2022/01/12 – ලංකාදීප

ණයත් පඩිත් ගෙව්වම තවත් ණය වෙන රටක්

ප‍්‍රජාතන්ත‍්‍රවාදය පොදු ජනතාව සමග එළැඹෙන ගිවිසුමකි. හොදම ප‍්‍රතිලාභ ජනී ජනයාට ලැබෙන ක‍්‍රමයක් සකස් කළ යුතුය. මහජනතාව පත්කරන පාර්ලිමේන්තු නියෝජිතයන්ට පැවරෙන කාර්යයකි. ආණ්ඩුව සතු වගකීම පුලූල්ය. විපක්ෂ දේශපාලනඥයන් ද කාර්යභාරයක් තිබේ. පටු විවේචනය වෙනුවට විවිධ පැති අධ්‍යයනය කර ක‍්‍රමය නිවැරදි කිරීම සදහා පෙළැඹවීමක් අවශ්‍යය.

පාර්ලිමේන්තුවේ දී කරන සංවාදයකින්, ආර්ථික හා සමාජ පැවැත්මේ දී මෙතෙක් අනුගමනය කර ඇති ක‍්‍රමය තුළ ඇති වැරදි හදා ගත යුතුය. විශාල ප‍්‍රපාතයකට ගමන් කරන විට දෙපැත්තට වී එකිනෙකාට චෝදනා කරගැනීමෙන් ලැබෙන වාසියක් නැත. නිදහසට පසු ගෙවී ගිය දශක හතකට වැඩි කාලය තුළ වගකීම ඉටුකොට ඇතිබවක් නොපෙනේ. ආර්ථිකය මුහුණ පා ඇති අභාග්‍ය සම්පන්න ඉරණම එයට සාක්ෂියකි. එක කොටසක ගේ හෝ එක පුද්ගලයෙකු ගේ වරදක් නොවේ. අප  සියළු දෙනාම පවතින ඉරණමෙහි කොටස්කරුවෝ වෙති. ප‍්‍රතිපත්ති අනුගමනය නොකරන්නටත්, පටු වාසි තකා නිසි පිලිවෙලට ඉඩ නොදෙන්නටත් යුහුසුළු වූ අපට ආර්ථික මුලධර්ම මගින් අමතක නොවන පාඩමක් උගන්වා තිබේ.

අලූත් වාර්තා පෙන්වන පරිදි, ජාතික ආදායම ණය පොලිය හා රජයේ වැටුප් වියදමට ප‍්‍රමාණවත් නැත. ණය පොලිය සදහා ආදායමෙන් සියයට හැත්තෑවක් වියදම් කරන්නට සිදුවී ඇත. රජයේ සේවක වැටුප් හා විශ‍්‍රාම වැටුප් වෙනුවෙන් වෙන් කරන්නට සිදුවී ඇති කොටස සියයට අනූවකි. මෙම කොටස් දෙක පමණක් ජාතික ආදායමෙන් සියයට එකසිය හැටක් වන බරපතල ප‍්‍රතිශතයක් බව පෙනේ. රුපියල් සියයක් උපයන පුද්ගලයෙකු කලින් ගත් ණය හා වැටුප් වියදම් වශයෙන් රුපියල් එකසිය හැටක් ගෙවන්නේ කෙසේද?

මැලේසියාව දියුණු කළ මහතීර් මොහමඞ් මහතා සමකාලීන දේශපාලනඥයන්ට වටිනා උපදෙස් දී තිබේ. රටක් පාලනය කරන්නට බලය ඉල්ලන අය අඩුම තරමින් සුළු ව්‍යාපාරයක හෝ අත්දැකීමක් තිබිය යුතු බව ඔහු කියා සිටියේය. ඉතිහාසයේ සිට අපට වෘත්තීය දේශපාලනඥයෝ සිටියහ. මහතීර් කියන සුදුසුකම තිබුණේ නැත. බලය අල්ලා ගන්නට අති සමර්ථය. විපක්ෂය ද ආණ්ඩු අපහසුවට පත් කරන්නට දක්ෂ කණ්ඩායමකි. ආණ්ඩුවත් විපක්ෂයක් එකතු වී දැවැන්ත ආගාධයක් අභිමුවට රට කැදවා ඇත. දේශපාලන අනුග‍්‍රහය ඇති මිත්‍යා මතවලින් හිස් පුරවා ගත් වෘත්තීය සමිති ද මෙම විනාශයෙහි එක පාර්ශවයකි. නිසි අවස්ථාවේ දී රටට අවශ්‍ය මග පෙන්වීම මගහැර සිටි ප‍්‍රායෝගික අදහස් තිබිය යුතු බුද්ධිමත් කොටස් ද අද ප වතින කණගාටුදායක තැන දක්වා ගමන් කරන්නට අත්වැල අල්ලා ඇත.

