HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අවුරුදු 70කට පෙර වන්නියේ සිදුවුණු අසිරිමත් මඟුලක්!

වසර හැත්තෑවකට විතර ඉස්සර වන්නියේ මඟුලක් කෑ හැටි ගැන විස්තරයක් කියන්න මා ඔබට කලින් පොරොන්දු වුණා. රටත් සමාජයත් ශීඝ්‍රයෙන් වෙනස් වී යන නිසා අද එවැනි පැරණි මඟුල් ගෙවල් ඒ ආකාරයෙන් ම දැක ගන්න විදියක් ඇත්තෙත් නැහැ. මා ඉතාම පුංචි සන්දියේ දැකපු දේවල් දුටු අයත් අද ජීවතුන් අතර නැහැ. ඒ වගේ ම එවැනි මඟුල් උත්සව රටේ වෙනත් පළාතකවත් අපට දැක ගන්නට ලැබෙන්නෙත් නැහැ. ඒ නිසයි, මා ඒ විස්තරය ලියා තබන්න කල්පනා කළේ. 

මුවන් රංචුවක් ගුරු නිවාසය වටේ ඇවිද ගිය හැටි. ඒ කාලේ තිබුණු කොඩැක් බොක්ස් කැමරාවකින් ගත්තු පින්තූරයක්. කොළඹින් නිවාඩුවකට ආ යාළුවෙක් ගත්තු එකක්. කවුද කියන්න දන්නේ නෑ.

මීට අවුරුදු 77කට විතර ඉස්සර මා ඉපදුණේ අපේ රට ඉංග්‍රීසින්ට යටත් වෙලා තිබුණ කාලෙදියි. ඒ කාලේ මගේ මව්පියන් රැකියාව කළේ නිකවැරටියෙනුත් එහා දුෂ්කර පාසලකයි. මුළු පාසලට ම හිටියේ ගුරුවරු දෙන්නයි. ඒ අපේ අම්මයි, තාත්තයි විතරයි. ඉස්කෝලේ පැවැත්තුවේ තනි ගොඩනැගිල්ලකයි. වහලට හෙවිල්ලලා තිබුණෙ පොල් අතු. වහල හෙවිල්ලන්න පොල් අතු ගෙනාවෙ බර කරත්තවලින්. පුංචි ගුරු නිවාසයකුත් තිබුණා. ඒකට දාල තිබුණේ තාර ෂීට් ජාතියක්. ඒ ගැන කලින් විස්තරයක් කළා ඔබට මතක ඇති. 

ඒ ගුරු නිවාසයෙ ඉඳිද්දි නිතරම වන සතුන් ඉස්කෝලෙ වත්තට එනව කියලා මං එදා කිව්වා. ඉත්තෑවන්, වල් ඌරන්, වැනි සතුන් පාසල් වත්තට එන බව උන්ගේ වසුරුවලින් තමයි, දැන ගත්තේ. උන් එන්නේ රාත්‍රි කාලයෙදි නිසා කවදාවත් අපට දැක ගන්න ලැබුණේ නෑ. දවල් කාලයෙදි වත්තට එන තිත් මුවන්, සාවුන්, වලිකුකුළන්, හබන් කුකුළන් වැනි සතුන් විතරයි, අප දුටුවේ. 

මා ඒ කතාව ගිය වතාවෙ විස්තර කළාට පස්සෙ, ඒ විස්තරය කියවපු මගේ බාල නැඟණිය පසුගිය සතියේ මා සොයා ඇවිත් පැරණි ඡායාරූපයක් මා අත තැබුවා. ඈ සතුව තිබූ, මගේ මවගේ පැරණි ලිපි ගොනුවක් අස්සේ තිබිලා එළියට වැටුණු ඒ ඡායාරූපය මගේ එදා කතාවට අදාළ නිසා අද පළ කරන්නට මං කල්පනා කළා. 

