2022/02/02 – ලංකාදීප

නිදහස ගැන අභිමානයෙන් කතාකරන සතියකි. නිදහස අත්පත් ගන්නට කරන ලද සටන සහ එහි යටගියාව සිහිපත් කෙරේ. නිදහස සදහා නොනවත්වා ගෙන ගිය අරගලය මෙහි දී ඉතාම වැදගත්ය. දේශපේ‍්‍රමී ජාතික වීරයෝ අධිරාජ්‍යවාදී පාලනය ඉදිරියේ කළ නිර්භීත සටන්, ජීවිත පූජා  කළ අභීතභාවය රන් අකුරින් ලියැවී තිබේ. නිදහස් රටක් වෙනුවෙන් සියළු ජාතීන් එකතු වී ගෙන ගිය අවසන් අරගලය සදානුස්මරණීය බව සදහන් කළ යුතුය.

නිදහස, එහි උදාරත්වය පමණක් නොව පැවැත්ම ද අපට පැවැරී ඇති වගකීමකි.  නිදහස් උදානයේ සමාජ සංස්කෘතික වටපිටාව හුරුපුරුදුය. ආර්ථික හා සමාජ නිවහල්භාවයක් සදහා හැඩගැසීමක් නැත. සමස්ථ ව්‍යුහයෙහි ශ‍්‍රී ලාංකේය අනන්‍යතාවයක් නිර්මාණය කරගත යුතුය. නිදහස උත්සව ගතානුගතිකය. එහි සංස්කෘතික හා සම්ප‍්‍රදාය ලක්ෂණ තිබේ. අප ගමන් කරන්නේ ගෝලීයකරණයේ අලූත්ම ව්‍යුහයකටය. තාක්ෂණික යුගයකටය. එහි දී මුහුණදෙන්නට සිදුවන සංකීර්ණ අරගලයක් ඇත. අලූත් පරපුර එම අනාගතයට ඇතුළුවෙමින් සිටී. එය විශාල පරිවර්තනයකි. එකී ප‍්‍රවේශයට එරෙහිව ගතානුගතික රාමුව තුළ විශාල විරෝධයක් තිබේ. අනන්‍යතාව ආරක්ෂා කරගෙන පැවැත්ම සම්බන්ධ නිර්භීතභාවය ගැන අපට හිතන්නට සිදුවී ඇත. 

අධිරාජ්‍යවාදීහු සමාජය එකමුතුවීම වැලැක්වීය. පාලන උපක‍්‍රමයකි. ස්වදේශිකයන් එකතුවීම වලක්වන ලද අතර එමගින් ඉතාම කුඩා විජාතික කණ්ඩායමකට ලංකාව පාලනය කළ හැකි විය. භාෂාව, සමාජ පැලැන්තිය, ආගම සහ කුළය ඇතුළු කාරණා පදනම් කරගෙන ලාංකික ජන සමාජය බෙදා උස් පහත්කම් ඇති කළේය. පාලනයට සම්බන්ධ කරගත්තේ වූයේ රදලයන්ය. බලපත‍්‍ර ක‍්‍රම ඇති කරන ලද අතර සමාජයේ විශේෂ වරප‍්‍රසාද සීමිත රදල පිරිස අතට ඒවා ලැබුණි. නිදහස සමග වෙනස්විය යුතුව තිබුණ මෙම නොදියුණු ලක්ෂණ තවමත් ආරක්ෂා කරන බව පෙනේ. නිදහස සමග බලය ලැබුණ පැලැන්තිය සමාජ බෙදීම් තවත් උග‍්‍ර කරන ක‍්‍රම අනුගමනය කළ බව සදහන් කළ යුතුය. වසර හැත්තෑ හතරක් අවසානයේ දී තව තවත් බෙදීම් ඇති කරගෙන තිබේ. දේශපාලන, ආගම් හා ජාතිවාදී අර්බුද රටට ඇති කර තිබෙන විනාශය මෙම අවස්ථාවේ දී කල්පනාවට ගත යුතු කරුණකි.

ඉකුත් දශක හත තුළ පැමිණි ගමන අපට ඉතිරි කර ඇත්තේ මොනවාද? අපගේ ආත්ම ශක්තිය දුර්වල කර තිබේ. ලෝකයේ අනෙක් රටවල් සමග ගනුදෙනු කිරීමේ දී බයක් ඇත. හීනමානය පොදු ලක්ෂණයකි. ජාත්‍යන්තරයට ඇතුළුවන බව ඇතිකරන්නේ දැනුම ඇති හොදම අධ්‍යාපනය ලබා ඇති සුළු පිරිසකි. මෙකී පටු ආකල්ප තුරන් කළ යුතුය. ආර්ථික හා සමාජයීය නිදහස පුලූල්කරන අකල්ප අපට අවශ්‍යය. ජාති බේධයෙන් ආගම්වාදයෙකින් අපට ඇති කරන වාසියක් නැත.

නිදහස් චින්තනයට, නිදහස් වෘත්තිකත්වයට පුලූල් ඉඩක් රට තුළ නිර්මාණය කරන්නේ කෙසේ ද යන ගැඹුරු සංවාදය අද ඇති කළ යුතුව තිබේ. ස්ථාවර තැනක නැතිත ජන සමාජය එකතුකර ශක්තිමත් කරන ව්‍යායාමයක් අපට අවශ්‍යය. දේශපාලනය වෙනම කරුණකි. එය බෙදෙන්නට හේතුවක් නොවේ. ජාතිය හෝ ආගම එක්සත් රටක් හදන්නට බාධාවක් කරගත යුතු නැත. බෙදීම හා එයින් ගැටුම් ඇති කිරීම පටු ආකල්ප සහිත දේශපාලන ව්‍යාපාරවල වැඩවසම් ලක්ෂණයකි.

ශ‍්‍රී ලංකාව අලූත් අවස්ථා අභිමුවෙහිය. තොරතුරු තාක්ෂණය හා සමාජ සන්නිවේදනය අලූත් අවකාශයක් ඇති කරන වකවානුවකි. තරුණ පරම්පරාව එතැනට එකතුවෙමින් සිටී. අලූත් යුගයක් ඇතිකිරීම හුදෙක් දේශපාලන සටන් පාඨයකට සීමා විය යුතු නැත. සමාජ ආර්ථික නිදහස ඇති කරන අලූත් ප‍්‍රතිපත්ති යෝජනා කළ යුතු අතර විවෘත මනසකින් තීරණ ගත යුතුය. වර්තමානය හමුවේ ඇති අමාරුම ප‍්‍රශ්න ඉදිරියට ගැනීමට ආත්ම ශක්තියක් අප ඇති කරගත යුතුය. ආගමික, සමාජ සහ දේශපාලන නායකයන් එකතු වී අධිරාජ්‍යවාදීන් වෙනස් කරන ලද අලූත් ආකෘතියකට හදන්නේ කෙසේදැයි සාකච්ඡා කළ යුතුය. අන්තවාදය වෙනුවට හැබෑ නිදහස ඇති කිරීම වැදගත්ය.