ධනංජය ද සිල්වාටත් සිම්බාබ්වේ තරගාවලිය අහිමිව යන ලකුණු

සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2022

5013
Dhananjaya De Silva

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා පිය පදවිය ලබා ගැනීම නිසාවෙන්, එළඹෙන 16 වැනිදා ආරම්භ වීමට නියමිත සිම්බාබ්වේ තරගාවලිය සඳහා ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිත බව වාර්තා වනවා.

30 හැවිරිදි ධනංජය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත මේ පිළිබඳව දැනුවත් කර තිබෙන අතර ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවසරය ද ලැබී තිබෙන බව වාර්තා වෙනවා.

මීට අමතරව සිම්බාබ්වේ තරගාවලියට එරෙහිව තරග වදින ශ්‍රී ලංකා සංචිතය සඳහා නම් කිරීමට සිටි අවිශ්ක ප්‍රනාන්දු සහ ජනිත් ලියනගේ හට කොරෝනා වයිරසය ආසාදනය වී මේ වන විට නිරෝධායනයට යොමු කර තිබෙනවා. 

එසේම තවත් ක්‍රීඩකයින් කිහිපදෙනෙක් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වී තිබෙන නිසා කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, කමිඳු මෙන්ඩිස් සහ නුවන් ප්‍රදීප් සංචිතය සඳහා ඇතුළත් වීමට වැඩි ඉඩක් තිබෙන බව දැනගන්නට ලැබෙනවා.

සිම්බාබ්වේ තරගාවලිය සඳහා අපේක්ෂිත ශ්‍රී ලංකා සංචිතය,

දසුන් ශානක (නායක), දිනේෂ් චන්දිමාල්, පැතුම් නිස්සංක, චරිත් අසලංක, මිනෝද් භානුක, කුසල් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, කමිල් මිශාර, කමිඳු මෙන්ඩිස්, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, නුවන් ප්‍රදීප්, නුවන් තුෂාර, රමේෂ් මෙන්ඩිස්, ප්‍රවීන් ජයවික්‍රම, චාමික ගුණසේකර, දුෂ්මන්ත චමීර (ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇත), කලන පෙරේරා.

තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරග සංචාරය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති නමුත් එම ක්‍රීඩකයින් අද (10) සිට ජෛව ආරක්ෂිත බුබුලට ඇතුළත් වීමට නියමිතව සිටිනවා.

සිම්බාබ්වේ සමඟ පැවැත්වෙන එක්දින තරග තුනකින් සමන්විත තරගාවලිය 2020-2023 ලෝක කුසලාන සුපර් ලීගයේ (2020–2023 ICC Cricket World Cup Super League) කොටසක් වන අතර තරග සියල්ල දිවා/රාත්‍රි තරග ලෙස පැවැත්වීමට නියමිතයි.

එම තරගාවලිය අවසන් වූ වහාම ශ්‍රී ලංකාව විස්සයි විස්ස තරග 5කින් සමන්විත තරගාවලියක් සඳහා පෙබරවාරි මුල් සතියේ දී ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම තරගාවලිය පෙබරවාරි 11 සිට 20 දක්වා පැවැත්වෙනු ඇත.

ඉන්පසුව පෙබරවාරි මාසය අවසානයේ දී ලෝක ටෙස්ට් ශූරතාවලියට ඇතුළත් තරග දෙකක් සහ විස්සයි විස්ස තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාව ඉන්දියාව බලා යාමට ද සූදානමින් සිටිනවා.

සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ තරග කාලසටහන

  • පළමු එක්දින තරගය – ජනවාරි 16
  • දෙවැනි එක්දින තරගය – ජනවාරි 18
  • තෙවැනි එක්දින තරගය – ජනවාරි 21

තරග සියල්ලම මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. 

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<