සසර ගමන සොයා යාම -ධර්මය සහ ජීවිතය - 08 කොටස

 


සසර සොයා යාම අපි අතින් සිදුවන්නේ නොදැනුවත්ව මයි. නොදැනුවත්ව කියන්නෙ සිහියෙන් නොවේ කියන එකයි. අපි ජීවත්වන්නේ සිහියෙන් නෙවෙයි. එහෙම කිව්වාම කෙනෙක් කියන්න පුලුවන් අපි හොඳ සිහියෙන් ඉන්නෙ..අපි සිහියෙන් තමයි මේ සේරම වැඩකටයුතු කරන්නෙ කියල. ඔව් ඒක ඇත්ත. ඒ සියලු දේවල් කරන්න සිහියක් තියෙනවා තමයි. ඒත් ඒ කරන හැම දේකින්ම සසරයි හතර අපායයි දිව්‍ය මනුස්ස ලෝකයි බ්‍රහ්ම ලෝකයි සොයා යන්නෙ කියල අපට නුවණක් නැහැ. සසරින් මිදෙන දේ කරන්න අපට සිහියක් නෑ කියන එකයි මුලින් අදහස් කලේ. සසරට වැටෙන්න අකමැති, සසරෙහි නැවත නැවත ඉපදෙමින් දුක් අනුභව කරන්න අකමැති කෙනෙක් ඉන්නවා නම් එයා කැමති සසරින් මිදෙන දේ කරන්නයි. එයාට කියනවා ප්‍රඥාවන්තයා කියලා. සසරෙහි යන්න, සසරෙහි දුක්සැප විඳින්න කැමති කෙනෙකුත් ඉන්නවා. එයාට කියනවා පෘතග්ජනයා කියලා. මේ වෙනස තේරුම් ගන්නවා නම් හැමදෙනාටම ඉතාම යහපත්.


කෙනෙක් තමාගෙන්ම ප්‍රශ්නයක් අහනවා නම් මොකටද ඉපදෙන්නෙ කියලා එයාට තියෙන ප්‍රාථමික උත්තරය තමයි කෙනෙක් හැටියට ජීවත් වෙන්න කියල. ජීවත්වීම හැර වෙන අර්ථයක් ඉපදීම තුල නැහැ. ඊටපස්සෙ ප්‍රශ්න කලොත් මොකටද ජීවත් වෙන්නෙ කියල පැහැදිලි උත්තරයක් දීගන්න බැරි වෙනවා. ඇයි ඒ? තමා ඉදිරියේ බොහෝ කාරනා තියෙන නිසා. ඒ නිසා පැහැදිලිව පෙනෙනවා ජීවත් වන්නේ යමක් සොයන්නට වෙහෙසවෙමින් කියා. ජීවිතය කියන්නෙ යමක් සොයා යාමට. 

"තිස්සො ඉමා, භික්ඛවෙ, එසනා. කතමා තිස්සො?"

භික්ෂූන්ට ධර්මය පැහැදිලි කරද්දී බුදුරජාණන් වහන්සේ භික්ඛවේ කියා අමතනවා. නමුත් ඒ ආමන්ත්‍රණය ගිහි පාර්ශවය වන උපාසක උපාසිකා යන කොටස් දෙකටත් පොදුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරණවා

"තිස්සො ඉමා, භික්ඛවෙ, එසනා. කතමා තිස්සො?"

සෙවීම් හෙවත් සොයා යාම් තුනක් තිබෙනවා මහණෙනි..මොනවද ඒ සොයා යාම් තුන? "කාමෙසනා, භවෙසනා, බ්‍රහ්මචරියෙසනා. කාමයන් සොයා යාම, භවයන් සොයායාම සහ බ්‍රහ්මචරියාව සොයායාම. මෙය ඉතාම වැදගත් හෙළිදරව්වක්. 

කුමක්ද කාමයන් සොයායාම- මෙතැනින් කියවන්න

මිනිස් ලෝකයද, දිව්‍යලෝක හයද, සතර අපායද අයත් වන්නේ කාමලෝකයටය. පින්පව්,කුසල් අකුසල් සිදුකොට සත්ත්වයා මේ එකොලොස් කාම ලෝක තුල කල කර්ම අනුව විපාක පිණිස ඉපදෙයි. යලි යලි කර්ම සිදු කරයි. මරණයෙන් පසුව නැවත නැවත ඒ කර්මයට අදාල දෙව් මිනිස් සතර අපා ආදී කාම ලෝක වල ඉපදෙයි. එය බුදුරජාණන් වහන්සේ ඉතාස සෞන්දර්යාත්ම විලාසයෙන් මෙසේ පැහැදිලි කොට වදාරා තිබෙනවා.

