Home Sinhala පෙරළිකාර දස්කම් දැක්වූ ශ්‍රී ලංකාව 2-1ක් ලෙස සිම්බාබ්වේ පරදවයි

පෙරළිකාර දස්කම් දැක්වූ ශ්‍රී ලංකාව 2-1ක් ලෙස සිම්බාබ්වේ පරදවයි

සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2022

697

සංචාරක සිම්බාබ්වේ සහ සත්කාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති තෙවැනි සහ අවසන් එක්දින තරගය අද (21) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වුනේ ශ්‍රී ලංකාවට ලකුණු 184ක ජයක් හිමිකර දෙමින්.

ඒ අනුව එක්දින තරග 3කින් සමන්විත වූ තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කරන්නට ද ශ්‍රී ලංකාවට හැකි වුනා. 1998 වසරට පසුව සිම්බාබ්වේ කණ්ඩායමකට එරෙහිව ශ්‍රී ලංකාව සිය මව්රටේ දී ම එක්දින තරගාවලියක් ජය ගත් පළමු අවස්ථාව ද මෙයයි.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 9ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 254ක්.

එයට පිළිතුරු දුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 24කුත් පන්දු 4ක් අවසානයේ සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 70ක් පමණයි. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී කණ්ඩායමක් දැනට වාර්තා කර ගත් අඩුම එක්දින ලකුණු ප්‍රමාණය වන්නේ ද මෙයයි.

ශ්‍රී ලංකාව එක් වෙනසක් සිදු කරමින් නුවන් ප්‍රදීප් වෙනුවට රමේෂ් මෙන්ඩිස් අද තරගයට කැඳවා තිබුණා. ඊට අමතරව සිම්බාබ්වේ කණ්ඩායම Wessly Madhevere වෙනුවට Milton Shumba මේ තරගයට කැඳවා තිබුණා.

ශ්‍රී ලංකාව – Pathum Nissanka, Kusal Mendis (wk), Kamindu Mendis, Dinesh Chandimal, Charith Asalanka, Dasun Shanaka (නායක), Chamika Karunaratne, Ramesh Mendis, Jeffrey Vandersay, Maheesh Theekshana, Dushmantha Chameera

සිම්බාබ්වේ – Regis Chakabva (wk), Takudzwanashe Kaitano, Craig Ervine (නායක), Sean Williams, Ryan Burl, Sikander Raza, Milton Shumba, Wellington Masakadze, Blessing Muzarabani, Richard Ngarava, Tendai Chatara

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් පිටියට අවතීර්ණ වුනු මෙන්ඩිස් සහ නිස්සංක තරගයට සාර්ථක ආරම්භයක් ලබා දීමට සමත් වුනා. ඔවුන් එක්ව පන්දුවාර 17කුත් පන්දු 2ක් අවසානයේ ලකුණු 80ක සබඳතාවයක් ගොඩනංවා සිටිය දී, long off කලාපයේ පන්දු රකිමින් සිටි Muzarabani වෙත උඩපන්දු ලබා දෙමින් ලකුණු 36ක් ලබාගෙන සිටි මෙන්ඩිස් දැවී ගියා.

තරගාවලිය පුරාවට පිතිකරණයෙන් සාර්ථක දස්කම් දැක්වූ 23 හැවිරිදි නිස්සංක සිය එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ ලබා ගත් දෙවැනි අර්ධ ශතකය වාර්තා කිරීමට අද සමත් වුනා.

දුර්වල පන්දු තෝරා බේරාගනිමින් පන්දුවට පහර දෙමින් සිටි ඔහු අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසුකර ගැනීමට Madhevere (Sub) සමත් වුනා. පන්දු 66ක් පුරා කඩුල්ලේ රැඳෙමින් ශ්‍රී ලංකා මුල්පෙළ සවිමත් කළ නිස්සංකගේ ඉනිමට 4 පහර 6ක් ඇතුළත් වුනා. කමිඳු මෙන්ඩිස් ලකුණු 11යි.

ඉන් අනතුරුව පිටියේ එක්වුණු වමත් සහ දකුණත් පිතිකරුවන් වුනු අසලංක සහ චන්දිමාල් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 42ක සබඳතාවයක් ගොඩනංවමින් කඩුලු 2ක් එක ළඟ බිඳ වැටීමෙන් සිදු වූ හානිය යම් මට්ටමකට අවම කිරීමට සමත් වුනා.

එම අවස්ථාවේ දී පන්දු යවන්නන්ගේ වෙනසක් සිදු කරමින් වමතින් දඟපන්දු යවන Williams නව පන්දු යවන්නෙක් ලෙස කැඳවීමට සිම්බාබ්වේ නායක Ervine තීරණය කළා. එම පන්දු යැවීමේ වෙනස මල්ඵල ගන්වමින් ලකුණු 17ක් ලබාගෙන සිටි චන්දිමාල් ස්වීප් පහරක් එල්ල කිරීමට ගොස් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙසයි.