අපේ ගුරු නිවාසය අවට විමසිල්ලෙන් හෙමින් හෙමින් ගිය ඒ එක් තිත් මුව රංචුවක මේ ඡායාරූපය ආදි යුගයේ කොඩැක් බොක්ස් කැමරාවකින් ගත්තු එකක්. ඒ කාලේ අපේ නිවසට ආ අමුත්තකුගේ වැඩක්. වසර 70ක් තරම් පැරණි වුනත් මෙතෙක් කල් සුරැකිව තිබුණේ ඒ කාලේ ඡායාරූප මුද්‍රණවල ප්‍රමිතිය නිසා කියලයි මං හිතන්නෙ. 

ඉතින් මට දැක ගන්න ලැබුණු පහළ මාවතගම ගම්මානයේ පැවති ලොකු ම විවාහ මංගල්‍යය ගැන ඔබට කියන්නම්. ඒ විවාහ උත්සවය පැවැත් වුණේ ගමේ ප්‍රධානියා වූ හේරත් ආරච්චිලගේ දුව හල්මිල්ලෑවේ ආරච්චිලගේ පුතාට කරකාර බන්දලා දීම නිමිති කර ගෙනයි. 

දවස් කීපයකට ඉස්සරින් ආරච්චිලෑ ඇත්තො හාමිනෙත් එක්ක අපේ තාත්තා හමුවන්න අපේ ගුරු නිවසට ආවා. බුලත් අතක් දීලා මුලින් ම මඟුලට ආරාධනා කළා. "මගේ කෙලී දීග දෙන්ඩ දින නියම කළා. ලොකු ඉස්කෝලෙ මහත්තයටයි, නෝනමහත්තයටයි හාපුරා කියලා බුලත් දෙන්නඩයි ආවෙ" කියලා බුලත් අත දීල වැන්දා. 

"බොහොම සන්තෝසයි! අපි දැකලා නෑ මේ පළාතෙ මඟුල් තුලා කෙරෙන හැටි. ඒ හින්දා අපි ආසාවෙන් එනවා" තාත්තා කීවා. 

ඊට පස්සෙ ආරච්චිලෑ ඇත්තො මංගල උත්සවයේ වැඩ කටයුතු සිද්ධ වෙන හැටි කීවා. "කලින් දවසේ අපි ගමේ කට්ටිය එකතුවෙලා වැවේ කරක් ගහලා ලූල්ලු අල්ලනවා. ඒ ගමන් නෙළුන් කොළත් කඩන් එනවා. එදා හවස ගමේ පවුල්වල ඇත්තො හැමෝම හාල් සේරුවක් අර ගෙන අපේ ගෙදරට එනවා, තියෙන වැඩක් පළක් කරන්නත් එක්ක. කලින් දා රාත්තිරයෙ සයිමයි, කිරි බණ්ඩියයි, මුවෙක් හරි වල් ඌරෙක් එලාගෙන එයි. මංගල පිරිසට බෝජනේ දෙන්න දැනටමත් අපේ ‌ගේ ඉස්සරහින් මඟුල් මඬුවක් ගහන්න පටන් ගත්තා ." ආරච්චිල ඇත්තො කිව්වා. 

"ඔය ඇත්තන්ට මගෙන් විශේෂයෙන් කෙරෙන්න ´නෑ දෙයක් තියෙනව නං කියන්න. මං එදාට ඉස්කෝලෙ නිවාඩු දෙන්නද?" තාත්තා ඇහුවා. 

"ඔනෙන්නැහැ, ලොකු ඉස්කෝලෙ මහත්තයො, ළමයි උදේ ගෙවල්වල ඉන්න එකත් කරදරයක්. ඔහෙ ඉස්කෝලෙ ආපුවාවෙ. වැඩ ටිකක් කරලා මනමාලයා එන වෙලාවට ලොකු ඉස්කෝලෙ මහත්තයයි, නෝනමහත්තයයි ළමයිත් එක්කහු කරන් ආව නං හොඳටෝම ඇති." ආරච්චිල ඇත්තො කිව්වා. 

