ධර්මය සහ ජීවිතය - 04 කොටස

 



"මඤ්ඤමානස්ස ඛො භික්ඛවේ බද්ධ මාරස්ස"
මඤ්ඤමාන කිරීමෙන් මාරයා හා බද්ධ වේ. එතකොට මඤ්ඤමානය කියන්නේ යම් ධර්මතාවයක් මම කොට, මගේ කොට, මගේ ආත්මය කොට ගැනීම බව සඳහන් වෙනවා. කෙනෙකුට හිතන්න පුලුවන් මම කියලවත් මගේ කියලවත් මගේ ආත්මය කියලවත් අපි හැමතිස්සෙම හිතන්නෙ නැහැනෙ. මොකක්ද මේ සක්කාය දිට්ඨිය මොකක්ද මේ ආත්ම දෘශ්ඨිය කියල. ඔව් ඒක ඇත්ත. එහෙම නිතරම හිතන්නෙ නැහැ. ඇයි ඒ? මුලු ජීවිතයම ඒ සිතිවිල්ල හා බද්ධ වෙලා තියෙන නිසා අපි ඉන්නෙ ඒක ඇතුලෙ කියලවත් අපට දැනෙන්නෙ නැහැ. 

කොහොමද ඒක සිද්ධ වෙන්නෙ?
අපි හිතමු රූපයක් පෙනෙනවා කියලා. ඒ රූපය දුටුවාම සතුටක් හිතට දැනෙනවා. ලස්සනයි හොඳයි කියල හිතට හිතෙනවා. ඒ නිසා ඒක නැවත නැවත බලන්න ඕනෙ කියන චේතනාවත් පහළ වෙනවා. දැන් ඒ රූපය කෙරෙහි ආශාවක් කැමැත්තක් තන්හාවක් ඇති වෙනවා නේද නැවත ඒ රූපය දකින්න තියෙනවා නම් කියලා. ඒක නේද ලෝබය. ඒ ලෝබය ඇති උනේ ඇත්තටම එම රූපයටද, නැත්නම් ඒ රූපය නිසා හිතේ උපන් සතුට සොම්නස රාගය කැමැත්තටද? හොඳයි ලස්සනයි ප්‍රියමනාපයි කියන සංකල්ප ටිකටද? අන්න ඒ ලෝබය තුල මම උපදිනවා. එහෙම ඉපදුනාම එය තදින් අල්ලා ගන්නවා. රූපය ඇසෙන් ඉවත් වෙලා ගියත් සිතින් මැකී ගියේ නෑ. එහෙමනම් කැමති ඕනෙම වෙලාවක ඒ රූපය සිහිකරන්න පුලුවන් නේද? ඒක තමයි භවය. දැන් ඔය තත්වය හමුවේ රූපය ඇසෙන් ඉවත් වෙලා ගියත් සසරට යමක් ඉතිරි කර යන පුරුද්දට කියනවා අනුශය තන්හාව කියලා. පඤ්චඋපාදානස්කන්ධය වෙන්නෙත් ඒකමයි. දැන් ඒක හිතේ තියෙනවා නිදාගෙන වගේ උවමනා වෙලාවට අවදිවෙලා එන්න. ඇස හමුවට රූපය එන්න පමණයි උවමනා වෙන්නෙ. ඒ නිදාගෙන ඉන්න එක පිබිදිලා ආයෙ රූපය සකස් කරනවා. එහෙම සකස් කරපු දේවල් මේ ජීවිතේ විතරක් නෙවෙයි තියෙන්නෙ. සංසාරෙ පුරාවටම හදපු ඒවාත් තියෙනවා. ඒකනෙ කියන්නෙ සංසාර පුරුද්ද කියලා. හොඳ හෝ නරක ගතිසිරිත් , පුරුදු, හැකියාවන් ඒ සියල්ලම නිද්‍රා මට්ටමේ ඉඳලා අවස්ථාව ආවාම හිස ඔසවනවා. යමෙකුගේ කිසියම් විශ්මය ජනක හැකියාවක් ඉස්මතු උනාම සමහරු අහනවා ඔයා ඕක ඉගෙන ගත්තෙ කොහෙන්ද කියල. එතකොට උත්තර දෙනව නේද මම කොහෙන්වත් ඉගෙන ගත්තෙ නැහැ උපතින්ම ගෙනාව දෙයක් සංසාර පුරුද්දක් වෙන්න ඇති කියලා. ඒ වගේම යමෙක් දුටු පමණින් සිත ඇදී යනවා. එතකොටත් කියනවා සංසාරෙ දැකල තියෙන පුරුද්දට වෙන්න ඇති එයාව දැක්ක ගමන් හිත ඇදිල ගියා කියල. 