අද තරගය සඳහා සකස් කොට තිබූ තණතීරුව පළමු එක්දින තරගය ක්‍රීඩා කළ තණතීරුව වුවත්, එදිනට සාපේක්ෂව අද තරගයේ දී යම් දඟ කැවීමක් දැකගැනීමට ලැබුණා. ශ්‍රී ලංකා ඉනිම ආරම්භයේ සිටම පන්දුවාරයකට දල ලකුණු ලබා ගැනීමේ වේගය බොහෝ වේලාවක් තිස්සේ ලකුණු 5කට අඩුවෙන් තබා ගැනීමට සිම්බාබ්වේ පන්දු යවන්නන් සමත් වුනා.

නායක දසුන් සහ අසලංක එක්ව පස්වැනි කඩුල්ල සඳහා පන්දු 46ක දී ලකුණු 34ක සබඳතාවයක් ගොඩනංවා සිටිය දී, backward point කලාපයේ සිටි Raza වෙත වේගයෙන් ඇදී ආ උඩ පන්දුවක් සාර්ථක ලෙස රැකගැනීමට සමත් වීමත් සමඟම දසුන්ගේ ඉනිම ලකුණු 9කට සීමා වුනා.

සිය කෙටි ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුල ලබා ගත් පස්වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කර ගත් අසලංක, පන්දු 56ක දී ලකුණු 52ක් ලබා ගැනීමට සමත් වුනා. ශ්‍රී ලංකා ඉනිමේ මැදපෙළ සවිමත් කළ අසලංක 4 පහර 5ක් සිය ඉනිමට ඇතුළත් කර ගනිමින් මේ වටිනා අර්ධ ශතකය වාර්තා කරගත්තා.

අවසන් පන්දුවාර 10 තුල ශ්‍රී ලංකා ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කිරීම වෙනුවන් සාර්ථක උත්සහයක් දැරූ චාමික සහ රමේෂ් 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 42ක දී ලකුණු 48ක සබඳතාවයක් ගොඩනැංවූවා. ඔවුන් දෙදෙනා පිළිවෙළින් ලකුණු 30කට සහ ලකුණු 26කට දැවී ගියා.

ශ්‍රී ලංකාව අවසන් පන්දුවාර 5 තුල කඩුලු 3ක් දැවී ලකුණු 39ක් ලබා ගැනීමට සමත් වුනේ ඔවුන්ගේ දල ලකුණු ලබා ගැනීමේ වේගය ලකුණු 5 සීමාව ඉක්මවා රැගෙන යමිනි.

ලකුණු 35කට එක් කඩුල්ලක් දවා ගත් Chatara සිම්බාබ්වේ වෙනුවෙන් වේගවත් ලෙසම එක්දින කඩුලු 100ක් දවා ගත් පන්දු යවන්නා බවට පත්වීමට අද සමත් වුනා. ඒ සඳහා ඔහු එක්දින තරග 76ක් ක්‍රීඩා කර තිබෙනවා. ඊට අමතරව  වමතින් වේගපන්දු යවන Ngarava කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම දියත් කිරීමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායමේ පළමු කඩුලු 2 ලකුණු 3ක් තුල දවා ගැනීමට සමත් වෙමින් ශ්‍රී ලංකාව ඉක්මනින් තරගයට අවතීර්ණ කිරීමට දුෂ්මන්ත චමීර සමත් වුනේ පන්දු 2ක් තුල කඩුලු 2ක් දවාගෙනයි.

ඉන්පසුව තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 17ක සබඳතාවයක් ගොඩනැංවීමට Williams සහ Kaitano සමත් වුවත්, තීක්ෂණ එම සබඳතාවය ඉන් එහාට රැගෙන යාමට අවස්ථාව ලබා දුන්නේ නැහැ.

තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වුනු Williams හට මේ තරගයේ දී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 6ක් පමණයි.

ඉන් නොනැවතුණු ශ්‍රී ලංකා පන්දු යවන්නන් සිම්බාබ්වේ පිතිකරුවන් වෙත දිගින් දිගටම යොමු කළ පීඩනය හමුවේ සිම්බාබ්වේ ඉනිම පන්දුවාර 24කුත් පන්දු 4ක් තුල ලකුණු 70කට සීමා වුනා. සිම්බාබ්වේ වෙනුවෙන් ලකුණු 10 සීමාව අභිබවා ගියේ Kaitano (ලකුණු 19) සහ Burl (ලකුණු15) පමණයි.