"බිසෝ මැණිකෙගෙ ඇඳුම් එහෙම කොහොමද? ලෑස්ති කර ගත්තද? මොකක්ද අන්දන්න හිතන් ඉන්නෙ, ඔසරියද? " අපේ අම්මා ආරච්චි ඇත්තන්ගෙ හාමිනේගෙන් ඇහුවා. 

"ඔව්. ලොකු නෝනමහත්තයාම නෙ අපේ දූට මහන්න උගැන්නුවෙ. එයැයිට දැන් ඒව ගැන හොඳට තේරෙනවා. ඒත් මඟුල් දා ඇඳුම නම් ආරච්චි ඇත්තො නිකවැරටිය ටවුමෙ මහන තැනකින් දුවත් එක්කම ගිහින් මස්සගෙන ආවා." 

"වෙලාවක එක්කන් එන්නකො අන්දල බලලා අඩුපාඩුවක් තියෙනවා නම් හදලා දෙන්න"

"හොඳමයි, ලොකු නෝනමහත්තයා" 

ඒ අය පිටවෙලා ගියාට පස්සෙ මට අහන්න ප්‍රශ්නයක් තිබුණා. "මොකක්ද තාත්තෙ වැවේ කරක් ගහලා ලූල්ලු අල්ලනවා කිව්වේ?" 

"කරක් ගහනවා කිව්වේ මාළු අල්ලන ක්‍රමයක්. 'කරක' එහෙම නැත්නම් 'කරක් ගෙඩිය' කියන්නේ කෝටු එකින් එක ළං කරලා වැල්වලින් වියලා හදා ගන්න කූඩයක් වගේ එකක්. අඩියෙ කට පළලයි. ඒකෙ උඩ හරියෙන් කෝටු ළං කරනවා පොඩියට කටක් හිටින විධියට. අඩියේ කෝටු උල් කරලයි, තියෙන්නේ. මේ කරකෙ කට ඇරිලා තියෙන අඩිය පැත්ත වැවේ වතුර අඩු මඬ තියෙන හරියෙ මාළු දඟලනව බලන් ඉඳලා ඌ කොටුවෙන විදියට කරක ගහනවා. ඊට පස්සේ උඩ තියෙන කටින් අතදාල ඌව අල්ලගෙන උඩට ගන්නවා. මං ගම්මැද්දට ගියාම ඒකක් පෙන්නන්නම්" තාත්තා කිව්වා. 

මඟුල් දවසෙ කරත්ත තුනහතරක් එක පෙළට යනවා දැක්කා ගමන් ම තාත්තා ළමයින්ට කතා කරල කිව්වා, "ළමයිනේ දැන් ගම්මැද්දට යන්න වෙලාව හරි. පොත් ඔහොමම තියලා දෙන්නා දෙන්නා පෙළට හැදිලා අපි පස්සෙන් එන්න! කවුරුත් දඟකරන්නෙහෙම නෑ." කියලා පිටත් වුණා. 

අම්මත් මමත් තාත්තා එක්කම ගියා. අපි ගියේ ගුරු නිවසෙ පිටි පස්සෙන් වැව දිහාවට වැටුණු අඩි පාර දිගේ. ඒ අඩි පාර පොඩි ගල්තලාවක් හරහා ගිහින් වෑකන්දට ගොඩ වෙනවා. අපි වෑකන්දට ගොඩ වෙලා බලපුවාම ගුරුපාර දිගේ ආ කරත්ත පෙළ වෑකන්දට ඇතුළුවෙනවා පෙනුණා. ඉස්සෙල්ලාම ආවේ මනමාලයා හා දෙමාපියන් කැටුව ආපු බක්කි කරත්තය. ඒක ලස්සනට සරසලා තිබුණා. ඒ පස්සෙන් බර බාගයක් හා බර කරත්ත දෙකක් ආවා. 

