තෙලිතුඩට මුවා වී…

Share

ඔහු ඉන්දියාවේ සුප්‍රසිද්ධ ලේඛකයෙක්. 2010 වසරේ දී ටයිම්ස් සඟරාව ලෝකයට බලපෑම් කළ හැකි 100 දෙනා අතරට ඔහුව නම් කළා.

ඉන්දියාවේ දකුණු දිල්ලියේ මධ්‍යම පාන්තික හින්දු පවුලක උපත ලැබූ ඔහු නමින් චේතන් ප්‍රකාශ් බගට්. ඔහුගේ පියා ඉන්දියානු හමුදාවේ ලුතිනන් කර්නල්වරයෙක්. මව කෘෂි විද්‍යාඥ්‍යවරියක්.

තාක්ෂණ ඉංජිනේරු උපාධිය හිමිකරගත් බගට් අලෙවිකරණය පිළිබඳ පශ්චාත් උපාධියක් ද හැදෑරුවා. පසුව බැංකුකරුවෙකු ලෙස වෘත්තීය දිවියට පිවිසුණත් ලේඛකයෙකු වීමේ දැඩි අධිෂ්ඨානය ඔහුගේ සිත තුළ මුල් බැසගෙන තිබුණා.

බගට්ගේ අධ්‍යාපන සුදුසුකම් කෙතරම් ඉහළ මට්ටමක තිබුණත් ඔහුගේ ප්‍රධානියා ඔහුට උසස්වීමක් දෙන්නට මැළිවුණා. ඔහු කෙතරම් කලකිරුණත් ඔහුගේ වේදනාව ඔහු පිටකරගත්තේ මධුවිතෙන් නෙමෙයි; ඔහු තමන්ගේ සිතට ගලා ආ සිතිවිලි එක්ක දැඩි සටනක යෙදී ඒවා ලස්සන වචන බවට පෙරළුවා. One night @ the call center කෘතිය 2005 වර්ෂයේ බිහිවුණේ එහි ප්‍රතිඵලයක් ලෙස යි. ඊට අමතර ව සරසවියේ යහළුවන් සමඟ ගත කළ අතීතය ඇසුරෙන් ලියැවුණු Five point someone කෘතියේ අඩුපාඩු සකස් කර එය ද මුද්‍රණය කළා.

බගට් ලියූ දෙවන කෘතිය 2008 වර්ෂයේ දී වැඩියෙන් ම අලෙවි වූ නවකතාව බවට පත් වුණා. එම වසරේදී ම ඔහු එළිදැක්වූ The 3 mistakes of my life කෘතිය මුද්‍රණයෙන් ප්‍රථම මාස 3 ඇතුළත පිටපත් 500,000 කට වැඩිය අලෙවි වුණා.

2009 වර්ෂයේ බැංකු වෘත්තීයට සමු දුන් ඔහු පූර්ණ කාලීන ලේඛකයෙකු ලෙස ක්ෂේත්‍රයට පිවිසුණා. ඉංග්‍රීසි බසින් ලියවුණු ඔහුගේ පොත් ලෝකය පුරා ම ජනප්‍රිය වුණා. භාෂා ගණනාවකට ම පරිවර්තනය වුණා. 2 states (2009), Revolution 2020 (2011), Half Girlfriend (2014), One Indian Girl (2016), The Girl in room 105 (2018), One arranged Murder (2020), 400 Days (2021) ඔහු එළිදැක්වූ නිර්මාණ වෙනවා.

ඔහු ලියූ පොත් අතරින් සිනමාපට පහක් නිර්මාණය වී තිබෙනවා. 2009 වර්ෂයේ තිරගත වූ 3 Idiots චිත්‍රපටය ඔහුගේ පළමු නවකතාව ඇසුරෙන් බිහිවූවක්. එමෙන් ම 2014 වර්ෂයේ කරලියට ආ Kick නම් චිත්‍රපටයේ තිර පිටපත ඔහු විසින් රචනා කළා.

චේතන් මීට අමතර ව ඉන්දියාවේ ප්‍රමුඛ ඉංග්‍රීසි හා හින්දු පුවත්පත් සදහා තාරුණ්‍යය හා ජාතික සංවර්ධන ගැටළු අරභයා ලිපි සම්පාදනය කරනවා. පුද්ගල සංවර්ධනය උදෙසා දේශන පවත්වන්නෙකු ලෙස ද ඔහු ජනප්‍රිය වී සිටිනවා.

“බලාපොරොත්තු සුන්වීම්, කලකිරීම්, අසාධාරණය හා හුදකලාව. ඔබට ඒවා වළක්වාගන්න බැහැ. මෝසම් වැසි වගේ නියමිත කාලයේ දී ඒවා ඔබේ ජීවිතයට පැමිණේවි. ඔබේ දීප්තිමත්බව මියයන්නට ඉඩ නොදී වැහි කබාය සූදානම් කරගෙන ඉන්න.”

-චේතන් බගට්-

 

 

Image link: https://bit.ly/3DXeERn

 

 
Tagged : /