IPL නව කණ්ඩායම් දෙක තීන්දුයි

7507
cricinfo

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා නව කණ්ඩායම් දෙකක් ඇතුළත් කරගන්නා බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිල වශයෙන් නිවේදනය කර සිටිනවා. නව කණ්ඩායම් දෙක Lucknow හා Ahmedabad නගර නියෝජනය කරමින් IPL තරගාවලියට එක්වෙනවා.

RPSG සමූහය හා පෞද්ගලික ආයෝජනය ආයතනයක් වන CVC ආයතනය පිළිවෙළින් Lucknow හා Ahmedabad කණ්ඩායම්වල හිමිකාරිත්වය දිනාගෙන තිබෙනවා. CVC ආයතනයට ඉන්දියාවෙන් පිටත ක්‍රීඩා තරග සඳහා ඔට්ටු අල්ලන ආයතන සමඟ යම් යම් සබඳතා පවතින බැවින් මේ පිළිබඳව නිල වශයෙන් දැනුම් දී ලිපි නිකුත් කිරීම  ප්‍රමාද කෙරුණා.

කෙසේ වෙතත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නීති අංශය මේ පිළිබඳ විමර්ශනයක් කිරීමෙන් අනතුරුව CVC ආයතනයට තරගාවලියට එක්වන්නට අවසර ලබා දී තිබෙනවා.

කණ්ඩායම් සඳහා ලංසු තැබීම අවසන් කෙරුණා. ඊට අදාළ ලිපි (Letters Of Intention) ඉක්මනින්ම නිකුත් කෙරෙනවා”, IPL සභාපති Brijesh Patel මාධ්‍ය වෙත නිවේදනය කර තිබුණා.

අදාළ ලිපි නිකුත් කිරීමෙන් අනතුරව එම කණ්ඩායම් දෙක නිල වශයෙන් IPL තරගාවලිය සඳහා සම්බන්ධ වූ බවට සැලකෙනවා. ඒ අනුව ඔවුන්ට 2022 IPL ක්‍රීඩක ලංසු තැබීමට පෙර පෙබරවාරි 12 හා 13 වන දිනවල දී තමන්ට අවශ්‍ය ක්‍රීඩකයින් තුන බැගින් තෝරා ගැනීමට අවසර හිමි වෙනවා.

කණ්ඩායම් දෙකම මේ වන විට පුහුණු කාර්ය මණ්ඩලය බඳවා ගෙන අවසන්. මේ වන විට ලැබෙන පුවත් අනුව KL Rahul, Lucknow කණ්ඩායමේ නායකත්වය දැරීමට නියමිත අතර Hardik Pandya Ahmedabad කණ්ඩායම මෙහෙය වීමට නියමිතයි.

අපි නව කණ්ඩායම් සමඟ සාකච්ඡා කළා. අපි ඔවුන්ට දින 10ක් පමණ සිට සති දෙකක වගේ කාලයක් දෙනවා ක්‍රීඩකයින් තෝරා ගන්න”, Patel පවසා තිබුණා. ඔහු තව දුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ ක්‍රීඩක වෙන්දේසියේ ස්ථානය හා වේලාව වෙනස් නොවන බවයි.

ඉන්දියාව මේ වන විට තෙවැනි COVID-19 රැල්ලක අවදානමකට මුහුණ දී තිබෙනවා. 2022 IPL තරගාවලිය මේ වසරේ අප්‍රේල් – මැයි කාල වකවානුවේ දී පැවැත්වීමට නියමිතයි. යම් හෙයකින් COVID-19 නිසා තරගාවලියට බාධාවක් ඇති වුවහොත් එක් ප්‍රාන්තයක් කේන්ද්‍ර කරගනිමින් තරගාවලිය පවත්වන්නටත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සැලසුම් සකස් කරමින් සිටිනවා.

Times Of India ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<