මොරටු රන් මහා සටන ජය පරාජයෙන් තොරයි

71 වැනි මොරටු මහා රන් සටන

538

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර 71 වැනි වරට පැවැත්වුණු මොරටු රන් මහා සටන දෙදින මහා ක්‍රිකට් තරගය අද (15) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී නිමා වුනේ ජය පරාජයෙන් තොරවයි.

ඒ අනුව මොරටු රන් මහා සටන 61 වැනි වරටත් ජය පරාජයකින් තොරව අවසන් වූ අතර කෙසේ නමුත් පළමු ඉනිමේ වැඩි වාසිය දිනා ගත්තේ සාන්ත සෙබස්තියන් විද්‍යාලයයි.

ඊයේ (14) ආරම්භ වූ පළමු දිනය අවසන් වන විට සිය පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටි වේල්ස් කුමර විද්‍යාලය පන්දුවාර 15ක දී කඩුලු 3ක් බිඳ වැටී ලකුණු 53ක් ලබාගෙන සිටියා.

දෙවැනි දිනය වූ අද දිනයේ ක්‍රියාත්මක වුනු පළමු පන්දුවාර 48කුත් පන්දු 4ක් තුල වේල්ස් කුමාර විද්‍යාලයේ අවසන් කඩුලු 7 ලකුණු 120ක් තුල බිඳ දැමීමට දඟපන්දු යවන කලන සංදීප් ඇතුළු සාන්ත සෙබස්තියන් විද්‍යාල පන්දු යවන්නන් සමත් වුනා.

වේල්ස් කුමාර විද්‍යාලයේ ඇරයුමින් පළමුව පන්දුවට පහර දුන් සාන්ත සෙබස්තියන් විද්‍යාලය ලබා ගත් ලකුණු 254ට පිළිතුරු දෙමින් සිටි වේල්ස් කුමාර විද්‍යාලයේ පළමු ඉනිමේ මුල් කඩුලු 6 ලකුණු 87ක් වැනි අවම මට්ටමේ ලකුණක් තුල බිඳ වැටුණා.

එවැනි මොහොතක පසිඳු පැතුම් සමඟ පිටියේ එක් වූ විදත් දිරේන්ද්‍ර 7 වැනි කඩුල්ල වෙනුවෙන් අගනා ලකුණු 51ක සබඳතාවයක් ගොඩනංවමින් ඔවුන්ගේ ඉනිම සඳහා යම් ජීවයක් ලබා දුන්නා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුණු පසිඳු පැතුම් 4 පහර 4ක් සහ 6 පහර 2ක් එල්ල කරමින් පන්දු 109ක දී අගනා ලකුණු 54ක් ලබා ගත්තා. පසිඳුට පසුව ඉනිමේ වැඩිම පන්දු ප්‍රමාණයක් තුල සිය කඩුල්ල රැක ගත් ක්‍රීඩකයා වුනු කඩුලු රකින පිතිකරු විදත් එක් 4 පහරක් සමඟ පන්දු 72ක් සඳහා මුහුණ දෙමින් ලකුණු 19ක් ලබා ගත්තා.

අවසානයේ දී වේල්ස් කුමර පළමු ඉනිම ලකුණු 173කට සීමා කිරීමට සාන්ත සෙබස්තියන් විද්‍යාල ක්‍රීඩකයින් සමත් වුනා.

ලකුණු 81ක පළමු ඉනිමේ වාසියක් ද සමඟ පිටියට පිවිසි සාන්ත සෙබස්තියන් විද්‍යාලය යම් වේගයක් රඳවා ගෙන පන්දුවට පහර දුන්නේ තරගයේ ප්‍රතිඵලයක් ලබා ගැනීමේ අරමුණ ඇතිවයි.