"ළමයිනේ. අයිනට වෙලා ඉන්න! කරත්ත පේළිය යන කං. ඊට පස්සේ අපි ඒ අය පස්සෙන් යනවා. කලබල කරන්නේහෙම නෑ" තාත්තා ටිකක් උස් හඬින් කිව්වා. අපි ඔක්කොම ඒ කිව් විදියට ම කරත්ත පස්සෙන් ගියා. ළමයින් දඟ කළේ නෑ, ලොකු ඉස්කෝලෙ මහත්තයා හිටපු නිසා. 

මනමාලයා ආවේ මේ වගේ බක්කි කරත්තයකයි. 
හැබැයි මේ වගේ නෙමෙයි. ඒක හොඳට සරසලා තිබුණා.

වෑකන්ද කෙළවරේ ගම්මැද්දට බහින අඩිපාර ළඟදි කරත්ත ‌පෙළ නැවතුනා, ගම්මැද්දෙ අය ඇවිත් පිළි ගන්නකන්. ආරච්චිලෑ ඇත්තො තවත් වැඩිහිටි කීපදෙනෙක් එක්ක ඇවිත් බුලත් දීලා පිරිස පිළිගත්තා. හල්මිල්ලෑව ආරච්චිලෑත්තො ඒ බුලත් අත් අරන් කොළ ගණන් කරලා ඒ බුලත් කොළ ටික අපේ ගමේ ආරච්චිල ඇත්තන්ට දුන්නා. "අවසරයි! ඔන්න එහෙනං අපේ ගාන" කියමින්. 

පිරිස කරත්තවලින් බැහැලා මනමාලයයි දෙමාපියනුයි පෙරටු කර ගෙන පා ගමනින් අඩිපාර දිගේ ගම්මැද්දට ගියා. 

ආරච්චිල ඇත්තන්නෙ ගේ ළඟ අලුත තනාපු මඟුල් මඩුව කැළෑමල්වලින් ලස්සනට සරසල තිබුණා. එතැනදි මනමාලයාව මල්මාලයක් දාල පිළිගත්තා. මඟුල් මඩුව ඇතුළෙ පුටු මේස තිබුණෙ නැහැ. බිමට මාගල් එලල තිබුණා. එක් පැත්තක මංගල පෝරුව තිබුණා. ඒක වියතක් විතර උසට ලීවලින් හදපු වේදිකාවක්. ලස්සනට සරසලා තිබුණා. පන්සලෙන් ඉල්ල‌ගෙන ආපු ඉර හඳ සේසත් දෙකක් පසුබිමේ සවි කරලා තිබුණා. 

ගෙට ගොඩ වෙනකොට මනමාලි අම්මත් එක්ක ඇවිත් වතුර වීදුරුවක් දීල මනමාලයාව පිළිගත්තා. ඉස්තෝප්පුවෙ කනප්පුවක් තිබුණා, සුදු පිරුවටයක් එලාපු. මහත්තයෙක් එතැන පුටුවක වාඩිවෙලා හිටියා. එයා මනාල ජෝඩුව ගෙන්නගෙන දෙපැත්තේ පුටුවල වාඩි කරවාගෙන ඒ අයගේ විස්තර අහල පොතක ලිව්වා. ඊට පස්සේ ඒ දෙන්නගෙන් අත්සන් ගත්තා. සාක්කියට අපේ තාත්තත් මනාලයාගේ පැත්තෙන් ආ අයකුත් අත්සන් කළා. ගම්මැද්දෙ අය ඒ වගේ දෙයක් කලින් දැකල තිබුණෙ නෑ. ඒකයි පුදුමෙන් වගේ ඒක දිහා බලන් උන්නෙ. 