අපි ඒ විදියට විවිධ මට්ටම් සිත තුල ගොඩ නගල තියෙන්නෙ. කැමති මට්ටම. වටිනාකමක් දීලා තියෙන්නෙ. ඒ කැමති මට්ටමට දී තිබෙන වටිනාකම අනුව යම් රූපයක් ශබ්දයක් ගන්ධයක් රසයක් පහසක් ආවාම එක්වරම එය සතුටින් පිලිගන්නවා. එය අගය කරනවා. එයට ඇලෙනවා. එයට බැඳෙනවා. එතකොට ඒක හදල දුන්නෙ බාහිර තියෙන රූපයක් ශබ්දයක් ගන්ධයක් රසයක් පහසක් නෙවෙයි. අපේ හිතේ හදාගත්ත මට්ටමයි. අන්න සංකප්ප රාගො පුරිසස්ස කාමො කිව්වෙ ඒකටයි. එය ප්‍රිය මනාප සතුටු සොම්නස් අරමුණක් නම් එතැන ලෝභය හටගන්නවා. එතැන මඤ්ඤමානය වෙනවා. එතැන අප්‍රිය අමනාප දොම්නස් අරමුණක් නම් එයට ගැටෙනවා. එතැන මඤ්ඤමානය වෙනවා. ඒ දෙතැනදීම බද්ධ මාරස්ස හෙවත් මාරයාට බැඳෙනවා. සක්කාය දිට්ඨිය හටගන්නවා. 

අපෙන් සිදුවන විශාලම වරද
අපට ඇහැ කණ නාසය දිව කය මනස ලැබිල තියෙන්නෙ ජීවත් වෙන්නට. "ශරීරය හා බැඳුනු සිතට මේ ශරීරය පවත්වද්දී කිසියම් දැනීමක් අවශ්‍ය වේ. 
1.බාහිර ලෝකය පෙනෙන්ට උවමනාය
2.බාහිර ලෝකය අසන්නට උවමනාය
3.බාහිර ලෝකය දැනගන්නට උවමනාය
ශරීරයෙහි පැවැත්මට,ශරීරයෙහි ආරක්ෂාවට,ශරීරයෙහි චලනයන් වලට ඉහත සඳහන් සාධක තුනට ඇතුලත් දැනීමක් සිතට අවශ්‍යය.
1.බාහිර ලෝකය පෙනෙන්ට උවමනාය - බාහිර ලෝකය දැකගන්නට උවමනා කරන්නේ ශරීරය මෙහෙයවිය යුතු දිශාව සහ එහි විස්තර දැනගැනීමටය. බාහිර ලෝකය පෙනෙන්නේ දීප්තිමත් කාචයක් බඳු ඉතාම සූක්ෂම ප්‍රසාදයකටය. එය චක්ඛු ප්‍රසාදය යැයි කියනු ලැබේ. චක්ඛු ප්‍රසාදයට බාහිර රූප පෙනෙනවා පමණය. 
2.බාහිර ලෝකය අසන්නට උවමනාය - ශරීරයේ පැවැත්මට ශරීරයේ ආරක්ෂාවට බාහිර ලෝකයේ විවිධ ශබ්ද දැනගන්නට සිතට උවමනාය. සෝත ප්‍රසාදය පිහිටා තිබෙන්නේ එසේ බාහිර ශබ්ද දැනගැනීම සඳහාය. සෝත ප්‍රසාදයට බාහිර ශබ්ද ඇසෙනවා පමණය.
3.බාහිර ලෝකය දැනගන්නට උවමනාය - පෙනීම, ඇසීම හැරුනු කොට සිතට තවත් සාධක කිහිපයක් මේ ශරීර පැවැත්ම සඳහා දැනගැනීමට උවමනාය. එනම් බාහිර ලෝකයේ ගන්ධය,බාහිර ලෝකයේ රසය, බාහිර ලෝකයේ ස්පර්ශයයි. ගන්ධය දැනගැනීම සඳහා ඝාණ ප්‍රසාදයද,රසය දැනගැනීම සඳහා ජිව්හා ප්‍රසාදයද,කයට දැනෙන ස්පර්ශය දැනගැනීම සඳහා කාය ප්‍රසාදයද පිහිටා ඇත්තේය."