එහි දී ඔවුන්ගේ මුල්පෙළ පිතිකරුවන් තිදෙනාම සාර්ථක වූ අතර යෂාන් අවිශ්ක සහ නායක සුකිත ප්‍රසන්න අර්ධ ශතක ලබා ගනිමින් දස්කම් දැක්වූවා. ඊට අමතරව බිහඟ මෙන්ඩිස් ලකුණු 42ක් ලබාගෙන සාන්ත සෙබස්තියන් දෙවැනි ඉනිම සවිමත් කළා.

පන්දු 113ක් පුරාවට කඩුල්ල රැක ගත් යෂාන් 4 පහර 4ක් සමඟ ලකුණු 67ක් ලබාගෙන දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙද්දී, දුවද්දී දැවී ගිය බිහඟ පන්දු 60ක දී ලකුණු 42ක් ලබා ගත්තා. වේගවත් ලෙස පිතිකරණයේ නිරත වුනු බිහඟගේ ඉනිමට මනරම් 4 පහර 5ක් ඇතුළත් වුනා.

110.64ක ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගෙන පන්දුවට පහර දුන් නායක සුකිත පළමු ඉනිමේ ලබා ගත් ලකුණු 41කට නොදෙවෙනි ඉනිමක් දියත් කරමින් ලකුණු 52*ක් ලබා ගත්තේ 4 පහරක් සහ 6 පහර දෙකක් සිය ඉනිමට ඇතුළත් කරගෙනයි.

අවසානයේ පන්දුවාර 37ක් සඳහා මුහුණ දුන් සාන්ත සෙබස්තියන් විද්‍යාලය ලකුණු 249ක ඉලක්කයක් සිය ප්‍රතිවාදීන් වෙත ලබා දෙමින් සිය දෙවැනි ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

පිළිතුරු දෙවැනි ඉනිම දියත් කළ වේල්ස් කුමර විද්‍යාලය පන්දුවාර 5කට මුහුණ දෙමින් ලකුණු 17ක් ලබාගෙන සිටිය දී තරගය අවසන් කිරීමට විනිසුරුවරුන් තීරණය කළා.

ලකුණු සාරාංශය,

  • සාන්ත සෙබස්තියන් විද්‍යාල පළමු ඉනිම – 254 (68.5): සංදීෂ් ප්‍රනාන්දු 66, සුකිත ප්‍රසන්න 41, සෙනිත් ප්‍රනාන්දු 31, යෂාන් අවිශ්ක 30, සුමල්ක ප්‍රනාන්දු 5/39, අචල පෙරේරා 2/70.
  • වේල්ස් කුමර විද්‍යාල පළමු ඉනිම – 173 (63.4): පසිඳු පැතුම් 54, සුමල්ක ප්‍රනාන්දු 23, කලන සංදීප් 4/30.
  • සාන්ත සෙබස්තියන් විද්‍යාල දෙවන ඉනිම – 167/2d (37): යෂාන් අවිශ්ක 67, සුකිත ප්‍රසන්න 52*, බිහඟ මෙන්ඩිස් 42, අශාන් ප්‍රනාන්දු 1/35.
  • වේල්ස් කුමර විද්‍යාල දෙවන ඉනිම – 17/0 (5):

පාසල් දෙක අතර පැවැත්වෙන 36 වැනි එක්දින මහා තරගය හෙට (16) මොරටුව ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

මෙම එක්දින මහා ක්‍රිකට් තරගය සජීව ලෙස ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්. එම තරගය ඩයලොග් TV නාලිකා අංක 140 සහ ThePapare.com වෙබ් අඩවිය හරහා සජීව ලෙස නැරඹීමට ඔබට හැකියි.

71 වැනි මොරටු මහා රන් සංග්‍රාමය සඳහා සහ 36 වැනි එක්දින මහා තරගය සඳහා මෙවර ද සාඩම්බර අනුග්‍රාහකයා ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සබඳතා සහකරු වන Dialog Axiata PLC සමාගම කටයුතු කරනු ලබනවා.

මොරටු මහා රන් සංග්‍රාමයේ උණුසුම විඳගන්න, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<