පුනප්පුනඤ්චෙව වපන්ති බීජං, පුනප්පුනං වස්සති දෙවරාජා
වපුරන්නා නැවත නැවත වැසි වසින විට නැවත නැවත බීජ වපුරයි
පුනප්පුනං ඛෙත්තං කසන්ති කස්සකා, පුනප්පුනං ධඤ්ඤමුපෙති රට්ඨං.
නැවත නැවත කෙත සකස් කරයිද නැවත නැවත ධාන්‍ය (අස්වැන්න) රටට ලැබෙයි.
පුනප්පුනං යාචකා යාචයන්ති, පුනප්පුනං දානපතී දදන්ති
නැවත නැවත යාචකයෝ සිඟමන් යදින විට නැවත නැවත දානපතින් දන් දෙති.
පුනප්පුනං දානපතී දදිත්වා, පුනප්පුනං සග්ගමුපෙන්ති ඨානං.
නැවත නැවත දන්දීම නිසා දානපතින් නැවත නැවත දෙව්ලොව සුගතියේ ඉපදෙයි.
පුනප්පුනං ඛීරනිකා දුහන්ති, පුනප්පුනං වච්ඡො උපෙති මාතරං
කිරි දොවන අය නැවත නැවත කිරි දොවන අතර වසුපැටව් නැවත නැවත මව කරා එයි.
පුනප්පුනං කිලමති ඵන්දති ච, පුනප්පුනං ගබ්භමුපෙති මන්දො.
පුනප්පුනං ජායති මීයති ච, පුනප්පුනං සිවථිකං හරන්ති
එසේ ඒ ආකාරයෙන් පීඩාවට පත්වෙමින් අඥාණ සත්ත්වයා නැවත නැවත ඒ ඒ තැන්වල ඉපදෙයි. නැවත නැවත ඒ ඒ තැන්වල මියයයි. මියගිය ඔහුව ඥාතීන් විසින් සොහොනට ගෙනයනු ලබන අතර නැවත නැවත සොහොන තරකරයි. 

-සංයුත්ත නිකාය-බ්‍රාහ්මණ සංයුත්තය-උදය සූත්‍රය-

මේ තමයි එකොලොස් කාමභූමියේ නැවත නැවත ඉපදෙමින් මියයමින් සැරිසරන සත්ත්වයා පිලිබඳව වූ බුදුන්ගේ සුන්දර විග්‍රහය. එතකොට කාමයන් සොයායාම කියන්නෙත් භවයන් සොයායාම කියන කාරණයට අදාලව කාමයන් තුල සිට කර්ම සකස් කිරීමයි. 

නැවත නැවත සංසාර බීජ වපුරන්නේ නැවත නැවත සංසාර අස්වැන්න නෙලන්නටය. ක්‍රම තුනකට ලෝක සත්ත්වයා විසින් සංසාර බීජ වපුරනවා. ඒවාට කියනවා කර්ම බීජ කියල.

