සංස්කෘතිය කර තබා ගැනීම

See the source image

ලාල්කාන්ත සහෝදරයා දෙරණ 360 ට සහභාගී වෙමින් කීවේ රටේ සංස්කෘතියට තමන් හා තමන් නියෝජනය කරන දේශපාලනය බලවේග ගරු කරන බවත් ඒ සංස්කෘතිය පවත්වා ගෙන යමින් ඒ ඇතුළත කළ හැකි දේ කරන බවත් ය. ඔහු නොකියා කීවේ පවතින සංස්කෘතියට අභියෝග කිරීමට ඔවුන්ට වුවමනාවක් නැති බව ය. භාවිතා කළ වචන ඒවා ම නොවෙතත් ඉදිරිපත් කළ පණිවුඩයේ මුඛ්‍ය අදහස එය ය.

එක්කෝ ඒ ඔවුන්ගේ සැබෑ හැඟීම ය. නැතිනම් මිනිසුන් ඉදිරියේ ගැලවීම උදෙසා කරන අවැදගත් ප්‍රකාශයක් ය. බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වන්නේ එය දෙවැන්න නම් ය. ඒ එය බොරුවට කීවා නම් ය. එහෙත් මට ප්‍රශ්නයක් වන්නේ ඒ කතාව ඇත්තට කීවා නම් ය. බොරුවට කීවා නම් වැරැද්ද බොරු කීම පමණ ය. ඇත්තට කිව්වා නම් වැරැද්ද වනුයේ රටේ වත්මන් ගැට‍ළු තව තවත් වර්ධනය වීම විනා රටට පිටිවහලක් එතුමා නියෝජනය කරන දේශපාලනයෙන් රටට නොලැබී යෑම ය.

මගේ අදහසේ හැටියට ලංකාව අද මුහුණ දී ඇති අර්බුදයට මූලික හේතුව මිනිසුන්ගේ සංස්කෘතික මනස ය. අපේ මිනිසුන්ට ඔවුන් රැක බලා ගැනීමට රජ කෙනෙකු වුවමනා ය. කාගෙන් රැක බලා ගැනීමට ද? තමන්ගේ නොවන අයගෙන් (පරයන්ගෙන්) රැක බලා ගැනීමට ය. තමන් නොවන අනෙකාගෙන් රැක බලා ගැනීමට ය. ඒ අනෙකා විවිධ ජනවර්ග, විවිධ ආගම්, විවිධ කුල ආදී ලෙස විවිධ ස්වරූප ගන්නට පුළුවන. ඊට අමතරව ඒ තැනැත්තා තමන්ගේ කටයුතු අවුරුවන, නීතිය අකුරට ම ක්‍රියාත්මක කරන නිලධාරියෙකු හෝ ආයතනයක් වන්නට ද පුළුවන. අවශ්‍ය වන්නේ ඒ අයගෙන් නිදහස ලබා දීම ය. ආරක්ෂාව ලබා දීම ය. ඒ සඳහා ඉහළ මිලක් වුව ගෙවන්නට ඔවුන් සූදානම් ය. රජ්ජුරුවන් හොරකම් කළත් අහක බලා ගන්නට ඔවුන් සූදානම් ය.

ඒ සංස්කෘතික මනසට අනුව තනතුරු තියෙන්නේ ඒ තනතුරට අයිති භූමිකාව කිරීමට පමණක් නොවේ. එය භාවිතා කරමින් තමන්ට තමන්ගේ පවුලේ අයට හිතවතුන්ට ගම් පළාතට, ඉගෙන ගත්ත පාසලට, උදව් පදව් කිරීමට ය. ආණ්ඩුවේ කාර්යාලයකට යන්නට මත්තෙන් බොහෝ දෙනාට අඳුනන අය සොයන්නට සිදු වන්නේ ඒ නිසා ය. තනතුරුවලට පමණක් නොව සියලු පොදු චංචල නිශ්චල දේපළ සම්බන්ධයෙන් ද එය අදාළ ය. රජයේ ඉඩම් තියෙන්නේ භුක්තියට ගැනීමට ය. හන්දි තිබෙන්නේ බුදු පිළිම සිට වීමට ය. පාර තියෙන්නේ කෙළ ගැසීමට ය. තමන්ගේ කුණු අතහැර දැමීමට ය.