එතකොට ජීවිතය ගෙනියන්න කය පවත්වන්න ලැබී ඇති මේ ආයතන ටිකෙන් අරමුනු ගනිද්දි අපේ අතින් සිදුවන ලොකුම වරද තමයි, කය පවත්වගෙන ජීවිතය ගෙනයන්න උවමනා අරමුනු කෙරෙහි ලෝභයෙන් ඇලී ද්වේශයෙන් ගැටී ඒ තුල ඒ ඇලීම ගැටීම විඳින සත්ත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් ඉපදෙන්නට ඉඩ හැරීම. මෙතනදි මෝහය විසින් විශාල කාර්යයභාරයක් කරනවා.
1.ඒ අරමුනු නිසා කිසියම් සැප විඳීමක් හෝ දුක් විඳීමක් කැමැත්ත අකමැත්ත මත හටගන්නවා නම්, මෝහය විසින් එය ඒත්තු ගන්වනවා ඒ දුක හෝ සැප තියෙන්නෙ එම බාහිර අරමුනු තුල සිටින බාහිර අය හෝ බාහිර දේවල් තුලය කියා. 
2.එසේ මෝහය නිසා ඒ අරමුනු වලට බැඳිලා විඳින කෙනෙක්, හඳුනාගන්න කෙනෙක්, සිතන කෙනෙක් ඇතැයිද ඒ මමය මගේය මගේ ආත්මයය කියා වැරදි නිගමනය මත ආත්ම දෘශ්ඨියකට එනවා.
මේ කාරනා දෙකම නිසා මම කොට මගේ කොට මගේ ආත්මය කොට ගැනීම තුල සත්ත්වයා ඉතාම පහසුවෙන් සසරට හෙවත් මාරයාගේ වසඟයට යනවා. 

මේ වරද සිදුවන්නේ ඇයි?
1. පළවෙනි කාරණය නිවැරදි පිරිසිදු බුද්ධ වචනය අසා නොමැති කම නිසා. ධර්මය කියා අසා තිබෙන්නේ     ධර්මය නොවන එහෙත් ධර්මය වගේම පෙනෙන දෙයක් නිසා. 
2. බුදුවදන බාහිර කිසිවක් ගැන විග්‍රහ නොකරයි. සියලු ඉගැන්වීම් සිත පිළිබඳවයි. සිතේ ස්වභාවය නිසා      සසරට ඇදගෙන යන ආකාරයද, සසරින් මිදෙන ආකාරයද බුදුවදන උගන්වයි. 
3. නිවැරදි ආකාරයට මාර්ගය වැඩිය යුත්තේ කෙසේද කියා නොදන්නා කම.
4. ලෞකික භාවනා ලෞකික සමාධි වැනි වැරදි පිලිවෙත් අනුගමනය කිරීම නිසා
5. බුදුවදන තවත් හුදු ආගමක් ලෙස ඇදහීම සහ ආමිසය පමණක් වැඩීම නිසා.

