රොෂාන් මහානාම ඉල්ලා අස්වෙයි

7500

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ ICC තරග තීරක රොෂාන් මහානාම මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සාමාජිකත්වයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ තනතුරක් සඳහා ඔහු සූදානමින් සිටින නිසාවෙන් මහානාම මහතා මේ තනතුරෙන් ඉවත් වී තිබෙන බව දැනගන්නට ලැබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් පසුගිය වසරේ ජනවාරි අවසන් භාගයේ දී ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා විසින් අරවින්ද ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මේ තාක්ෂණික කමිටුව පත්කළා.

එම කමිටුවේ සාමාජිකයින් ලෙස රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාර යන මහත්වරුන් ඇතුළත්ව සිටියා.

එම කමිටුවේ මූලික කාර්යභාරය වනුයේ අමාත්‍යවරයාට, අමාත්‍යාංශ නිලධාරින්ට සහ ජාතික ක්‍රීඩා සභාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ සියලු කරුණු පිළිබඳව උපදෙස් ලබා දීමයි.

දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතිය නංවාලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ සමීපව කටයුතු කර එමඟින් ශ්‍රී ලංකාව තුළ ඉහළ මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාවක් ගොඩනැගීම සහ පුහුණු කිරීම සඳහා අවශ්‍ය මග පෙන්වීම මෙම කමිටුව හරහා ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන කටයුත්තක්.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<