මරියාගෙන් ආනාට ලිපියක්!

Share

ඔබගේ සුවදුක් කෙසේ ද? මමත්, ජුසේත්, කුඩා ජේසුත් තවමත් සිටින්නේ බෙත්ලෙහෙමේ.

අම්මාට කියන්න නොහැකි වුණ ගොඩාක් දේවල් තිබෙනවා. ඒ දවස්වල මේවා කීවා නම් සමහර විට ඔබ මාව විශ්වාස නොකරාවි. එහෙත් මට සිතෙන්නේ දැන් නියමිත කාලය එළඹිලා කියා ය. අම්මා මා තේරුම් ගනීවි කියා මා සිතනවා.

අම්මා දන්නවා නේ ද? මං ජුසේට හැමදාමත් ගොඩාක් ආදරේ කළා. ගොඩාක් ගෞරව කළා. එහෙත් අම්මේ මීට අවුරුද්දකට පමණ කලින් හරි පුදුම දෙයක් සිද්ධ වුණේ.

අම්මාට මතක ඇති මම දෙවියන් වහන්සේට යාච්ඤා කරමින් සිටින විට ඔවුන්වහන්සේගේ දූතයෙක් මට දර්ශනය වෙලා පැවසුවා මා ගැබ්ගෙන කියා. ඒ වෙනකොටත් මම ජුසේ සමඟ විවාහ ගිවිසගෙනයි සිටියේ. මට ගොඩක් දේවල් සිහි වුණා. අම්මා, තාත්තා, ජුසේ, සියල්ලට ම වඩා පවුලේ නම්බුව… මම කෙසේ ද මිනිස්සුන්ට මුහුණ දෙන්නෙ කියා මට සිතුණා. එහෙත් මා ඒ සියල්ල පසෙකලා දේව කැමැත්තට අවනත වුණා.

අම්මේ, ඔබ මට කුඩා කාලයේ දී පටන් ඉගැන්වූයේ පිරිසිදු, නිර්මල ජීවිතයක් ගත කරන්න කියා යි. මා එය සෑමවිට ම අකුරට ම පිළිපැද්දා. මට තවමත් සිතෙන්නේ එදා මා ගත් තීරණය නිවැරදි යි කියා ය.

මා මගේ ඥාති සොහොයුරිය වන එලිසබෙත් බැහැදැකීමට ගිය බව ඔබ දන්නවා ඇති. මාස ගණනක් තිස්සේ මා අති දුෂ්කර ගමනක යෙදුණා. නමුත් ඒ ගමන් මහන්සිය, විඩාව සියල්ල එලිසබෙත් අක්කණ්ඩිය දුටු විට පහ ව ගියා. ඈ පැවසුවේ මමත් මගේ කුසේ සිටින දරුවාත් දෙවියන් වහන්සේගේ බහුල ආශිර්වාදයට නතු ව ඇති බව යි. ඇගේ වචන මට විශාල සවියක් වුණා. නමුත් මා නැවතත් පෙරළා ගමට පැමිණෙන විට මා සිතූ දෙය සිදු වී තිබුණා.

ඒ වන විටත් ගමේ ලැව්ගින්නක් සේ ආරංචිය පැතිර ගිහින්. මා පැමිණි බව දැනගත් ජුසේ මා හමුවට පැමිණියා. ඔහු මගේ මේරූ කුස දෙස මඳක් බලා සිටියා…

අවසානයේ දී ඔහු ඇසුවා, “මරියා, ඔබට දරුවෙක් ලැබෙන්නට සිටිනවා කියන්නේ ඇත්තක් ද?”

අපේ දෑස් එකිනෙක හමුවුණා… මා යන්තම් හිස වනා නිහඬව ම බිම බලා ගත්තා…

ජුසේ තවදුරටත් කිසිවක් පැවසුවේ නැහැ. මා ඔහුගේ අතින් අල්ලා ගත්තා.

“ජුසේ, මට මේවා ඔබට පැහැදිලි කරන්නේ කෙසේ ද කියා වැටහෙන්නේ නැහැ. එහෙත් මා සැමදා ඔබට ගෞරව කළා. ..”

මගේ දෑස්වල තිබූ වේදනාව ඔහුට වැටහෙන්නට ඇති. ඔහු කිසිවක් නොකියා යන්නට ගියා.

නමුත් මා පුදුමයට පත් කරමින් පසුදින උදෑසන ජුසේ නැවතත් පැමිණියා.

“මරියා… මා ගෙදර ගොස් බොහෝ වේලා කල්පනා කළා. මා කුමන අන්දමේ ප්‍රතිචාරයක් දැක්විය යුතු ද යන්න මට සිතා ගැනීමට නොහැකි වුණා. අවසානයේ දී ඔබව තවදුරටත් ලැජ්ජාවට නොපමුණුවා රහසින් අත්හැර දැමීමට මා තීරණය කළා. නමුත් මා නිදා සිටින විට සිහිනයක් දුටුවා. දේව දූතයෙක් දර්ශනය වී මට පැවසුවා ඔබ දෙවියන් වහන්සේගේ දරුවා දරා සිටින බවත්, ඔබව සරණ පාවා ගැනීමට බිය නොවන ලෙසත්. අපව ඔවුන් වහන්සේ රැකබලා ගන්නා ලෙසත් තවදුරටත් මට පැවසුවා…”

මට මගේ දෙසවන් අදහා ගැනීමට නොහැකි වුණා අම්මේ. මගේ දරුවාට ජේසු කියා නම තබන්න ලු. කවදා හෝ මගේ දරුවා මේ ලෝකයේ මිනිසුන්ව පාපයෙන් ගලවා ගනීවි ලු. බලන්න අම්මේ… දේව අම්මා වීමට මා කොතරම් වාසනාවන්ත ද?

