Dialog ජාතික දැල්පන්දු කිරුළ HNB ක්‍රීඩිකාවන්ට

Dialog ජාතික දැල්පන්දු ශූරතාවය - 2021

266

මහනුවර දිගන ක්‍රීඩා සංකීර්ණයේ දී පුරා දින දෙකක් මුළුල්ලේ පැවති Dialog ජාතික දැල්පන්දු ශූරතාවයේ අවසන් මහා තරගයේ ජයග්‍රහණය වාර්තා කරමින් ජාතික කිරුළ දිනා ගන්නට හැටන් නැෂනල් බැංකු (HNB) ක්‍රීඩිකාවන් අද (23) සමත් වුනා.

තරගාවලියේ පළමු දිනය ඊයේ ආරම්භ වූ අතර කණ්ඩායම් 30ක් අතරින් අර්ධ අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබා ගන්නට හැටන් නැෂනල් බැංකු, වරාය අධිකාරි, මහනුවර, කුරුණෑගල, යුද හමුදා, කළුතර, ගුවන් හමුදා සහ කොළඹ කණ්ඩායම්වලට හැකි වුනා.

කුරුණෑගල ක්‍රීඩිකාවන් 17-45ක් ලෙස පරාජය කරමින් HNB ක්‍රීඩිකාවන් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගනිද්දී, යුද හමුදා ක්‍රීඩිකාවන් 36-41ක් ලෙස පරාජය කරමින් අවසන් මහා තරගය සඳහා පිවිසෙන්නට ගුවන් හමුදා ක්‍රීඩිකාවන් සමත් වුනා.

සවස 4:30ට ආරම්භ වූ අවසන් මහා තරගයේ පළමු කාර්තුවේ දී පෙරමුණ ගත්තේ ගුවන් හමුදා ක්‍රීඩිකාවන් විසිනුයි. 10-09ක් ලෙස තියුණු මුහුණුවරකින් අවසන් වූ එම කාර්තුවෙන් පසුව තරගයේ පළමු අර්ධය අවසන් වුනේ 19-22ක් ලෙස HNB ක්‍රීඩිකාවන් පෙරමුණ ගනිමිනුයි.

තෙවැනි කාර්තුවේ දී ගුවන් හමුදා ක්‍රීඩිකාවන්ට එරෙහිව HNB ක්‍රීඩිකාවන් තවත් ලකුණු 11ක් වාර්තා කරද්දී, ගුවන් හමුදා ක්‍රීඩිකාවන්ට වාර්තා කරන්නට හැකි වුනේ ලකුණු 09ක් පමණයි. දෙවැනි අර්ධය අවසානයේ දී තරමක ලකුණු පරතරයක් නිර්මාණය කරගන්නට ගුවන් හමුදා ක්‍රීඩිකාවන් සමත් වූ අතර 39-39ක් ලෙස සමව දෙවැනි අර්ධය නිමාවට පත්වුනා.

තරගයේ උණුසුම තීව්‍ර කරමින් අවසන් මහා තරගය අතිරේක කාලයක් දක්වා ඇදී ගිය අතර ලකුණු 08-10ක් ලෙස අතිරේක කාලයේ දී පෙරමුණ ගත් HNB ක්‍රීඩිකාවන් 47-49ක් ලෙස ගුවන් හමුදාවට එරෙහිව තියුණු ජයක් වාර්තා කරන්නට සමත් වුනා.

තරගාවලිය අවසන් කරමින් පැවති සම්මාන ප්‍රදානෝත්සවයේ දී හොඳම ප්‍රහාරිකාව ලෙස HNB කණ්ඩායමේ දර්ශිකා අබේවික්‍රම සම්මානයට පාත්‍ර වෙද්දී, ගුවන් හමුදා ක්‍රීඩිකා චතුරංගි ජයසූරිය දක්ෂතම ආරක්ෂක ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තා.

එමෙන්ම HNB ක්‍රීඩිකා ගයාංජලි අමරවංස දක්ෂතම Center Court ක්‍රීඩිකාව ලෙස අභිෂේක ලබද්දී, දැල්පන්දු රැජින ලෙස අභිෂේක ලැබුවේ HNB ක්‍රීඩිකා මල්මි හෙට්ටිආරච්චි.

කුරුණෑගල සහ යුද හමුදා කණ්ඩායම් අතර පැවති තෙවැනි ස්ථානය සඳහා වන තරගයෙන් ලකුණු 44-68ක් ලෙස දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කරන්නට යුද හමුදා ක්‍රීඩිකාවන් සමත් වුනා.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය කොරෝනා වසංගතය නිසාවෙන් කල් දැමුණු අතර ජාතික ජ්‍යෙෂ්ඨ දැල්පන්දු ශූරතාවය මෙම මාසයේ දී තරගාවලිය පවත්වා අවසන් කිරීමට තීරණය කළා.

හෙට ලොව දිනන කාන්තාවන් අද බලගන්වන Dialog Axiata PLC තරගාවලියේ සාඩම්බර අනුග්‍රාහකයා ලෙස කටයුතු කරනු ලැබූ අතර 2022 සැප්තැම්බර් 3 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ආසියානු දැල්පන්දු ශූරතාවය සඳහා වන ජාතික සංචිතයට ක්‍රීඩිකාවන් තෝරාගැනීමට මෙම තරගාවලියේ දක්ෂතා දැක්වූ ක්‍රීඩිකාවන්ට වරම් හිමිවනු ඇත.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<