2022/03/23 – ලංකාදීප

අප ගැන අපට ඇත්තේ මහත් ආඩම්බරයෙකි. අපේකම ගැන කතාකරන්නේ ඉහළින්ය. කිසිම රටකට හෝ ජාතියකට දෙවැනි වෙන සූදානමක් නැත. අපේකම කෙසේ වෙතත් එදිනෙදා පැන නැගෙන ප‍්‍රශ්නවලට උත්තර සොයන්නේ පිටස්තරයන්ගෙනි.

දේශපාලන, ආර්ථික හෝ සමාජ ප‍්‍රශ්න පැන නැගීම සාමාන්‍ය දෙයකි. වරින් වර ගැටළු ඇතිවෙයි. නිරාකරණය කරගැනීමේ නොහැකියාවක් නැත. පමා කළහොත් දැවැන්ත අර්බුද බවට පත්වෙන්නේ සුළු ප‍්‍රශ්න බව සදහන් කළ යුතුය. නියපොත්තෙන් කඩාදමන්නට හැකි පැලෑටි පොරවකින් කපන්නට පවා නොහැකි තැනට පත්වන තෙක් බලාසිටින්නට සමත්කමක් අපට තිබේ.

මෙවැනි සදහනක් කරන්නට හේතු වූයේ ඇයි? මහජනතාව අතිශය පීඩාකාරී තැනකය. ජීවන වියදම මහත් ප‍්‍රශ්නයකි. භාණ්ඩ හිගයක් පවතින අතර වෙළද පොල පාලනයක් නැත. දේශපාලන පක්ෂ අවුලූවන විරෝධතා සමාජය නොසන්සුන් කර ඇත. කෘෂිකර්ම, අධ්‍යාපන, සෞඛ්‍ය ඇතුළු ක්ෂේත‍්‍රවල පවා සංකීර්ණ තත්ත්ව වාර්තා වෙයි. නිදහසට පසු උද්ගත වූ දරුණු ආර්ථික අර්බුදයක් බව පැහැදිලිය.

විශාල බලාපොරොත්තු සහිතව ආණ්ඩුවක් බලයට පත්කරගත් පොදු ජනතාව කලකිරීමක බව සදහන් කළහොත් එය වරදක් නොවේ. මෙරට ඉතිහාසය මෙවැනි අවස්ථා වලින් බහුලය. ගැටුම්, අර්බුද, විපත් සහ අරගල අලූත් දේ නොවේ. ඒවා අලූත් නොවන හා සමානවම විසදාගන්නට දරන ප‍්‍රයත්න ද පැරණි සම්ප‍්‍රදායික ආකෘති බව සදහන් කළ යුතුය. එන පාර්ශවයක් යෝජනා කරන කිසිම දෙයකට අනෙක් පාර්ශවය එකග නොවේ. අනෙක් පාර්ශවයකට සවන් දෙන්නට සූදානම් බලය ඇති අය සූදානම් නැත.  සමාජය එකතු වී එකමුතු වී විසදුමක් සොයාගන්නට උවමනාවක් නැත. අවසානයේ සිදුවෙන්නේ කුමක්ද? ක‍්‍රමය අර්බුදයකට ලක් වෙයි. ජනතාව විපතකින් තවත් විපතකට පත්වේ. නායකයන්ගේ වගකීම ජන ජීවිතය අපහසුතාවයකට පත් කිරීමද? දැනට උද්ගතව ඇති ව්‍යාකූලත්වය පාලනය කරගන්නට අපට එකතුවිය නොහැකි ඇයි?

එකතුවී සාකච්ඡාකර එකගත්වයකට පැමිණෙන සූදානමක් නැති අපි, විසදුම බැහැරින් අපේක්ෂා කරන්නෙමු. ලෝකයේ වෙනත් රටකින් වෙනත් සංවිධානයකින් බලකරන ක‍්‍රමයකට හැඩගැසෙන්නට සූදානම්ය. මානව හිමිකම් ප‍්‍රශ්න ඉදිරියේ අර්බුදයක සිටින ශ‍්‍රී ලංකාවට විසදුම යෝජනා කරන්නේ ජාත්‍යන්තර ප‍්‍රජාවයි. ආර්ථිකය අර්බුදය සලකා ආදායම හා වියදම ගලපන්නට එන්නේ විදේශ රටවල්ය. ජාත්‍යන්තර සංවිධාන අපට රාමුවක් හදන්නට සූදානම්වෙයි. දෙමල ජාතිකයන් සිය ප‍්‍රශ්න ගෙනයන්නේ ඉන්දියාවටය. මුස්ලිම් ජාතිකයෝ තමන්ගේ ප‍්‍රශ්නවලට මැද පෙරදිග රටවලින් සහාය ලැබෙන තෙක් බලා සිටිති. තරුණ පරපුර අනාගතය ගොඩනගාගන්නට තැත් කරන්නේ වෙනත් රටකින්ය. මේවා සාවධානව කල්පනා කළ යුතු කරුණු බව පෙනේ.

අපට විසදුමක් නැති, විසදුමක් සොයාගන්නට ප‍්‍රයත්නයක් නැති පසුබිමක පිටස්තරයන් වෙත නැඹුරුවෙන ප‍්‍රවණතාවයක් ඇත. අපේ ජනතාව ලෝකයේ වෙනත් තැනකින් උත්තර සොයන තැනට පත්වීම ගැන අප සියළුම දෙනා වගකිව යුතුය. ජාතික, ආගමික හා දේශපාලන නායකයෝ කම්පාවට පත්විය යුතු අතර තමන්ගෙන් ඉටුවිය යුතුව තිබුණ කාර්ය භාරය සාක්ෂාත් නොකිරීම ප‍්‍රශ්නවලට මුල බව වටහා ගත යුතුය. පවතින අර්බුද මෙනෙහි කර ජනතාව හමුවට පැමිණ ස්වයං විවේචනයක් කළ යුතුව ඇති අතර එය මෙම තීරණාත්මක අවස්ථාවේ ගත හැකි එක වැදගත් තීන්දුවකි.

ත‍්‍රස්තවාදය තුරන් කළ අපට ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කළ හැක. කොවිඞ් වසංගතය පාලනය කර ජන ජීවිත ආරක්ෂා කරගන්නට සමත් වූ අපට පැවැත්ම ආරක්ෂා කරන්නට බැරිකමක් නැත. ආදායම හා වියදම ගැන අවබෝධයක් ඇති, ණය බර ගැන දන්නා අපට අලූත් උත්පාදන අවකාශයක් ඇති කරන්නට ගත හැකි පියවර නොදන්නවා නොවේ. ආර්ථික හා සමාජ ප‍්‍රතිසංස්කරණයකට යා යුතුය. ජනප‍්‍රියත්වය ගැන හිතන, ඊළග ඡන්දයක මනාප ප‍්‍රමාණය ගනින මෙරට දේශපාලන පක්ෂ විසදුමක් සදහා තීරණ ගන්නේ නැත. අලූත් ආකෘතියකට ජනතාව සූදානම් නොකරන අතර ප‍්‍රායෝගික තීරණ ගන්නට ඉඩ දෙන්නේ ද නැත. එහි භයානක ප‍්‍රතිඵල අද අප හමුවේ තිබේ. එය ගණනකට නොගෙන තව තවත් කල් හරිමින් සිටිමු. මුලින් සදහන් කරන ලද පරිදි වෙනත් කොතැනකින් හෝ විසදුම් ලැබෙන තෙක් පොදු ජනතාව බලා සිටිති.