HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ලෝකය සිසාරා යමින් ලෝක වාර්තා තබා හරසර ලැබූ සාරා

'කොවිඩ් 19' වසංගතය නිසා සමහරු තරුණයන් පවා නිවෙස්වලින් එළියට යෑමට බියෙන් පසු වෙද්දී බෙල්ජියන් ජාතික තරුණ ගුවන් නියමුවරියක වූ සාරා රදර්ෆර්ඩ් (Zara Rutherford) තනිවම ගුවන්යානයක් පදවාගෙන ලොව වටා යමින් පසුගිය 20 වැනි දා ලෝක වාර්තාවක් පිහිටෙව්වා. ඇය පරිගණක ඉංජිනේරු විද්‍යාව හදාරන සිසුවියක්. තවමත් 19 හැවිරිදි වියේ පසුවන සාරා ලෝකය සිසාරා පියාසර කළේ තනි එන්ජිමක් සහිත කුඩා ගුවන් යානයකින්. ලොව වටා කි.මී. 52,000ක් දුර තනිවම ගුවන්යානය පදවාගෙන ගිය ඈ ඒ ගමනේ දී ගිනස් ලෝක වාර්තා දෙකක් බිඳ දැමුවා. නව ගිනස් වාර්තාවක් තැබුවා.


19 හැවිරිදි සාරා රදර්ෆර්ඩ්

"මං ඒක කළා" යයි ඇය කීවේ බටහිර බෙල්ජියමේ කෝට්රයික් වෙවෙල්ගම් (Kortrijk-Wevelgem) ගුවන් තොටුපොළේ දී ලැබුණු හරසර පිළිගනිමින් ඉමහත් ප්‍රීතියෙන් යුතුවයි. තනිවම ගුවන්යානයක් පදවා ගෙන ලොව වටා ගිය ප්‍රථම බෙල්ජියානුවා ඇයයි. ඇගේ මාපියන් ගුවන් නියමුවන් වුනත් ඔවුන්වත් ඒක කරන්න උත්සාහ කරලවත් නැහැ. මාපියන් ගුවන් නියමුවන් නිසා ඇය ගුවන් යානා පදවන්න ඉගෙන ගත්තේ වයස අවුරුදු 14දියි. ඒත් ඇයට ගුවන්යානා පැදවීමේ බලපත්‍රය ලැබුණේ 2020දියි. 

2017 දී 30 හැවිරිදි ෂාස්ටා වෙයිස් (Shaesta Waiz) නම් ඇමෙරිකානු ගුවන් නියමුවරියක තනි එංජිමක් සහිත කුඩා ගුවන් යානයකින් ලොව වටා තනිවම පියාසර කරමින‍් තබා තිබූ වාර්තාව බිඳදමන්නට සාරා සමත් වුණා. ඒ වගේ ම ඇය අලුත් වාර්තාවක් ද තබා තිබෙනවා. ඒ මයික්‍රොලයිට් වර්ගයේ සැහැල්ලු ගුවන් යානයකින් ලොව වටා ප්‍රථම කාන්තාව වීමයි. මයික්‍රෝ ලයිට් තනි එන්ජිමක් සහිත සැහැල්ලු ගුවන් යානයක් තනිවම පදවා ගෙන ලොව වටා ගිය ළා බාල ම කාන්තාවත් ඇයයි. 

සාරා පදවාගෙන ගිය මයික්‍රෝ ලයිට් තනි එන්ජිමක් සහිත සැහැල්ලු ගුවන් යානය

සාරා රදර්ෆර්ඩ් මේ ඓතිහාසික පියසැරිය ආරම්භ කළේ පසුගිය 2021 අගෝස්තු 18 වැනිදා ඇගේ මව් බිම වූ බෙල්ජියමෙනි. ඇගේ උත්සාහය වුණේ තනිවම, සැහැල්ලු ගුවන් යානයකින්, ලෝකය වටා පියාසර කරමින්, පවතින ගිනස් ලෝක වාර්තා තුනක් බිඳ හෙළීම සහ නව වාර්තා තුනක් පිහිටුවීමයි. ඇය මේ ඓතිහාසික ගුවන් ගමන සඳහා තෝරා ගත්තේ මෝරකුගේ හැඩයෙන් යුත් අති සැහැල්ලු (අල්ට්‍රා ලයිට්) තනි එන්ජිමේ කුඩා ගුවන් යානයක්. 

ඇගේ සැලැස්මට අනුව ඇගේ වික්‍රමාන්විත පියසැරිය සඳහා මාස තුනක් ගත වෙතැයි සිතුවත් ඇයට අතරමග දී ගමනට විවිධ මාදිලියේ බාධා ඇති වුණා. ඇයට බෙල්ජියමේ හා බ්‍රිතාන්‍යයේ ගුවන්ගමන් බලපත්‍ර දෙකක් තිබුණේ ඒ දෙරටේ ම පුරවැසිභාවය හිමි කරගෙන සිටි නිසයි. ඒත් ඇයට ඇලස්කාවේ දී හා රුසියාවේ දී වීසා ගැටලුවලට මෙන්ම දේශගුණික අසීරුතාවලට ද මුහුණ පෑමට සිදුවුණා. ඒ නිසා සති අටක් ගමන පමා කිරීමට සිදු වුණා. 

