බක්මහේ වරුණ

Share

බක්මහේ වරුණ සිංහල දමිළ සහෝදරත්වය නන් දෙසින් කියාපාන අතර ස්වභාවදහම ද සෑම වසරක ම පාහේ එකක් ලෙසට ම, කිසිවකට සම කළ නොහැකි මනරම් සුන්දරත්වයකින් ඊට සැරසෙයි. එරබදු මලින් රත්පැහැ ගැන්වුණු සොබාදම් මාතාව සුවඳවත් කරනුයේ ඉදුණු අඹ, ජම්බු, පුහුලන් ආදිය යි. ශ්‍රී ලංකාවට ම පමණක් ආවේණික වූ නැකත් චාරිත්‍ර මාලාව උත්සවශ්‍රීයෙන් සමරන්නට සියල්ලන් ම නොඉවසිල්ලෙන් සූදානම් වන කාලයකි.

හිරු මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කිරීම අරබයා සූර්ය මංගල්‍යය ලෙසින් හඳුන්වනු ලබන මෙය රාවණ පරපුරෙන් පැවත එන්නකි. කැවිලි පෙවිලි සූදානම් කිරීම ම එක ම මංගල්‍යයක් වන අතර නොනගතය නිමා වන තෙක් පොඩි එවුන් නොඉවසිල්ලෙන් බලා සිටින්නේ අත්තම්මලා, අම්මලා ආදරය ද මුසු කරමින් සකසන ලද ආහාර අනුභව කිරීමට ය. කැවුම්, කොකිස්, අලුවා, ආස්මී, වැලිතලප ආදිය බක්මහ වෙනුවෙන් ම උපන් කැවිලි ය. සිංහල – හින්දු අලුත් අවුරුද්දේ චාරිත්‍ර අරඹනුයේ නොනගතයේ දී ආගමික සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමෙන් අනතුරුව ය.

පසුව නක්ෂත්‍රයට අනුව නව අවුරුදු උදාව සිදු වන අතර චාරිත්‍රානුකූල ව ආහාර පිසීම, ආහාර අනුභවය, වැඩ ඇල්ලීම හා ගනුදෙනු කිරීම එක ම අවස්ථාවක සිදු කරන අතර මින් සෞභාග්‍යය, සමෘද්ධිය අපේක්ෂා කරයි. නව වසර උදෙසා නැකත්කරුවන් විසින් නම් කළ වර්ණයකින් සැරසී මෙම චාරිත්‍ර සිදු කිරීමට ද  ජනයා අමතක කරන්නේ නැත. ගනුදෙනු කිරීම නම් චාරිත්‍රය අපි කිහිප ආකාරයකට සිදු කරමු. එනම් ළිඳ සමඟ ගනුදෙනු කිරීම හෝ බැංකුවක හෝ මුදල් තැන්පත් කරන ස්ථානයක් සමඟ ගනුදෙනු කිරීම ආදිය වේ. මෙම චාරිත්‍රයන් ඉතාමත් ගෞරවයෙන් යුතුව පරම්පරා ගණනාවක් තිස්සේ පවත්වා ගෙන යන අතර නව පරම්පරාවක් වෙත චාරිත්‍ර මතක කර දීමක් මෙමඟින් සිදුවේ. සිංහල දෙමළ ජනතාව සියල්ලෝ ම මෙම කටයුතු නොවරදවා ම සිදු කරති. එමෙන්ම තවත් එක් අවුරුදු චාරිත්‍රයක් වන්නේ රැකී රක්ෂා සඳහා පිටත්ව යාමයි. හිස තෙල් ගෑම ද සුවිශේෂ චාරිත්‍රයක් වන අතර විශේෂිත ශාක යුෂ කීපයක් මිශ්‍ර කොට හිස තෙල් සකස් කරගන්නා අතර හිසට නුගපත් ආදී ශාක පත්‍ර වර්ග කීපයක් ද, පයට ද විවිධ ඖෂධීය පත්‍ර යොදාගෙන මෙම චාරිත්‍රයට මුල පුරයි. මෙය මූලිකව ම සිදු කර අපේක්ෂා කරනුයේ නව වසර තුළ කිසිඳු රෝගාබාධයකට ගොදුරු නොවේවා යැයි කියා ය. හිස්තෙල් ගෑමෙන් පසු ස්නානය කිරීම ද මැනවි.

මේ ආකාරයෙන් ඉතා සාමකාමී ව අලුත් අවුරුදු චාරිත්‍ර සිදු කරනු ලබයි. නෑගම් යාම තවත් එක් මූලික වාරිත්‍රයක් වන අතර පරණ කෝලහාල-භේද ඇත්නම් ඒවා දුරලමින් නව වසරේ නවමු මුහුණුවරකින් සහෝදරත්වයක් යුතුව කටයුතු කිරීමට ඉටා ගනියි. නව සබඳතා ගොඩනගා ගැනීමට ද සිංහල දෙමළ අලුත් අවුරුද්ද සුබ මංගල්‍යයක් ලෙසින් ගත හැකි ය. සහෝදරත්වයේ දෑත දිගු කරමින් කැවිලිපෙවිලි බෙදාහදා ගනිමින් සිංහල දෙමළ සියල්ලෝ ම වැළඳ ගැනීම දැකීම ද ප්‍රියජනක ය. මෙය සිංහල දෙමළ සියල්ලෝ පමණක් නොව මිනිස් වර්ගයාට අයත් සියලු දෙනා හට සාමකාමී ව ගත කළ හැකි මංගල්‍යයක් වනු ඇත.

 

Image links:

 

 
Tagged : / /