මෙම අවස්ථාවේ දී තීරණ දෙකක් ගත හැකිය. ආදායම වැඩි කරගැනීම සදහා අලූත් වටයකින් බදු නංවන්නට සිදුවේ. එය දුගී දුප්පත් ජනතාව තවත් දුෂ්කර තැනකට පත් කිරීමකි. අනෙක රජයට බදු ආදායම උපයා ගත හැකි වන පරිදි ආර්ථිකය පුලූල් කිරීමය. අලූත් කර්මාන්ත හා ව්‍යාපාර ඇති කරන පසුබිමක් ගොඩනැගීමය. ව්‍යවසායකත්වය සදහා රට තුළ ඇති අපහසුතාව රජයේ නිලධාරීන් සහ දේශපාලනඥයෝ දන්නේ නැත. යමක් අලූතින් කරන්නට වෑයම් දරන පිරිස් අධෛර්ය කරන වටපිටාවක් රට තුළ තිබේ. තීරණ ගැනීමේ අලසභාවය හා යල්පැන ගිය නීති ව්‍යවසායකත්වයට කිසිම ආකාරයකින් සහායක් දෙන්නේ නැත. අතිශය පීඩාවක සිටින තරුණ පිරිස ක‍්‍රමය ගැන කලකිරීමට පත්ව සිටිති. දක්ෂ පිරිස කෙසේ හෝ වෙනත් රටකට පැනගොස් ජීවත්වීමේ අධිශ්ඨානයකය. ඉගෙනගත් තරුණ තරුණියන් අනාගතය උදෙසා නගන හඩ ඉදිරියේ මෙරට දේශපාලනඥයන්ට ඇති උත්තරය කුමක්ද? ඝෝෂාවෙන් හා විරෝධතාවලින් රටට සිදුවී ඇති යහපතක් නැත.

කොවිඞ් වසංගත තත්ත්වයෙන් පසු නැවතත් නැගී සිටින්නට අවශ්‍යය. විශාල ප‍්‍රතිසංස්කරණ කරන්නට සිදුවේ. ආර්ථික හා සමාජ වෙනස්කම් කළ යුතුය. ආකල්ප වෙනස් කිරීමට පියවර ගත යුතුව තිබේ. අධ්‍යාපන ක‍්‍රමය, සෞඛ්‍ය, ප‍්‍රවාහනය, මුල්‍ය පද්ධතිය ඇතුළු අංශවල පවතින ක‍්‍රම සමාජ ප‍්‍රගතිය ඇති කරන්නේ නැත. අවශ්‍ය වෙනස්කම් සදහා ආයෝජනයට ධනය නැති ආණ්ඩු හුදෙක් එදිනෙදා පැවැත්ම ගැන පමණක් අවධානය යොමු කරන තැනට පත්ව සිටී. ව්‍යුහය වෙනස් නොකළහොත් අනාගතයේ බලයට පත්වන ආණ්ඩුවකට පවා අලූත් යමක් කරන්නට නොහැක. ආණ්ඩුව පමණක් නොව විපක්ෂය ද එකතු වී ආර්ථිකය තුළ ඇති අර්බුදය නිරාකරණය කරන පරිවර්තනය කරන අලූත් සැලැස්මක් සදහා වහාම පියවරගත යුතුව තිබේ.