගැනීමට උපයෝගී කර ගත යුතුයි. මැයි දිනය හුදු දේශපාලන ව්‍යාපාරයක් බවට පත් නොකොට ලොව වැඩ කරන මිනිසුන් උදෙසා ඵලදායී ලෙස එය භාවිතා කළ යුතුයි. දිවා රෑ අව් වැසි නොබලා දහදිය හෙළමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට කැප වන කම්කරුවාට, ඔහුට අයිති ඒ දවස ලබා දිය යුතුම ය. කම්කරුවන්ට පමණක් නොව වැඩ කරන සියලු ම ජනතාවට ඔවුන්ට අයිති මැයි දිනය නිදහස් ව සැමරීමට ඉඩ හසර සැලසීම අප කාගේත් වගකීමකි.

රටට බත දෙන ගොවියා, රටා හැඩ දමන වඩුවා, රට ම පිරිසිදු කරන කසළ බැහැර කරන්නාගේ සිට සියලු යහපත් දෑ උගන්වන ගුරුවරයාටත් හිමි ගෞරවය හා ඔවුනට හිමි අයිතිවාසිකම් එලෙසින් ම දිනාගත හැකි නවමු, චින්තවාදී, වැඩ කරන මිනිසුන්ගේ දිනයක් බවට මේ මැයි දිනය පත් කර ගනිමු.

ශුෂ්ක වන මැද

කටු පඳුරු යට…

කෙමින් කෙම මෝරන්නට

ළහිරු එළියෙන්

සැඳෑ අඳුරෙන්

වරම් ලැබ පූදින්නට….

ඉතින් එහෙනම්

මහගසක් වී

මහ වනේ සරසන්නට..

වරම් ලැබේවා…

ඔබ සැමට…

ලොව වෙසෙන සියලු වැඩ කරන ජනයාට උපහාරයක් වේවා!

 

 

Reference: https://bit.ly/38D8ome

Image link: https://bit.ly/3vSXfFG

 

 
Tagged : /