ඒ සංස්කෘතික මනසට අනුව බහුතරයට අයත් නොවන අය සිටිය යුත්තේ බහුතරයේ කැමැත්ත ලැබෙන සීමාව තුළ ය. ඔවුන් බහුතරයට යටත් විය යුතු ය. බහුතරය කැමති නම් මහ රාත්‍රිය නිදි වරා ගෙන සෙස්සන් ද පිරිත් ඇසිය යුතු ය. කණ පැලෙන්න තරමට බණ ඇසිය යුතු ය. ඒවා ගැන වෙනම නීති ඇතත් ක්‍රියාත්මක කරන්නට ගියොත් ලෙඩේ ය. නීතියේ පිළිසරණ පතන්නට ගියොත් ඊටත් වඩා ලෙඩේ ය.

ඒ සංස්කෘතික මනසට අනුව මේ සිංහල බෞද්ධ රටකි. රටක් බෞද්ධ වන්නේ කෙසේ දැයි අතුරු ප්‍රශ්න නොඅසා ඒ බව අප විසින් පිළි ගත යුතු ය. සෙසු ජනවර්ගයන්ට ආගම්වලට දෙවැනි තැන හිමි වන බව දැන ඒ අය වැඩ කළ යුතු ය.

ඒ සංස්කෘතික මනසට අනුව එලි පහලියේ මුත්‍රා කිරීම අශෝභන නොවන මුත් ආදරයෙන් බැඳුනු යුවලක් ආලිංගන නොපෑ යුතු ය. එකිනෙකාට හාදු නොදිය යූතු ය. ඒවා කැත වැඩ ය. අශෝභන වැඩ ය.

ඒ සංස්කෘතික මනසට අනුව සිවුරේ ඉන්නා පුද්ගලයා කවරෙකු වුව ද සිවුරට ගරු කළ යුතු ය. බුදු දහමේ කියන බොහෝ දේ ප්‍රසිද්ධියේ කඩ කළ ද ඒවා අමතක කොට සිවුරට ගරු කළ යුතු ය. භික්ෂූත්වයට ගරු කළ යුතු ය. එයින් නොනැවතී වැඩිහිටියන්ට ද ගරු කළ යුතු ය. ඔවුන්ගේ චරිතය ගැන හොඳ නරක ගැන නොසළකා වැඩිහිටියන්ට ගරු කළ යුතු ය. වන්දනා මාන කළ යුතු ය. ඒ අනුව උස් තැන් දුටු විට හැකිලීමට අප විසින් වග බලා ගත යුතු ය.

ඒ සංස්කෘතික මනසට අනුව අඩු කුලයේ අය සියම් නිකායේ මහණ කර නොගැනීම බෞද්ධ ඉගැන්වීම් වලට විරුද්ධව යෑමක් නොවේ ය. එය රජ කාලයේ එක් කුලහීන භික්ෂූ නමක් රජුන් නැමදීමට ඉදිරිපත් වීමෙන් ඇති වූ ආරවුල විසඳීම සඳහා ගත්තා වූ ද ඒ නිසා අදට ද අදාළ වන්නාවූ ද ප්‍රායෝගික පියවරකි. ඒවා ගැන ප්‍රශ්න කිරීම ශාසනය දුර්වල කිරීමට හේතු ය. ඒ නිසා මල්වතු අස්ගිරි පාර්ශවයට සෙසු භික්ෂූන්ට ඉහළින් ආසන පැනවීම අහක බලා ගෙන ඉවසා වැදෑරිය යුතු කාරණයකි. මේ මල්වතු අස්ගිරි නාහිමියන් පිළිගත යුත්තේ මහ නාහිමියන් වශයෙනි. ඒ නිසා ඔවුන්ට දණ්ඩ නමස්කාර කිරීම කිසිවෙකු ප්‍රශ්නයක් කර ගත යුතු නැත.

