කවිය කියන්නෙ හරිම පුදුම දෙයක්, හරිම රසවත් දෙයක්
ඒ අපූරු “කවියෙන්” අපි අද “කෙටි කතාවක්” රස විඳිමු.
සහයෙ ගෙන මුල ඉඳන් ආසිරි ලබා යාළුවොගෙත් හැම
දහයෙ පන්තියෙ මතකෙ හැටියට වින්දෙ මා නොයිඳුල් පෙම
නහයෙ ලපයකි, පිච්ච කැකුළකි ‘මංගලා’ කියලැයි නම
පහයෙ සත් බුමු බඳින්නට පෙර දෙදරුවා ලියලපු බැම
කම්කරු තනතුර ලැබුණා විබාගෙ ප්‍රතිඵල හැටියට
පෙම් කළ ඇය මඟ හැරුණා එච්චර කල් ළඟ හිටියට
අම්මල අකමැති පෙනුණා පුරුදුලු මම දුම් වැටියට
තුම් මසෙකින් පිට කෙරුණා නෑ ගෙදරක අම්පිටියට
උරුම නොමැති බව දැන දැන කිසිදා ඔය උණුසුම
කරුම ගෙවනවද මන්දා දිව රැයෙ තව වෙහෙසුම
අරුම කාරණය යටිසිත යළි එනු’තැයි පැවසුම
තුරු ම පැතුවෙ පන්සිල් අවසානෙත් ඔබෙ සැනසුම
ඈ නාවත් පෙර සේ ආයෙම නෙත් හමු වන්නට
පෑ හසරැල් ගානෙම හිත පහසින් සනසන්නට
රෑ සිහිනෙන් වාගෙම රස සැමරුම් අමුණන්නට
නෑ වෙනසක් දැනුණේ මඟ සොයමින් පියඹන්නට
හාමතේ කුස පිච්චුණත් නෑ ගින්දරක් කඳුළින් පියා
ආදරේ යළි උපන්ගේකට නොවිඳිමි’යි දිවුරන් ලියා
සායනේ පසුපස දොරෙන් කලබලෙන් ඇය පිවිසෙන නියා
මා ඇසූ කල ගොළු උනා “දරු ගැබට සති දහයයි” කියා
Image link: https://bit.ly/3qOrE5o