බූස්ටරයෙන් පසු සිවුවැනි එන්නතක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 22, 2021

බූස්ටරයෙන් පසු සිවුවැනි එන්නතක්

'කොවිඩ් 19' වසංගතයෙන් ආරක්ෂා වීමට, බූස්ටර් එන්නතට අමතරව, ඊට පසු සිවුවැනි එන්නත් මාත්‍රාවක් ලබාදීමට ඊශ්‍රායලය තීරණය කර තිබේ. 

ඊශ්‍රායල සෞඛ්‍ය අංශ, මෙම සිවුවැනි එන්නත නිර්දේශ කර ඇත්තේ එරට අවුරුදු 60 වැඩි බෝ නොවන රෝගාබාධ ඇති වැඩිහිටියන්ට සහ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩල සාමාජිකයන්ටය. 

සෞඛ්‍ය බලධාරීන් සිවුවැනි එන්නත නිර්දේශ කළ බව ඊශ්‍රායල ජනතාවට දැනුම් දුන්නේ අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට්ය. ඒ ට්විටර් පණිවුඩයක් ඔස්සේය. 

'සෞඛ්‍ය අංශ නිර්දේශ සැලකිල්ලට ගනිමින් සිවුවැනි මාත්‍රාවක් ලබා දීමට මා නියෝගයක් ලබා දෙනවා. ඒ අනුව සිවුවැනි මාත්‍රාව පළමුවෙන් ලබා දෙන පළමු රට වන්නේ ඊශ්‍රායලයයි. මට විශ්වාසයි, ඉදිරියේදී අනෙක් රටවල් අප අනුමනය කරාවි.' යැයි අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට්ගේ ට්විටර් පණිවුඩයේ සඳහන් වී තිබේ. 

ඊශ්‍රායල වැසියන්ට වැඩි වශයෙන් ලැබී ඇත්තේ 'ෆයිසර්' එන්නතය. 

පළමු සහ දෙවැනි මාත්‍රා ලබා දීමෙන් පසු ඊශ්‍රායලයේ යළි 'කොවිඩ් 19' හිස එසවූ බැවින්, 'ෆයිසර්' සමාගමේ නිර්දේශ අනුව, ඊශ්‍රායල සෞඛ්‍ය අංශ තෙවැනි බූස්ටර් එන්නතක් ලබා දීමට උනන්දු වූයේ පසුගිය අගෝස්තුවේය. එම අවස්ථාවේදී, ලොව පළමු වරට බූස්ටර් එන්නත් දීම ආරම්භ කළේ ද ඊශ්‍රායලයයි. 

ඒ වනවිට ඊශ්‍රායලයේ 'කොවිඩ් 19' ආසාදිතයන් යළි වැඩි වීමට පටන්ගෙන තිබුණේ 'ඩෙල්ටා' විකෘතිය හේතුවෙනි. ඊශ්‍රායලය 'බූස්ටර්' එන්නත් දීම ආරම්භ කිරීමෙන් පසු සෙසු රටවල් ද එය අනුගමනය කළේය. 

දැන් සිවුවැනි මාත්‍රාවක් ලෙස තවත් 'ෆයිසර්' එන්නතක් අවුරුදු 60 ට වැඩි බෝ නොවන රෝගවලින් පෙළෙන වැඩිහිටියන්ට ලබා දීමට ඊශ්‍රායල සෞඛ්‍ය අංශ තීරණය කර ඇත්තේ 'ඔමික්‍රෝන්' විකෘතිය සැලකිල්ලට ගනිමිනි. ඊශ්‍රායල සමාජයෙන් ද මේ වනවිට 'ඔමික්‍රෝන්' ආසාදිතයන් වාර්තාවීමට පටන්ගෙන ඇත. 

ඊශ්‍රායලය සිවුවැනි එන්නත් මාත්‍රාවක් ලබා දීමට සූදානම් වෙද්දී, තවමත් එක් එන්නතක් හෝ ලබා නොගත් බොහෝ දෙනකු ලොව රටවල් රැසක සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් පෙන්වා දෙයි. මේ වනවිට, යුරෝපා රටවලින් සහ ඇමෙරිකාවෙන් ද යළිත් 'කොවිඩ් 19' ආසාදිතයන් දරුණු ලෙස වාර්තා වීමට පටන්ගෙන ඇත. 

ඊයේ (21) ඇමෙරිකාවෙන් පළමු 'ඔමික්‍රෝන්' මරණය ද වාර්තා විය. ඇමෙරිකන් වසංගත රෝග පාලන ඒකකය නිවේදනය කළේ මියගිය එම තැනැත්තා කිසිදු එන්නතක් ලබා ගෙන නැති බවය. 

තවමත් ලොව වැඩිම 'කොවිඩ් 19' ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. ඇමෙරිකාවේ වේගවත් එන්නත්කරණයක් සිදුවෙයි. එසේ වුවත් එන්නත් ලබා ගැනීමට අදිමදි කරන පිරිසක් ද වෙති. 

මේ අතර, හදිසි භාවිතයට සුදුසු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි 'නොවවැක්ස්' 'කොවිඩ් 19' එන්නතට ඇමෙරිකන් ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය ලැබී තිබේ. 'නොවවැක්ස්' එන්නත නිපදවන්නේ ඇමෙරිකාවේ 'නොවවැක්ස්' සමාගම, ඉන්දියාවේ 'සේරම්' ආයතනය සමඟ හවුලේය.

෴ උපුටා ගැනීම - REUTERS

Classified_Ad

Classified_Ad_News_Bottom