මුලාව විසින් මෝහය විසින් සිතට ඒත්තු ගන්වා තිබෙන්නේ යමෙකු උපදිනවා. අවුරුදු හැටක් හැත්තෑවත් අනූවක් සීයක් පමණ ජීවත් වෙනවා ඉන් අනතුරුව මියයනවා..මෙය තමයි ඉපදීම මියයාම කියා. ඒ ඇයි?
අස්සුතවා, භික්ඛවෙ, පුථුජ්ජනො ඉමස්මිං චාතුමහාභූතිකස්මිං කායස්මිං නිබ්බින්දෙය්‍යපි විරජ්ජෙය්‍යපි විමුච්චෙය්‍යපි. තං කිස්ස හෙතු? චාතුම්මහාභූතිකස්මිං දිස්සති, භික්ඛවෙ දිස්සති හි භික්ඛවෙ ඉමස්ස චාතුමහාභූතිකස්ස කායස්ස ආචයොපි අපචයොපි ආදානම්පි නික්ඛෙපනම්පි. තස්මා තත්‍රාස්සුතවා පුථුජ්ජනො නිබ්බින්දෙය්‍යපි විරජ්ජෙය්‍යපි විමුච්චෙය්‍යපි
මහණෙනි..ඇසුපීරු තැන් නැති පෘතග්ජනයා සතර මහා ධාතුවෙන් හටගත් මේ ශරීරයට නම් කළකිරෙනවා. ඇලීම අතහරිනවා. ඇයි ඒ? එයට හේතුව අන්කිසිවක් නෙවෙයි සතර මහා ධාතුවෙන් හටගත් මේ ශරීරය වැඩෙන ආකාරය, පිරිහෙන ආකාරය, ඇතිවෙන විදිය, නැතිවෙන විදිය ඇස් පනාපිටම දකින නිසා. 
යඤ්ච ඛො එතං, භික්ඛවෙ, වුච්චති චිත්තං ඉතිපි, මනො ඉතිපි, විඤ්ඤාණං ඉතිපි, තත්‍රාස්සුතවා පුථුජ්ජනො නාලං නිබ්බින්දිතුං නාලං විරජ්ජිතුං නාලං විමුච්චිතුං. තං කිස්ස හෙතු? දීඝරත්තඤ්හෙතං, භික්ඛවෙ, අස්සුතවතො පුථුජ්ජනස්ස අජ්ඣොසිතං මමායිතං පරාමට්ඨං - ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’ති. තස්මා තත්‍රාස්සුතවා පුථුජ්ජනො නාලං නිබ්බින්දිතුං නාලං විරජ්ජිතුං නාලං විමුච්චිතුං.
මහණෙනි, යම් දෙයකට  සිත යැයි හඳුන්වනු ලැබේද, මනසයයි කියනු ලැබේද, විඤ්ඤාණයයි කියනු ලැබේද, අශ්‍රැතවත් පෘථග්ජනයා ඒ දේ කෙරෙහි කලකිරෙන්නට සමත් වන්නේ නැහැ. නොඇලී සිටින්නට සමර්ථ වන්නේත් නැහැ. එයින් මිදෙන්නට සමත් වන්නේත් නැහැ. ඇයි ඒ? පෘතග්ජනයා එය දීර්ඝ කාලයක් තිස්සේ ඒ හිත මගේ...ඒ හිත මම, ඒ හිත මගේ ආත්මය කියා මඤ්ඤමාණය හෙවත් මම කොට මගේ කොට මගේ ආත්මය කොට ආත්ම දෘශ්ඨියෙන් ගන්නා නිසයි. 
සංයුත්ත නිකාය-නිදාන වග්ගය- අස්සුතවන්තු සූත්‍රය-

මෙතැනදි බුදුරජාණන් වහන්සේ තවත් වැදගත් ප්‍රකාශයක් සිදු කරනු ලබනවා. මේ පෘතග්ජන පුද්ගලයා සිත මමය, සිත මගේය, මගේ ආත්මයය, කියා ගන්නවාට වඩා සතරමහා ධාතුවෙන් උපන් ශරීරය මම මගේ, මගේ ආත්මය, කියා ගන්නවා නම් හොඳයි. ඒකට හේතුව තමයි කය අවුරුද්දක දෙකක්, විස්සක් තිහක්, පනහක් හැටක්, අසූවක් සීයක් පුරාවට දැකගන්නට හැකියි. නමුත් මහණෙනි මේ හිත යැයි කියන දෙය රැයද දවාලද හැම තිස්සෙම එකකට එකක් වෙනස් අනෙකක් උපදවයි. උපදවා නිරුද්ධ වෙයි. එය එතරම් වේගවත්. හරියට වඳුරෙක් යම් ගසක අත්තක් අල්ලා ගෙන සිටියිද, ඒ අත්ත අතහැර වෙනත් අත්තක් අල්ලා ගනියිද, ඒ අත්ත අතහැර අනෙක් අත්තක් අල්ලා ගනියිද, එය අතහැර තවත් අත්තක් අල්ලා ගනියිද අන්න ඒ වගේ නිසා.