1.පුඤ්ඤාභි සංඛාර හෙවත් පින්/කුසල්

2.අපුඤ්ඤාභි සංඛාර හෙවත් පව්/අකුසල්

3.ආනෙන්ජාභි සංඛාර හෙවත් ධ්‍යාන භාවනා කුසල්

මේ බීජ කාරණා තුන ගතහොත් සසර පැවැත්මට මිසක සසර නිමා කිරීමට උපකාරි නොවන බවද මතක තබාගත යුතුය. බුදුන් වහන්සේ ලෝකයට පහළ වීමට කලින්ද එවකට මිනිසුන් පව් කලා. පින් රැස් කලා. ඒ වගේම කයට දුක් දෙමින් ගැඹුරු භාවනා වල යෙදී ධ්‍යාන වලට සමවැදුනා. මේ එකක් වත් බුදුන් ලෝකයට පහළවූවාට පසුව ඇති වෙච්ච දේ නෙවෙයි. බුදුරජාණන් වහන්සේ මනාව වටහාගත්තා පව් කලොත් සතර අපායේ වැටෙන බව. පින් කලොත් මිනිස් ලෝකයේ හෝ සදෙව් ලෝකයේ උපදින බව. ධ්‍යාන උපදවා ගතහොත් රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝක වල ඉපිද කල්ප ගනන් ආයුශ වලඳින බව. ඒ වගේම උන්වහන්සේ දුටුවා මේ හැමෝම තමන් වපුරපු අස්වැන්න ඒ ඒ තැන්වල නෙලාගෙන ආයෙත් මඩ කුඹුරටම එනබව. ඒ ඇවිත් නැවත නැවත කර්ම බීජ වපුරමින් නැවත නැවත අස්වනු නෙලීම පිණිස යන බව. මේකේ නිමාවක් හෝ කෙලවරක් නැති බවද බුදුරජාණන් වහන්සේ අවබෝධ කලා. 


ඒ අවබෝධය තුල උන්වහන්සේ ලෝක සත්ත්වයාට ඉගැන්වූවා පව් කලොත් සතර අපායේ වැටී අනන්ත දුක් විඳීමට වඩා, පින් කුසල් රැස් කලොත් මිනිස් ලෝකයේ හෝ සදෙව් ලෝකය ඉපදීම යහපත් කියා. එසේ කාම සුගතියේ ඉපදෙනවාට වඩා ධ්‍යාන උපදවාගෙන බ්‍රහ්මලෝක වල ඉපදීම ඊටත් වඩා යහපත් වුවත් මේ කොතැනකවත් සසර ගමන අවසන් වී නැහැ.  මෙය ඉතාම වැදගත් වූද අවධාරනයෙන් සිතේ තබාගත යුතුවූද කාරණයක්. එය නැවත සාරාංශ ගත කලොත් සියලුම කර්ම මේ ආකාරයට විපාක දෙන බව සැලකිය හැකිය.


   සියලු කර්ම                                                        විපාක

1.පුඤ්ඤාභි සංඛාර හෙවත් පින්/කුසල්   - දෙව් මිනිස් කාමලෝකවල             ඉපදීමට

2.අපුඤ්ඤාභි සංඛාර හෙවත් පව්/අකුසල්- සතර අපාය හෙවත් කාම               දුගතියේ ඉපදීමට

3.ආනෙන්ජාභි සංඛාර හෙවත් ධ්‍යාන භාවනා කුසල් -බ්‍රහ්ම ලෝක වල           ඉපදීමට



එතකොට යම් තැනක ඉපදීමක් තිබෙනවා නම් එතැන ආයුශ ගෙවී යාමෙන් මරණයද සිදුවෙනවා. මරණය සිදුවීමෙන් අණතුරුව නැවත නැවත ඉපදෙනවා. පින් ගෙවී යනවා. කාම සුගතිය වූ දෙව් මිනිස් ලෝකයෙන් පිණ ගෙවී ගිය පසු කාම දුගතිය වන හතර අපායට යනවා. බොහෝ කලක් අනනත් දුක් විඳි පසු පව්ද ගෙවී යනවා. ඉතිරි වූ පිනෙන් යලි දෙව් මිනිස් කාම සුගතියට යලි එනවා. එතැනදී පින් කුසල් නොකලෙහොත් ආයෙත් දුගතියට යනවා. මේ ගමනේ අවසානයක් නැති බව බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දුටුවා. කල පිණද ගෙවෙනවා. කල පවද ගෙවෙනවා. භාවනා සමාධියෙන් රැස්කල කුසල කර්මද ගෙවෙනවා. මැරී මැරී ඉපදෙනවා. නිමාවක් නැති කෙලවරක් නැති සසර ගමනම ඉතිරි වෙනවා. 

දැන් කර්ම යනු කුමක්ද කර්ම විපාක යනු කුමක්ද කියන කාරණය පිලිබඳව සරළ විග්‍රහයක් මේ තුල දක්නට ලැබුනා. නමුත් කර්ම විෂයය මීටවඩා බරපතලයි. සංකීර්ණයි. එය ඉදිරි ලිපියකදි විමසා බලන්නට හැකියි. 


