Kohli පිටිය මැද වාග් සංග්‍රාමයක

7963

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගය අතරතුර ඉන්දීය නායක Virat Kohli සහ දකුණු අප්‍රිකානු නායක Dean Elgar අතර ඇතිවූ වාග් සංග්‍රාමයක් කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමුවී තිබෙනවා.

එහි දී Virat Kohli සහ Dean Elgar අතර ඇති වූ වචන හුවමාරුවක් කඩුල්ලේ තිබෙන මයික්‍රෆෝනය හරහා සජීවී විකාශයට ලැබී තිබුණා.

එම කතාබහේ දී ඉන්දීය නායක Virat Kohli දකුණු අප්‍රිකානු නායකයාට සමච්චල් කිරීමට උත්සාහ කරන ආකාරය දක්නට ලැබුණා. කෝලි එහි දී පවසා ඇත්තේ Dean Elgar විසින් ඉන්දීය ප්‍රමුඛ වේගපන්දු යවන ක්‍රීඩක Jasprit Bumrah මඟ හැරීමට උත්සාහ කරන බවයි.

ක්‍රීඩා පිටියේ දී ආක්‍රමණශීලී වීම සහ ආවේගශීලී වීම පිළිබඳව Virat Kohli ප්‍රසිද්ධියක් උසුලනවා. ඒ පිළිබඳව අදහස් දක්වන බොහෝ ප්‍රවීණයන් විශ්වාස කරන්නේ ඉන්දීය නායකයා එම ගුණාංගයෙන් දිනෙන් දින දියුණු වන බවයි.

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර කේප් ටවුන් හි පැවැත්වෙන ටෙස්ට් තරගයේ දී Virat Kohli නිතරම ආවේගශීලී වෙමින් කණ්ඩායම මෙහෙය වන ආකාරය ද දක්නට ලැබුණා. ඉන්දීය කණ්ඩායම දකුණු අප්‍රිකානු භූමියේ ඔවුන්ගේ මංගල ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය හඹා යමින් සිටිනවා.

තුන්වැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනයේ එක් අවස්ථාවක දී Virat Kohli ඔහුගේ ප්‍රතිවාදී දකුණු අප්‍රිකානු නායකයා වන Dean Elgar නිර්දය ලෙස විවේචනය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් twitter ඔස්සේ නිකුත් වී තිබුණා.

එහි දී ඉන්දීය නායක Virat Kohli විසින් Bumrah මඟ හරින බව පවසමින් Dean Elgar හට සමච්චල් කර තිබුණා.

එතැනින් නොනැවතුණු Virat Kohli, ඩීන් එල්ගාර් විසින් පසුගිය වසර 13ක කාලය තුළම එය සිදු කරන බවත් පවසා සිටියා. මීට අමතරව දකුණු අප්‍රිකාවට අමිහිරි මතකයක් වූ 2018 වසරේ ඉන්දීය සංචාරය ගැන ද Kohli සිහිපත් කර තිබුණා.

මට නම් මේක විශ්වාස කරන්න බැහැ. කලින් තරගයේ වීරයා වුන කෙනෙක් Jasprit මඟහරිමින් දුවනවා”, Virat Kohli පවසා සිටියා.

අවුරුදු 13ක් පුරා ඔයා මේක කළා Dean. ඔයා හිතන්නේ ඔයාට මාව නිශ්ශබ්දව තියන්න පුළුවන් කියලා ද? අපි හැමෝම දන්නවා 2018 ජොහැන්ස්බර්ග් වලදී තරගය නතර කරන්න ඕන වුනේ කාටද කියලා. අපි හැමෝම දන්නවා”, ඉන්දීය නායකයා පවසා තිබෙනවා.

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය නිමා වන විට ලකුණු 212ක ඉලක්කයක් හඹායන දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 101ක් ලබා සිටියා.

දිනයේ අවසන් කඩුල්ල ලෙස දෛවෝපගත ලෙස Dean Elgar දැවී ගියේ Jasprit Bumrahගේ පන්දුවක් හමුවේ Rishabh Pant වෙත උඩපන්දුවක් ලබා දෙමින්. Dean Elgar ලකුණු 30ක් රැස්කිරීමට සමත් වුනා.

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 223ක් රැස්කිරීමට සමත් වුනා. එහි දී Virat Kohli ලකුණු 79ක් රැස්කළ අතර දකුණු අප්‍රිකානු ක්‍රීඩක Kagiso Rabada කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුනා.

ඉන්දීය පළමු ඉනිමට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 210ක් ලබා ගැනීමට සමත් වුනා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Keegan Petersen ලකුණු 72ක් ලබා ගැනීමට සමත් වුනා. ඉන්දියාව වෙනුවෙන් Jasprit Bumrah කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුනා.

ලකුණු 13ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ ඉන්දීය කණ්ඩායම ලකුණු 198කට දැවී ගියා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Rishabh Pant ලකුණු 100ක් ලබා ගැනීමට සමත් වුනා. Marco Jansen කඩුලු 4ක් දවා ගත් අතර Kagiso Rabada සහ Lungi Ngidi කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් වුනා.

තරග තුනකින් සමන්විත ඉන්දීය දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර දෙවැනි තරගය දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

Hindustan Times ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<