ඒ සංස්කෘතික මනසට අනුව කාන්තාවන්ට දළදා මාලිගයේ ද ශ්‍රී මහා බෝධියේ ද සමහර තැන් අකැප ය. දළදාව ගෙනාවේ හේමමාලී කුමරියගේ කෙස් කළඹා සඟවා ගෙන වුව ද ශ්‍රී මහා බෝධිය අංකුරය මෙරටට ගෙනාවේ සංඝමිත්තා තෙරණිය වුව ද කාන්තාවන්ට ඒ තැන් අකැප ය. කාන්තාවන් දෙකේ කොළේට එසේ දැමීමේ සංස්කෘතිය ගෙදරට ඒ අනුව කැඳවා ගත හැකි ය.

ඒ සංස්කෘතික මනසට අනුව කෘෂිකර්මය රටේ ජාතික නිෂ්පාදනයට දායකත්වය සපයන්නේ 4% ක් වුව ද එය රටේ ප්‍රමුඛ ආර්ථික උපායමාර්ගය කර ගත යුතු ය. වැවයි දාගැබයි ගමයි පන්සලයි රැකෙන්නේ එසේ කළොත් ය. ලොව කිසිදු රටක් තමන්ට අවශ්‍ය සියල්ල නිපදවන්නේ නැති වුනාට ඒ සඳහා අප ඉදිරිපත් විය යුතු ය. අපේ මුතුන් මිත්තන් කළ අයුරින් අප විසින් අපේ බව භෝග ගෙවත්තේ වගා කර ගත යුතු ය. ගමේ අප අත්දුටු ස්වයං පෝෂණය වෙනුවෙන් අප පෙනී සිටිය යුතු ය.

ඒ සංස්කෘතික මනසට අනුව අප කඳු විය යුතු නැත. සුනිල් දිය දහර ගලන තැනිතලාවන් ලෙස ම පැවතිය යුතු ය. එයට අනුව සාමය ඇත්තේ පිදුරු සෙවිලි කළ පැල්පතේ වන අතර පැදුරේ ඉන්නා විට බිමට වැටෙන්නේ නැත.

ඒ සංස්කෘතික මනසට අනුව දරුවන්ට දුවන්න හොඳ නැත. ගස් නගින්නට හොඳ නැත. වැටෙන්නට, එසේ වැටී තුවාල කර ගන්නට, ඉඩ තිබෙන නිසා ය. පරයින් විශ්වාස කරන්නට හොඳ නැත. උන් ඉනා බෙහෙත් දෙන්නට පුළුවන් නිසා ය. කෙම්මුර දවසට පරිස්සම් විය යුතු ය. යකුන් කලබල වෙන දවස් නිසා ය. ගොම්මන් වැටෙන වෙලාවට තනි පංගලේ යන්නට හොඳ නැත. කළු කුමාරයා ඉන්නා නිසා ය. සැප සම්පත් පෙන්නන්නට හොඳ නැත. ඇති හැකි දේ සඟවා ගත යුතු ය. ඇස් වහ කට වහ වදින නිසා ය. හූනෙක් චික් චික් ගෑවත් පටන් ගත් වැඩේ අත්හළ යුතු ය. කොටින් ම අවදානම් ගන්නා වැඩ කරන්නට හොඳ නැත. ඒ කෙළ වන්නට ඉඩ ඇති නිසා ය.