සත්ත්වයාගේ සසර ගමන සහ සසර නිමාවේ ප්‍රතිපත්තිය

සත්ත්වා සසර නැවත නැවත සසර ගමනට වැටී අනන්ත සංසාරයේ අනන්ත සැප දුක් විඳිමින් නිමා නොවන ගමනක යන ආකාරය ඉහත ඡේදයේ සියලු කර්ම සහ කර්ම විපාක වලින් දළ වශයෙන් පැහැදිලි කලා. එතකොට මේ ලිපියේ මුලින් සඳහන් කල පරිදි ලෝක සත්ත්වයා සොයා යාම් වලයි නිරත වන්නේ. ඒ සොයා යාම් වල යෙදිලා ඉන්නකොට විවිධ දෘශ්ඨීන් ඇති වෙනවා. දෘශ්ඨීන් කිව්වෙ "මේක මෙහෙමයි වෙන්නේ. වෙන විදිහක් නැහැ " කියල දකින ආකාරය. බුදුරජාණන් වහන්සේ එය තුන් ආකාරයට විස්තර කොට පැහැදිලි කලා.

1.නියත මිථ්‍යා දෘශ්ඨිය

2.ලෞකික සම්මා දිට්ඨිය - (දස වස්තුක සම්මා දිට්ඨිය)

3.ලෝකොත්තර සම්මා දිට්ඨිය


නියත මිථ්‍යා දෘශ්ඨිය-

කතමා ච, භික්ඛවෙ, මිච්ඡාදිට්ඨි? ‘නත්ථි දින්නං, නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකතදුක්කටානං කම්මානං ඵලං විපාකො, නත්ථි අයං ලොකො, නත්ථි පරො ලොකො, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි ලොකෙ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තී අයං, භික්ඛවෙ, මිච්ඡාදිට්ඨි.

දුන් දේ වල විපාක නැත මහාදානයෙහි විපාක නැත. පූජා පැවැත්වීමෙහි විපාක නැත. කුශලා කුශලයන්ගේ විපාක නැත. මෙලෝ නැත. පරලෝ නැත. මවුට කරන යහපත්වූ හෝ අයහපත්වූ හෝ ක්‍රියා වල විපාක නැත. පියාට කරන යහපත්වූ හෝ අයහපත්වූ හෝ ක්‍රියා වල විපාක නැත. ඕපාපාතිකව උපදින සත්වයෝ නැත. මෙලොවද පරලොව දෙක  විශේෂ ඥානයෙන් දැන ප්‍රකාශ කරන, යහපත් මාර්ගයෙන් යහපත් තැනට  පැමිණියාවූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ (සර්වඥ බුදුවරු) නැත.’ මහණෙනි, මේ නියත මිථ්‍යාදෘෂ්ටියයි. 

එතකොට කාමඑසනා හෙවත් කාමයන් සොයා යාමේදී මෙම දෘශ්ඨියේ සිටින කෙනාට ප්‍රාණඝාතය සොරකම වැරදි කාමසේවනය,බොරුකීම, මත්පැන් මත්ද්‍රව්‍ය පානය කිරීම, කේළාම්කීම, හිස්වචන කීම,ඵරුෂ නොසරුප් අවිනීත වචන කීම වරදක් නොවේ. ඒ නිසා ඒ පුද්ගලයා මේ කුමන හෝ ආකාරයෙන් තමාගේ සිතැඟි ඉටුකරගෙන කාමයන් සොයා යනවා. එහි ප්‍රතිඵලය හැටියට මරණින් මත්තේ නිරය,ප්‍රේත භාවය, තිරිසන් භාවය වැනි තැන්වල උපත ලබා සසරේ අනන්ත දුක් විඳ විඳ බොහෝකලක් සතර අපායේම සසර දිගුකර ගන්නවා.

ලෞකික සම්මා දිට්ඨිය හෙවත් දස වස්තුක සම්මා දිට්ඨිය

අත්ථි දින්නං, අත්ථි යිට්ඨං, අත්ථි හුතං, අත්ථි සුකතදුක්කටානං කම්මානං ඵලං විපාකො, අත්ථි අයං ලොකො, අත්ථි පරො ලොකො, අත්ථි මාතා, අත්ථි පිතා, අත්ථි සත්තා ඔපපාතිකා, අත්ථි ලොකෙ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තී’ති - අයං, භික්ඛවෙ, සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපධිවෙපක්කා.