"ලොකු ඉස්කෝලෙ මහත්තයා කියපු විදියට මං නිකවැරටියෙ කච්චේරියට සල්ලි බැඳලා මහත්තයෙක් එක්ක ආවා, කසාදෙ රෙජිස්තර කරන්න" ආරච්චිලෑත්තො අපේ තාත්තාට කිව්වා. 


මේ වගේ කරත්ත පේළියක් තමයි, එදා ආවේ. වෙන ප්‍රවාහන ක්‍රමයක් 
ඒ කාලෙ තිබුණෙ නෑ.

ඊට පස්සේ මනමාල ජෝඩුව කැන්දන් ගියා මඟුල් මඩුව ඇතුළට. එහෙදි තමයි පෝරුවෙ චාරිත්‍ර සිද්ධ කළේ. ඊට අවශ්‍ය හැමදේම මනාලයාගේ පැත්තෙන් ගෙනත් තිබුණා. අතපැන් වත් කරන රිදී කෙණ්ඩිය, අෂ්ඨක කියන්න නැකත් රාල, විතරක් නොවෙයි ජයමංගල ගාථා කියන්න ගෑනු ළමයින් හතරකුත් කැටුව විත් තිබුණා. ගමේ ආරච්චිලෑ ඇත්තන්ට කරන්න තිබුණේ සුදු රෙදි කච්චිය දෙන්න විතරයි. 

නැකත් රාල ඒ චාරිත්‍රවලට වැඩි වෙලාවක් ගත්තා. මේ සිරිත් පඬුවස් දෙව් රජතුමාගේ කාලයේ ඉඳන් පැවත එන බව කී ඔහු චාරිත්‍ර කරන අතර මේ සිරිත්වල උපත, කිරිකඩ හේලයේ කතාව, විසාකාවට ඇගේ පියතුමා දුන් අවවාද ඇතුළු දහසකුත් දේ කවියෙන්, සංස්කෘත ශලෝකවලින්, පාලි ගාථාවලින්, ස්ත්‍රෝත්‍ර ගීතිකාවලින් ගෙන හැර පෑවා. පැයකට වැඩි කාලයක් ඔහු ඒකට ගත කළා. අද මඟුල් ගෙවල අප දකින්නේ ඒ කතාවලින් අල්පයක් පමණයි. 

එතැනින් පස්සෙ කළේ අමුත්තන්ට දිවා ආහාරයට ඇරයුම් කිරීමයි. මුලින් ම මඟුල් මඩුවට කැඳෙව්වේ මනාල යුවළ සමග මනාලයාගේ දෙමාපියන් ඇතුළු ඥාති පිරිසයි. 

"ලොකු ඉස්කෝලෙ මහත්තයට මං අපේ ගෙදර වෙනම ලෑස්ති කරලා දෙන්නඩද? නැත්නම් මේ අමුත්තො එක්කම කෑම ගන්නවද?" ආරච්චිලෑ ඇත්තො තාත්තාගෙන් ඇහුවා. 

"නෑ නෑ අපට මෙහෙම හොඳා. මේ අමුත්තොත් එක්කම අපටත් කන්න පුලුවන්." තාත්තා කිව්වා. මඟුල් මඬුව ඇතුළෙ එලපු මාගල් උඩින් පන් පැදුරු දමලා තිබුණා. හැමෝම මඩුවෙ ඇතුළෙ වටේට පැදුරුවල වාඩි වුණා. වැඩිහිටියන් දෙන්නෙක් හැමෝම ඉස්සරහින් නෙළුම් කොළේ ගානෙ තියා ගෙන ගියා. බත් මාළු පිනි බෙදුවෙ ඊට පස්සයි. මුවමස් තිබුණා. මස් නොකන අයට කිරට හදපු ලූල් මාළු තිබුණා. ඒ දෙක ම නො කන අයට කරවල තිබුණා. ව්‍යංජනවලට තිබුණේ වට්ටක්කා, මුරුංගා, ආලංගා මාලුවක් හා කලවම් මැල්ලුමක් විතරයි. 