පන්දු යැවීමේ දී වැඩිම කඩුලු ප්‍රමාණයක් දවා ගත් ජෙෆ්රි වැන්ඩර්සේ සිය එක්දින ක්‍රිකට් දිවියේ දැක්වූ හොඳම දස්කම වාර්තා කරමින් ලකුණු 10කට කඩුලු 4ක් දවා ගන්නා විට, රමේෂ් මෙන්ඩිස් සහ චමීර අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.


Result


Sri Lanka
254/9 (50)

Zimbabwe
70/10 (24.4)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka run out (Wesly Madhevere) 55 66 0 0 83.33
Kusal Mendis c Blessing Muzarabani b Wellington Masakadza 36 51 4 0 70.59
Kamindu Mendis c & b Ryan Burl 11 20 0 0 55.00
Dinesh Chandimal lbw b Sean Williams 17 24 1 0 70.83
Charith Asalanka c Sikandar Raza b Richard Ngarava 52 23 0 0 226.09
Dasun Shanaka c Sikandar Raza b Richard Ngarava 15 23 0 0 65.22
Chamika Karunaratne run out (Ryan Burl) 30 32 0 0 93.75
Ramesh Mendis b Blessing Muzarabani 26 21 2 0 123.81
Dushmantha Chameera c Sean Williams b Richard Ngarava 1 3 0 0 33.33
Jeffery Vandersay not out 3 3 0 0 100.00
Maheesh Theekshana not out 1 2 0 0 50.00


Extras 7 (b 2 , lb 1 , nb 1, w 3, pen 0)
Total 254/9 (50 Overs, RR: 5.08)
Fall of Wickets 1-80 (17.2) Kusal Mendis, 2-101 (22.2) Pathum Nissanka, 3-107 (23.1) Kamindu Mendis, 4-149 (30.6) Dinesh Chandimal, 5-183 (38.4) Dasun Shanaka, 6-241 (47.4) Ramesh Mendis, 7-247 (48.5) Dushmantha Chameera, 8-249 (49.2) Chamika Karunaratne,

Bowling O M R W Econ
Tendai Chatara 7 0 35 1 5.00
Blessing Muzarabani 10 0 63 0 6.30
Richard Ngarava 9 1 46 2 5.11
Wellington Masakadza 10 0 42 1 4.20
Ryan Burl 6 0 26 1 4.33
Sikandar Raza 6 0 33 0 5.50
Sean Williams 2 0 6 1 3.00


Batsmen R B 4s 6s SR
Takudzwanashe Kaitano c Kusal Mendis b Jeffery Vandersay 19 22 2 0 86.36
Regis Chakabva c Charith Asalanka b Dushmantha Chameera 1 4 0 0 25.00
Craig Ervine c Kusal Mendis b Dushmantha Chameera 0 1 0 0 0.00
Sean Williams b Maheesh Theekshana 6 21 0 0 28.57
Milton Shumba c Jeffery Vandersay b Ramesh Mendis 9 22 1 0 40.91
Sikandar Raza c Pathum Nissanka b Chamika Karunaratne 1 5 0 0 20.00
Ryan Burl lbw b Jeffery Vandersay 15 46 1 0 32.61
Wellington Masakadza b Ramesh Mendis 1 4 0 0 25.00
Blessing Muzarabani lbw b Jeffery Vandersay 2 5 0 0 40.00
Tendai Chatara not out 8 15 1 0 53.33
Richard Ngarava c Maheesh Theekshana b Jeffery Vandersay 0 2 0 0 0.00


Extras 8 (b 0 , lb 0 , nb 0, w 8, pen 0)
Total 70/10 (24.4 Overs, RR: 2.84)
Fall of Wickets 1-3 (2.2) Regis Chakabva, 2-3 (2.3) Craig Ervine, 3-20 (7.2) Sean Williams, 4-30 (10.2) Takudzwanashe Kaitano, 5-31 (11.1) Sikandar Raza, 6-41 (15.5) Milton Shumba, 7-48 (17.1) Wellington Masakadza, 8-52 (18.3) Blessing Muzarabani, 9-70 (24.2) Ryan Burl, 10-70 (24.4) Richard Ngarava,

Bowling O M R W Econ
Dushmantha Chameera 5 1 20 2 4.00
Maheesh Theekshana 6 1 10 1 1.67
Jeffery Vandersay 7.4 2 10 4 1.35
Chamika Karunaratne 2 0 4 1 2.00
Ramesh Mendis 4 0 26 2 6.50



  • තරගාවලියේ වීරයා – පැතුම් නිස්සංක
  • තරගයේ වීරයා – චරිත් අසලංක

මේ තරගාවලිය ICC එක්දින සුපර් ලීගයේ තරගාවලියක් වන අතර ශ්‍රී ලංකාව දැනට ප්‍රසාද ලකුණු 62ක් දිනාගෙන එහි 4 වැනි තැන පසු වෙද්දී සිම්බාබ්වේ කණ්ඩායම 10 වැනි ස්ථානයේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 35ක් සමඟිනුයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<