දුන් දේවල් වල මතු විපාක ඇත. මහාදානයෙහි විපාක ඇත. පුදපඬුරු යැවීමෙහි විපාක ඇත. කුශලා කුශලයන්ගේ විපාක ඇත. මෙලෝ ඇත. පරලෝ ඇත. මවුට කරන යහපත්වූ හෝ අයහපත්වූ ක්‍රියා වල විපාක ඇත. පියාට කරන යහපත්වූ හෝ අයහපත්වූ ක්‍රියාවල විපාක ඇත. ඕපපාතිකව උපදින සත්වයෝ ඇත. යම් කෙනෙක් මෙලොවද පරලොවද විශේෂ ඥානයෙන් දැන ප්‍රකාශ කල, එබඳු මනාව පිළිපන් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ (සර්වඥ බුදුවරු) ඇත.’ මහණෙනි, මේ ආශ්‍රව සහිතවූ කුසලයන්ට අයත්වූ විපාක දෙන ස්වභාවය ඇත්තාවූ සම්‍යක් දෘෂ්ටියයි.

මේ ලෞකික සම්මා දිට්ඨිය හරිම විශේෂයි. මේ දෘශ්ඨියේ සිට කටයුතු කරන කෙනා නියත මිත්‍යා දෘශ්ඨියෙන් මිදෙනවා. පාපයට අකුසලයට බිය වෙනවා. පින්දහම්, දානමය කටයුතු සහ භාවනා කරන්නට ගන්නවා. කිසියම් හික්මීමක් ලබනවා. නියත මිථ්‍යා දෘශ්ඨියට පත් කෙනාට ඒකාන්තයෙන්ම හිමිවන්නේ සතර අපාය වුවත් ලෞකික සම්මා දිට්ඨියේ කෙනා යම් දුරකට සතර අපායෙන් ගැලවෙනවා. මුළුමනින්ම නෙවෙයි. ඔහුට සතර අපායට වැටීමේ අනතුර නැති වෙලා නෙවෙයි. නමුත් දාන ශීල භාවනා කටයුතු හේතුවෙන් ඔහුට කාම සුගතිය වූ දිව්‍ය ලෝක හය හෝ මිනිස් ලෝකයේ උපදින්නට හේතු සකස් වෙනවා. ඇයි ඒ? බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම වදාලා "සාසවා පුඤ්ඤභාගියා උපධිවෙපක්කා" ආශ්‍රව සහිතයි. ආශ්‍රව කියන්නෙ තදින් අල්ලාගත් දේවල්. ලෝභ ද්වේශ මෝහ, පිනද තදින් අල්ලා ගන්නවා. ඒ කියන්නේ කරන කෙනෙක් සත්ත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් සිටිනවා කියන දෘශ්ඨිය මෙතැනදි අතහැරිල නැහැ. පින් කරන්නේ මම, දන් දෙන්නෙ මම, භාවනා කරන්නෙ මම ආදී වශයෙන් අල්ලා ගැනීම් තියෙනවා. ඒ පින අනුව යමින් මතු භවයන් වල  දුක් සැප විපාක වලට නියමිතයි. සසරින් ගැලවිලා නැහැ. නිවන නැහැ. නැවත නැවත ඉපදෙනවා. මුලින් සඳහන් කල පරිදි

පුනප්පුනඤ්චෙව වපන්ති බීජං, පුනප්පුනං වස්සති දෙවරාජා
වපුරන්නා නැවත නැවත වැසි වසින විට නැවත නැවත බීජ වපුරයි
පුනප්පුනං ඛෙත්තං කසන්ති කස්සකා, පුනප්පුනං ධඤ්ඤමුපෙති රට්ඨං.
නැවත නැවත කෙත සකස් කරයිද නැවත නැවත ධාන්‍ය (අස්වැන්න) රටට ලැබෙයි.
පුනප්පුනං යාචකා යාචයන්ති, පුනප්පුනං දානපතී දදන්ති
නැවත නැවත යාචකයෝ සිඟමන් යදින විට නැවත නැවත දානපතින් දන් දෙති.
පුනප්පුනං දානපතී දදිත්වා, පුනප්පුනං සග්ගමුපෙන්ති ඨානං.
නැවත නැවත දන්දීම නිසා දානපතින් නැවත නැවත දෙව්ලොව සුගතියේ ඉපදෙයි.
පුනප්පුනං ඛීරනිකා දුහන්ති, පුනප්පුනං වච්ඡො උපෙති මාතරං
කිරි දොවන අය නැවත නැවත කිරි දොවන අතර වසුපැටව් නැවත නැවත මව කරා එයි.
පුනප්පුනං කිලමති ඵන්දති ච, පුනප්පුනං ගබ්භමුපෙති මන්දො.
පුනප්පුනං ජායති මීයති ච, පුනප්පුනං සිවථිකං හරන්ති
එසේ ඒ ආකාරයෙන් පීඩාවට පත්වෙමින් අඥාණ සත්ත්වයා නැවත නැවත ඒ ඒ තැන්වල ඉපදෙයි. නැවත නැවත ඒ ඒ තැන්වල මියයයි. මියගිය ඔහුව ඥාතීන් විසින් සොහොනට ගෙනයනු ලබන අතර නැවත නැවත සොහොන තර කරයි. 