ආරච්චි ඇත්තොත් අපි එක්කම කෑවා, මනාල යුවළ එක්ක ඒ ගමට යන්න තියෙනවා කියලා. මට කෑම බෙදන කොට තාත්තා කිව්වා, 'ටිකක් බෙදන්න' කියලා. මං දිහාට හැරිලා කිව්වා, 'කට දනවා නං කියන්න වතුර ටිකක් ගෙන්නල දෙන්නම්' කියලා. කච්චේරියෙන් ආපු මහත්තයත් අපිත් එක්කම වාඩිවෙලා කෑම කෑවා. කෑම රසට තිබ්බා. අපේ තාත්තා ඒ ගැන ආරච්චිල ඇත්තන්ට ප්‍රශංසා කළා..

"නෑ ලොකු ඉස්කෝලෙ මහත්තයො, අපේ අය නෙවෙයි ඉව්වේ. එන අයට ගැළපෙන රහට කෑම ටික තියෙන්න එපායැ. ඒ හින්ද මං මනමාල මහත්තයට ම කියලා එහෙන් කෝකියෙක් ගෙන්නව ගත්තා. එතකොට අපට ප්‍රශ්නයක් වෙන්නේ නෑනෙ." ආරච්චිලැ ඇත්තො සිනාසෙමින් කිව්වා. 

"අර කරත්ත දක්කපු අයට නෙළුම් කොළවල බත්ගෙඩි ටිකක් බැඳලා වෑකන්ද උඩටම ගෙනිහින් දීපල්ලා. වැවෙන් අතපය සෝදගෙන ඒ අය නිදහ‌සේ ඒවා බුක්ති විඳීවි" ආරච්චිලෑ ඇත්තෝ වැඩිහිටියන් කීප දෙනකුට පළ කළා. 

අමුත්තන් කෑම කාල ඉවර වුණාම ගමේ අයයි, ඉස්කෝලෙ ළමයිනුයි කෑමට වාඩි වුණා. ඒ අතර අමුත්තන් ආරච්චිලැ ඇත්තන්ගේ ගෙදර පිල උඩයි, දෙපැත්තේ කොට බිත්ති උඩයි, ළඟ ළඟ පිහිටි ගෙවල් පිල් උඩයි පිරිස වාඩිවෙලා උන්නා. හල්මිල්ලෑවෙ ආරච්චිලෑ ඇත්තෝ තමන් පිළිගෙන හොඳින් සංග්‍රහ කළාට ස්තුති කළා. අපේ ආරච්චිලෑ ඇත්තෝ අපේ තාත්තටත් කතාවක් කරන්න කිව්වා. තාත්තා මනමාලි වුණ බිසෝ මැණිකෙගේ සමත්කම් ගැන හැමදෙයක් ම කිව්වා. අවසානයේ ආරච්චිලෑ ඇත්තො කථාකරලා මංගල පිරිසට සමුදුන්නා. 

මංගල පිරිස යන කොට ගමේ ආරච්චිලෑ ඇත්තො තවත් කීප දෙනෙක් එක්ක කරත්ත දෙකකින් බඩු අරන් මනාල යුවළ අරලින්න පසු ගමන් ගියා. 

අපිත් වෑකන්ද දිගේ කරත්ත පේළිය යනවා බලාගෙන හිටියා. මට හැත්තෑ වසරක් ගෙවිලත් ඒක අදත් මැවිලා පේනවා. අපිත් ඒ කරත්ත පෙළ පසුපසින් වෑකන්ද දිගේ ඇවිත් ගුරු නිවාසය දිහාවට හැරුණා. 