"මගේ ගමනේ අමාරුම හරිය වුණේ සයිබීරියාව හරහා යාමයි. එහි දේශගුණය දරන්න බැරි තරම් අසීරුයි. බිම උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍන 35ක් විතර පහළයි තිබුණේ" ඇය ජයග්‍රාහී ගමනින් පසු පැවැත් වූ පුවත්පත් සාකච්ඡාවේ දී කීවා. "එන්ජිම එහෙම අක්‍රිය වුණොත් මොනව වෙයිද කියලා හිතා ගන්නවත් බැහැ." ඒත් හොඳ වෙලාවට ඇයට ඒ කොටස කරදරයක් නැතුව යා ගත හැකි වුණා. 

ගුවන් තොටුපොළේ දී ලැබුණු හරසර පිළිගනිමින් ඉමහත් ප්‍රීතියෙන්

ඒත් ඇයට කැලිෆෝනියාවේ රෙඩින්වල දී අනපේක්ෂිතව ගුවන් යානය බිමට බස්සන්න සිදුවුණා. ඒ සියැටල් ප්‍රදේශයේ ඇති වූ වනාන්තර ගිනිගැනීම් නිසා වායුගෝලය දුමෙන් පිරී ගොස් මඟ සොයා ගැනීම අපහසු වූ නිසා. ඒ වගේ ම චීනයට ඉහළින් පියාසර කිරීමට ද ඇයට අවසර ලැබුණේ නැහැ. 

"මං බලාපොරොත්තු වුණේ නත්තලට කලින් පියසැරිය සම්පූර්ණ කරන්නයි. ඒත් ඒක කරන්න බැරි වෙන හැඩයි." යයි ඇය ගමන අතරමඟ දී, රුසියාවේ ව්ලැඩිවොස්ටොක්වල සිට, දකුණු කොරියාවේ සියොල් නුවර ජිම්පෝ අන්තර්ජාතික ගුවන්තොටුපොළේ දී දෙසැම්බර් 13 වැනිදා කීවා. 

අත්ලාන්තික් සාගරය හරහා ග්‍රීන්ලන්තය, කැනඩාව, දකුණු අමෙරිකාව හරහා ඇලෙස්කාව දක්වාත්, රුසියාව, දකුණු කොරියාව, ඉන්දුනීසියාව, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව, ඉන්දියාව දක්වාත් පියාසර කරමින් සාරා ඇගේ ත්‍රාසජනක සවාරිය යළි යුරෝපය වෙත යොමු කළා. ලස්සන රටවල් රැසක් හරහා ගියත් අහසින් මිසක් ඇයට ඒ රටවල ලස්සන දැක ගන්න ඇතුළට යන්න අවසර ලැබුණේ නැහැ, කොවිඩ් 19 වසංගතය නිසා ඒ ඒ රටවල සිදු කෙරුණු සීමා කිරීම් හේතුවෙන්.

 "මගේ මේ ගමනේ තවත් ප්‍රධාන අරමුණක් තියෙනවා. ඒ ගුවන්යානා පදවන්න ලොව පුරා වෙසෙන කාන්තාවන් උනන්දු කරවීමයි. තවමත් ලෝකයේ කාන්තාවන් අතර ගුවන් නියමුවරියන් ඉන්නේ සියයට 5 ක් විතරයි. මේ තත්ත්වය වෙනස් කරන්න කාන්තාවන් ඉදිරියට එන්න ඕනෑ" ඇය වැඩිදුරටත් කියනවා. 

රත්මලාන ගුවන් තොටුපළේ කළමනාකාර අරුණ රාජපක්ෂ, රත්මලාන ගුවන් 
හමුදා කඳවුරේ සේවා වනිතා සභාපතිනි මේනකා සොනාලි නානායක්කාර 
සාරා පිළිගෙන සමරු තිළිණ පිළිගැන්වූ අයුරු.

සාරා මෙම වික්‍රමය කළේ තනිවම වුවත් ඇගේ සහායට වෙනම කණ්ඩායමක් ද ඇය පසුපස ගියා. දෙසැම්බර් 28 දා දවල් සාරාගේ සැහැල්ලු ගුවන් යානය රත්මලාන ගුවන්තොටුපොළට පැමිණෙද්දී, ගුවන් තොටුපොළේ කළමනාකරු අරුණ රාජපක්ෂගේ මෙහෙයවීමෙන් සාරාට සහ ඇගේ කුඩා ගුවන් යානයට ජල ආචාරය දක්වමින් පිළිගනු ලැබුවා. 

සාරා 30 වැනිදා උදෑසන 9.00 ට රත්මලාන ගුවන් තොටුපළේ සිට ඉන්දියාවේ කොයිම්බතුර් බලා සිය පියසැරිය යළි ආරම්භ කළා. රත්මලාන ගුවන් තොටුපළින් ලංකාවට පැමිණි සාරා තමන් ශ්‍රී ලංකාවේ ගත කළ දෙදින තුළ ලබාගත් අත්දැකීම කිසි දින අමතක නොවන බවත්, ශ්‍රී ලංකාවේ තේ බොහෝ රසවත් බවත් පැවසුවා. 

සාරාගේ පියසැරියේ 40 වැනි රට වුණේ ශ්‍රී ලංකාවයි. මේ ලෝක සවාරියේ දී සාරා රටවල් 41 කට ගියා. එසේ ම ඇය දෙවරක් සමකය හරහාත් ගියා. 

යොවුන් වියේ කාන්තාවක් මෙවැනි වික්‍රමයක් කිරීම ලොව පුරා සිටින යොවුන් කතුන් දිරිමත් කිරීමට හේතුවක් වෙනවා නොඅනුමානයි. 

 - පර්සි ජයමාන්න 

 

Post a Comment

0 Comments