ලෝකෝත්තර සම්මා දිට්ඨිය

කතමා ච, භික්ඛවෙ, සම්මාදිට්ඨි අරියා අනාසවා ලොකුත්තරා මග්ගඞ්ගා? යා ඛො, භික්ඛවෙ, අරියචිත්තස්ස අනාසවචිත්තස්ස අරියමග්ගසමඞ්ගිනො අරියමග්ගං භාවයතො පඤ්ඤා පඤ්ඤින්ද්‍රියං පඤ්ඤාබලං ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො සම්මාදිට්ඨි මග්ගඞ්ගං අයං වුච්චති, භික්ඛවෙ, සම්මාදිට්ඨි අරියා අනාසවා ලොකුත්තරා මග්ගඞ්ගා. සො මිච්ඡාදිට්ඨියා පහානාය වායමති, සම්මාදිට්ඨියා, උපසම්පදාය, ස්වාස්ස හොති සම්මාවායාමො. සො සතො මිච්ඡාදිට්ඨිං පජහති, සතො සම්මාදිට්ඨිං උපසම්පජ්ජ විහරති, සාස්ස හොති සම්මාසති. 

මහණෙනි, මේ මාර්ගයෙහි ආශ්‍රව නෑ. එය පිරිසිදු ආර්යය සිතක්. , ඒ ආර්යය සිතෙන් ආර්යය මාර්ගය වැඩෙන විට එහි වැඩෙන්නේ ප්‍රඥාව මුල්වූ සප්ත බොජ්ජංග ධර්මයන්.(බොජ්ජංග ධර්ම ගැන වෙනම කථා කල යුතුයි. 

සසරින් නික්මෙන සරළ මාර්ගය මෙයයි. මහාකාරුණික තථාගත බුදුපියාණන් වහන්සේ සරළ මාර්ගය තිබියදී ලෝක සත්ත්වයා අමාරුවේ දැමීමට අසීරු සංකීර්ණ දහමක් කියා දුන්නෙ නැහැ. නමුත් අද ලෝක සත්ත්වයාට ඇසෙන්නේද, ලෝක සත්ත්වයා පිලිපදින්නේද සසරින් නික්මෙන පිළිවෙත නොව තව තවත් සසරටම ඇද දමන පිලිවෙතකි. ඒ තමයි ලෞකික සම්මා දිට්ඨියටම ලෝක සත්ත්වයා සිරකොට තබා ඒ තමයි බුදුසමය, ඒ තමයි බුද්ධ වචනය, ඒ තමයි පිලිවෙත, ඒ තමයි නිවන් මග කියා ලෞකික සම්මා දිට්ඨිය තුලම අසරණ ලෝක සත්ත්වයා සිරකර තැබීම. ලෞකික සම්මා දිට්ඨියේ තිබෙන දාන ශීල භාවනා කිසිලෙසකින් වත් නරක අයහපත් දේ නොවෙයි. ඒවා කිරීමෙන් ලෝක සත්ත්වයාට කිසිදා අගතියක් සිදු නොවේ. ඒවා සියල්ල ඉතා යහපත් දේවල්ය. ඒ ගැන කිසිදු තර්කයක් නැත. එහෙත් සසර සැරිසරන ලෝක සත්ත්වයාගේ ඒකායන අපේක්ෂාව නිවන නම්, ලෞකික සම්මා දිට්ඨිය තුලින් නිවනට යා නොහැක. 