තාත්තා යන ගමන් අම්මා එක්ක කතා කළේ ඉස්කෝලෙත් ළඟදිම මඟුල් උළෙලක් ගන්න ´නෑ කියලයි. මට හරියට තේරුණෙ නෑ. ඒත් මං ඒ ගැන ඇහුවෙ නෑ. "මේ ගම්මැද්දේ වැඩිහිටියෝ කවුරුත් ම කසාද බැඳලා නෑ. ළමයින්ගේ උප්පැන්නවල ඒක සඳහන් වෙනවා. ඉගෙන ගන්න දක්ෂ ළමයින්ගෙ එහෙම තියෙන එක ඉහළ තැනකට ගියාම ඒක ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා අපි ඒ අය අලුතින් කසාද බන්දන්න, ඒ කියන්නේ ඒ කසාද ලියාපදිංචි කරවන්න  අවශ්‍යයි. එතකොට ඒ දරුවන්ට සුජාත භාවයක් ලැබෙනවා." තාත්තා කිව්වා. 

"ඒකටද අපේ මහත්තයා ආරච්චිල උනන්දු කරවලා බිසෝමැණිකෙගෙ විවාහය රෙජිස්ටර් කරන්න කච්චේරියෙන් මහත්තයෙක් ගෙන්නුවෙ." අම්මා තාත්තගෙන් ඇහුවා. 

"ඔව් ගම්මැද්දේ අය හැමෝම ඒක දැක්ක නෙ. දැන් කැමති කරවගන්න ලේසියි. ආරච්චිලට කියලා ඊළඟ මාසෙම ඒක කරන්නයි හිතන් ඉන්නෙ" 

තාත්තා කියපු විදියට ම ඒක කළා. එදා ඒක මට වැඩිය තේරුණේ නැතත් අද මට තේරෙණවා තාත්තා කරපු දේවල් අතුරින් ඉතා හොඳ වැඩක් එදා තාත්තා කෙරව්වෙ කියලා.

- පර්සි ජයමාන්න 

 

Post a Comment

6 Comments

  1. මායා රන්ජන්ගේ දිගාමඩුල්ලේ ආශ්චර්‍යය කියෙව්වා වගේ!

    ReplyDelete
    Replies
    1. දුන් ගෞරවයට තුති. මායාරංජන්ගේ ඒ පොත අපටත් පරමාදර්ශයක් වුණා.

      Delete
  2. මගේ තාත්තා 1950 ගනන්වල දී පදියපැලැල්ල කිට්ටුව තියන මැටිබැඹිය කණිෂ්ඨ විදුහලේ ගුරුවරයෙක්. තාත්තා ලඟත් ඔය වගේ ගත්ත පොටෝ වගයක් තිබුණා ඒ ඉස්කෝලේ. හොඳටම මතක තියන පොටෝ එක තමයි ළමයි සරඹ කරන කොට ගත් එක. ඒකෙ සමහර පිරිමි ළමයි ඇඳන් ඉන්න සරම අමුඩෙ ගහගෙන සරඹ කරන්නේ.

    ReplyDelete
  3. පුංචි වුනත් ඒවත් අපේ ඉතිහාසයේ කොටසක්

    ReplyDelete
  4. හොඳ ලිපියක්, හිත අතීතයට ගියා.

    අපේ තාත්තා 1970 වේ ආණ්ඩුව මහියංගනේ නාගදීප කියන ඉස්කෝලෙට මාරුකරා. අපි සමහර නිවාඩු කාල වලට නගදීපේ හිටිය. විස්තර මේ වගේමයි, එක ගොඩනගිල්ලයි ගුරුවරු දෙන්නයි. වන සතුන් සහ සර්ප විමනේ. දැන් එ පැත්ත කොහොම ඇද්ද කියල හිතුණා.

    ReplyDelete
  5. ස්තුතියි! දැන් මේ කියන තැන නම් තියෙන් මධ්‍යමහා විද්‍යාලයක්. පළාතම ජනාවාස වෙලා පැරණි කිසිම සලකුණක්වත් නැහැ.

    ReplyDelete