ඒ සංස්කෘතික මනසට අනුව වෙළෙන්දා ඉන්නේ, ව්‍යාපාරිකයා ඉන්නේ, සෙසු අය සූරා කන්නට ය. ඒ නිසා වෙළෙන්දෙක් ව්‍යාපාරිකයෙක් වෙන එක පව්කාර ය. කරන්නට තිබෙන්නේ රස්සාවක් කර ගෙන පොඩියට ජීවත් වීමට ය. රස්සා දෙන්නට ද ව්‍යාපාරිකයන් සිටිය යුතු නොවේදැයි සිතන්නට ඔ්නෑ නැත. ඒ සඳහා ආණ්ඩුව හිටියහම ඇති ය. ආණ්ඩුවේ රස්සාවල් ම ඉල්ලන්නේ ඒ නිසා විය හැකි ය. කොහොමටත් ඒ මනස ඔ්නෑවට වඩා සිතීම අනුමත කරන්නේ නැත. කළ යුත්තේ සම්ප්‍රදායට අනුව මුතුන් මිත්තන් කළ කී දේ අනුව ජීවත් වීම ය. ඒ පිළිවෙත් දිගටම ප්‍රශ්න නොකර අනුගමනය කිරීම ය.

ඒ සංස්කෘතික මනසට අනුව ගුරුවරයා ඉන්නේ දරුවන් ගහලා හෝ හදන්න ය. හැඳි නොගා හදන හොද්දත් පහරක් නොගසා හදන ළමයාත් වැඩක් නැත. තියෙන්නේ හොඳින් බැරි නම් නරකින් හෝ හදන්නට ය. ඒ නිසා ඊට අවශ්‍ය බලය වුව හොඳින් නැතිනම් නරකින් හෝ ගත්තාට කමක් නැතැයි නීලා වික්‍රමසිංහට පවා කියා සිටින්නට සිදු වුනේ ය. සංස්කෘතික මනසට තමන් කී දේ නරක යැයි කලා කාරියකට වුව දැනෙන්නට විදිහක් නැත. සමහරු දොස් කීවාට වරද ඇයගේ නොව අප සතු ව ඇති සංස්කෘතික මනසේ ය.

ඒ සංස්කෘතික මනසට අනුව අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් ආයුධ පෙන්නන්නට එක්ක යන මුවාවෙන් රැගෙන ගොස් මැරුවා වුව ද පව් නැත. අංගුලිමාල එල්ලුම් ගසේ එල්ලා මිස පස්ස නොබැලිය යුතු ය. ඒ නිසා එල්ලුම් ගස නැවත ක්‍රියාත්මක කළ යුතු ය. සතුන් මැරීම පව් කාර වැඩක් වුව ද අපරාධ කාරයින් මැරීම හා පරයින් මැරීම නිසා පව් ලැබෙන්නේ නැත. පන්සිල් සමාදන් නොවූ තුන් සරණය නොගිය අය මිනිසුන් නොවේ ය. මහා වංශය බණ පොතක් සේ අදහන අයට ඒවා මාර සොයා ගැනීම් ය.

අවාසනාවට මේ සංස්කෘතික මනසට අභියෝග නොකර, මේ සංස්කෘතිය ප්‍රශ්න නොකර, කළ හැකි මගුලක් නැත. ටිකක් තනුක කර කියන්නේ නම් කළ හැකි වැඩ අතිශයින් අල්ප ය. අඩු වශයෙන් ලෝකය ඉදිරියේ විගඩමක් නොවී වත් ඉන්නටවත් බැරි ය.

නායකයින් ඉන්නේ ම පවතින සංස්කෘතියට අවශ්‍ය තැන් හි අභියෝග කරන්නට ය. නව සංස්කෘතියක් ගොඩ නගන්නට ය. එසේ නොකර සැබෑ වෙනසක් කළ නොහැකි ය. එසේ නොකොට කළ හැකි එක ම දෙය දැනටමත් ආයාලේ යන මිනිසුන් පසු පස යන තවත් අයාලේ යන මිනිසෙකු වීම ය. සංවිධානයක් වීම ය. අද යුගයේ අවශ්‍යතාව නම්  ඊට වඩා බොහෝ සෙයින් විශාල ය. රට ගොඩ නගන්නට යන දේශපාලන බලවේගයකට ඒ අවබෝධය හෝ දැක්ම නැති වීම රටේ අභාග්‍යයකි.

Leave a comment