මෙය පන්සලේවත්, ධර්මයේවත්, ලෞකික සම්මා දිට්ඨියේවත් වරදක් නොවේ. වරද ඇත්තේ එය නිවන් මග යැයි දැඩිව මුලාවට පත් පෘතග්ජන අසරණ ලෝක සත්ත්වයාගේ දෘශ්ඨිය තුලය. යමෙක් දානය දීමෙන්, සිල් රැකීමෙන්, කුමක් හෝ භාවනාවක් කිරීමෙන්, "ඉතින් සියල්ල හරි..මම නම් ඉතින් නිවනට ඕනෙ කරන දේවල් කරගත්තා" කියා සිතා, ඒ දේම කරමින් කාලය ගත කරමින් සිට පිනෙන් පරලොව ගියොත් සුගතියේ සදෙව් ලෝකයේ හෝ, මිනිස් ලෝකයේ හෝ භාවනා සමාධි සහිත ධ්‍යාන වලින් පරලොව ගොස් බ්‍රහ්මලෝක වල හෝ උපත ලබාවි. තමන්ට වැරදුනේ කොතැනදැයි තේරුම් ගන්නට එවිට තවත් බොහෝ කලක් ගත වේවි. 


බුදුන් ලොවට පහළවන්නට පෙරාතුව ඒ සමාජයේ මිනිස්සු බොහෝ දන් දුන්නා. නිකම්ම නෙවෙයි ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන්වැටවල් පවා දුන්නා. ඒ වගේම පෙහෙවස් සමාදන් වෙලා සිල්රැක්කා. මහාමායා දේවින් වහන්සේ පවා පෙහෙවස් සමාදන්ව සිල් රැකි බව බුද්ධ චරිතයේ පවා සඳහන්. උද්දකාරාමපුත්‍ර, ආළාරකාළාම, භාර්ගව ආදී සිදුහත් තවුසාගේ පෙර ගුරුවරුන් පවා රූපාවචර අරූපාවචර ධ්‍යාන උපදවා ගෙන සිටියා. සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයන්  විවිධ ඍධි ප්‍රාතිහාරයය උපදවා ගෙන සිටියා විවිධ භාවනා සමාධි බලයෙන්. නමුත් සිදුහත් තාපස තුමා කල්පනා කලේ කුමක්ද? මේ සියල්ල කොහේ හෝ භවයක උපත ලබන්නට හේතු වන කර්ම බවයි. ඉපදුනා නම් ජරා මරණ සහිතයි. සසර ගමන නියතයි. ගැලවීමක් නැහැ. ඒ නිසා මේ සියල්ලම පුනර්භවය ලබන්නටද, සංසාරයේ ඇවිදින්නට හේතුවක් වන තවත් කර්ම රැස් කිරීමක් පමණයි කියා කල්පනා කොට තමයි බුද්ධත්වය ලබද්දී අවබෝධ කලේ ලෝකොත්තර සම්මා දිට්ඨිය තුලින් පමණයි මාර්ග ඵල උපදවාගෙන නිවන් දැකිය හැක්කේ කියා. 

එහෙනම් අපි අදත් කරමින් සිටින්නේ එදා බුදුන් ලොව පහළවීමට පෙර මිනිසුන් කරමින් සිටි දේවල්ම නේද? මේ පිලිබඳව යලි යලිත් සිතා බැලිය යුතුයි යන්න ඉතාම වැදගත් කාරණයක් වෙනවා අද දවසේදී.

                තවත් කොටසක් ඊලග ලිපියෙන්


සැ.යු. මෙම ලිපි පෙල කියවා ඇතිවන ගැටලු මෙන්ම ඔබේ නොමසුරු අදහස්ද පහළ කමෙන්ට් කොටසෙහි සඳහන් කිරීමෙන් තවදුරටත් ලිපි සම්පාදනයට අපට විශාල ධෛර්යයක් සපයන බව සිහි කිරීමට කැමැත්තෙමි. අදහස් උදහස් විවේචන ප්‍රශ්න ගැටළු මෙතනට නොහැකි නම් පහත සඳහන් විද්‍යුත් ලිපින වෙතද ලියන්නට හැකිය.
colombageshj@gmail.com
jcolombage@outlook.com





Post a Comment

0 Comments