බුදුරජාණන් වහන්සේ එසේ වදාලේ සිත ඒ තරම් වේගවත් නිසා. සිත ඒ තරම් සංකීර්ණ නිසා. සිත ඒ තරම් චංචල නිසා. ඒ නිසයි බුදුරජානන් වහන්සේ ගේ ධර්මය තුල මේ සිතම විමසමින් මේ සිතේ ස්වභාවය වටහාගෙන මේ සිතේ ග්‍රහණයෙන් මිදෙන්නට කරුනු හෙලිදරව් කලේ. සසරට හෙවත් මාරයාට බද්ධ වන්නේ කය නොව සිතයි. 
අඣත්තඤච බහිද්ධාච වෙදනං නාභිනන්දිතො
එවං සතස්ස චරතො විඤ්ඤාණං උපරුජ්ඣන්ති
ඇතුලත සහ බාහිර අරමුනු නිසා හටගන්නා වින්දනය විඳීම  නොපතන, අගය නොකරන නොපිලිගන්නා, සිහියෙන් හැසිරෙන කෙනාගේ විඤ්ඤාණය නිරුද්ධ වෙයි.
(උදය සුත්‍රය - සුත්ත නිපාතය)
විඤ්ඤානය හට නොගනියි නම් උපදින්නට තැනක් නැති වෙනවා. සියල්ලෙන් ශුන්‍ය වෙනවා. එවිට මාරයාට කිසිදු ඉඩක් ලැබෙන්නෙ නැහැ බද්ධ කරගෙන සසරට ගෙනයන්නට.

සුඤ්‌ඤතො ලොකං අවෙක්‌ඛස්‌සු, මොඝරාජ සදා සතො;
අත්‌තානුදිට්‌ඨිං ඌහච්‌ච, එවං මච්‌චුතරො සියා;
එවං ලොකං අවෙක්‌ඛන්‌තං, මච්‌චුරාජා න පස්‌සතී
පින්වත් මෝඝරාජ, සැමකල්හි ම සිහියෙන් යුතු ව, ආත්මදෘෂ්ටිය දුරු කොට ලෝකය ශූන්‍ය ලෙස දකින්න. මේ අයුරින් මාරයා ඉක්මවා යන්නේ ය. මේ අයුරින් ලෝකය දකින තැනැත්තාව මරණයෙහි රජු (මාරයා) නො දකින්නේ ය.
මෝඝරාජ සූත්‍රය – සුත්ත නිපාතය

සදා සතො...සැමදා සිහියෙන් කටයුතු කිරීම. මෙයයි බුද්ධ දේශනාවේ එන භාවනාව. සිහිය. යෝනිසෝ මනසිකාරය, සතර සති පට්ඨානය හෙවත් සතර තැනක සිහිය බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා සසරින් මිදෙන්නට ඇති මාර්ගය ලෙස. තිට්ඨං චරං නිසින්නො වා සයානො වා - සිටගෙන සිටින විට, ඇවිදින විට, හිඳගෙන සිටින විට, නිදන විට, මේ සතර ඉරියව්ව තුල සිහියෙන් සිටිය යුතුයි. කය අනුව කය (සළායතන) බැලිය යුතුයි. වේදනාව පැමිනි විට ඒ වේදනාව අනුව බැලිය යුතුයි. සිත අනුව සිත බැලිය යුතුයි. ධර්මතාවය අනුව හටගන්නා ධර්මතාවය බැලිය යුතුයි. එතකොට බාහිර භෞතික වස්තූන් සියල්ල අතහැරෙනවා. සිහියෙන්-සදා සතො- තම සිතේ ස්වභාවය හඳුනාගෙන බාහිර අරමුණු කෙරෙහි ලෝභයෙන් ද්වේශයෙන් මෝහයෙන් මාරයා හා බද්ධ වීම අතහැරෙනවා. 
                              
                              ඉතිරි කොටස ඊලඟ ලිපියෙන්

Post a Comment

0 Comments