අම්මේ, ඒ දිනවල හෙරෝද් රජු නියම කළා රටේ වැසියන්ගේ සංගණනයක් සිදු කරන ලෙසට. ඒ නිසා ජුසේ මාත් රැගෙන ඔහුගේ පරපුර වන දාවිත්ගේ නුවර වන ජුදයේ බෙත්ලෙහෙම බලා යන්න පිටත් වුණා. අපි දින ගණනාවක් කාන්තාරයේ දැඩි හිරු රශ්මිය හමුවේත් රාත්‍රියේ දැඩි ශීතල හමුවේත් සියල්ල විඳ දරාගෙන ඉදිරියට ගියා. ජුසේ මා දැඩි ප්‍රවේශමෙන් රැක බලා ගත්තා. ඇත්තට ම ඔහු ඉතා හොඳ, අවංක, ගුණවත් සත්පුරුෂයෙක්. මට මෙන් ම ඔහුටත් මේ තීරණය ගන්න බොහෝ අපහසු වෙන්න ඇති. මට මෙන් ම ඔහුටත් නොයෙකුත් අපවාද නගන්නට ඇති. එහෙත් ඔහු මා අත් හරින්නේ නැතිව මා සමඟ සිටිනවා අම්මේ. එය මට ලොකු සවියක් වුණා.

අපි බෙත්ලෙහෙමට ළඟා වන විට මට දරුවා ලැබෙන්නට ඉතා ආසන්නව යි සිටියේ. නමුත් කිසි ම තානායමක ඉඩ නොතිබූ නිසා අපි මහත් සේ අසරණ වුණා. කවුදෝ අපට පැවසුවා හරක් ගාල් කර තිබෙන මඬුවක අපිට නවාතැන් ගත හැකි බව. ඔබ මේවා ඇසූ විට කලබල වනු නොඅනුමානයි. එය දරු උපතක් සිදුවීමට තරම් සුදුසු ස්ථානයක් නොවූවත් මා සියල්ල දෙවියන් වහන්සේ ට බාර කළා. ඔවුන් වහන්සේ ව විශ්වාස කර නිහඬව ම බලා සිටියා.

කෙසේ හෝ කරදරයක් නැතිව දරුවා ලැබුණා අම්මේ. මට ඔබ නැති අඩුව තදින් දැනුණා. නමුත් ජුසේ ළඟ සිටි නිසා සියල්ල හොඳින් සිදු වුණා.

එදින රාත්‍රිය සඳ පායා නොතිබූ ඉතා සුන්දර රාත්‍රියක්. අහස තරු වලින් පිරී පැවතියා. අප සිටි ගවහලට උඩින් අහසේ වල්ගා තරුවක් පායා තිබුණා. එය දේව ආදරයේ සලකුණක් බව යි මට සිතුණේ.

පාන්දර යාමයේ කාන්තාරයේ බැටළුවන් බලා ගනිමින් සිටි එඬේරු කිහිප දෙනෙක් ළදරුවා බැලීමට පැමිණියා. ඔවුන් පැවසුවේ රෑ යාමයේ දේව දූතයෙකුගේ මග පෙන්වීම අනුව මෙසේ ආ බව යි.

අපි දින කිහිපයක් ගවමඬුවේ නවාතැන් ගෙන සිටියා. එක් දිනක් ජේත්තුවට ඇඳ පැළඳගත් පඬිවරු තිදෙනෙක් අප බැලීමට පැමිණියා. ඔවුන් ළදරු ජේසුට නමස්කාර කර ඔවුන් ගෙනා තෑගි පඬුරු අපට බාර දුන්නා. ඒවායේ තිබුණේ හරිම වටින ද්‍රව්‍ය වන රත්තරන්, ගන්ධරස හා තුවරලා. ඒවා රජවරුන් ට පූජා කරන ද්‍රව්‍ය ලු.

අම්මේ, ළදරු ජේසු හරිම හුරුබුහුටියි. මා මේ ලිපිය ලියන විටත් ඔහු දෑස් කරකවමින් මා දෙස බලා සිටිනවා. මේ දෙවියන් වහන්සේගේ දරුවා නිසා මොහුව හොදින් බලා ගැනීම මගේ යුතුකමක් සහ වගකීමක්.

ඔබ කරදර වෙන්න එපා අම්මේ. ඔබ දැන් මිත්තණියක් නිසා සතුටු වන්න. මා හැකි විගස ජුසේ හා කුඩා ජේසු සමඟ ඔබ බැලීමට පැමිණෙන්නම්. පියාණන්වත් ආදරයෙන් මතක් කළ බව පවසන්න.

මීට,

ආදර දියණිය,

මරියා.

 

Written by: Venuka Fernando

Image Courtesy: https://bit.ly/3e3n5ys

 
Tagged : /