ප්‍රියන්ත කුමාර වෙනුවෙන් අරමුදලක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 7, 2021

ප්‍රියන්ත කුමාර වෙනුවෙන් අරමුදලක්

පාකිස්තානයේ දී අමානුෂික ලෙස පහර දී ඝාතනය කළ ප්‍රියන්ත කුමාර දියවඩන මහතා වෙනුවෙන් අරමුදලක් පිහිටුවීමට සියල්කොට් නගරයේ ව්‍යාපාරික ප්‍රජාව කටයුතු කර ඇතැයි පාකිස්තාන පුවත් සේවා වාර්තා කරයි. මේ වනවිටත්, ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් එම අරමුදල සඳහා එකතු වී ඇතැයි ද පැවැසෙයි.

මේ අතර පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පවසා ඇත්තේ ප්‍රියන්ත කුමාර මහතා ලැබූ මාසික වැටුප ඔහුගේ පවුලේ උදවිය සඳහා නොනවත්වා ලබාදීමට ප්‍රියන්ත කුමාර මහතා රැකියාව කළ කර්මාන්ත ශාලාවේ පරිපාලකයන් තීරණය කර ඇති බවය.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ එම මිලේච්ඡ ක්‍රියාවට සම්බන්ධ සැකකරුවන්ට කිසිදු බුරුලක් ලබා නොදෙන බවය. තමන් අග්‍රාමාත්‍ය ධුරය හොබවන තාක්කල් මෙවැනි අමානුෂික ක්‍රියා මින් ඉදිරියට සිදු නොවීමට වග බලා ගන්නා බව ද අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ. 

පාකිස්තානයේ සියල්කෝට් නුවරදී ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ගණේමුල්ල 223 කඩපත පාරේ පොල්හේන සුසාන හෙට (8) පස්වරුවේ සිදු කිරීමට නියමිතය.

පාකිස්තානයේ සියල්කොට්හි රාජ්කෝ ඉන්ඩස්ට්‍රීස් කර්මාන්ත ශාලාවේ සාමාන්‍යාධිකාරීවරයකු ලෙස සේවය කළ ප්‍රියන්ත කුමාර දියවඩන මහතා පහර දී ඝාතනය කර, පුළුස්සා මරා දැමීම සිදුවූයේ පසුගිය සිකුරාදා (3) ය. එය ඉතාමත් අමානුෂික, ම්ලේච්ඡ ඝාතනයක් බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා එම සිද්ධිය සැල වීමෙන් පසු සොව පළ කරමින් පවසා තිබේ. 

එම අවාසනාවන්ත සිද්ධිය, පාකිස්තානයට කළු පැල්ලමක් වූ බව රහසක් නොවෙයි. එම සිද්ධියට අදාළව මේ වනවිට පුද්ගලයන් 250 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි සියල්කොට් පොලිසිය උපුටා දක්වමින් පාකිස්තානයේ Dawn පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබේ. 

ආගමට අපහාස කළ බවටත් දෙවියන්ට අපහාස කළ බවටත් චෝදනා නගමින්, කර්මාන්තශාලාවේ සේවකයෝ ඇතුළුව සිය ගණනක් දියවඩන මහතාට ද මිලේච්ඡ ලෙස මියයනතුරු පහර දුන්හ. සියල්කොට් පොලිසිය අත්අඩංගුවට පත් පිරිස අතරට මෙම සිදුවීම් පෙළ විඩියෝ කළ පුද්ගලයන් ද ඇතුළත් වෙයි. සියල්කොට් යනු පාකිස්තානයේ පන්ජාබ් පළාතේ දිස්ත්‍රික්කයකි. 

අත්අඩංගුවට ගත් මොහොමඩ් තල්හා, සහ ෆර්හාන් ඉද්‍රීස් යන ප්‍රධාන සැකකරුවන් ඇතුළු පිරිස අනාවරණය නොකළ ස්ථානයකට රැගෙන ගොස් ඇති බවත් පැවැසෙයි. රාජ්කෝ ඉන්ඩස්ට්‍රීස් කර්මාන්තශාලාව සෙනසුරාදා වසා දමා තිබූ අතර, එහි සේවකයන් අත්අඩංගුවට ගැනීමෙන් බේරීම සඳහා පලායමින් සිටින බව ද Dawn පුවත් පත වැඩි දුරටත් වාර්තා කර තිබේ. 

ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සියල්කොට් හි අලාමා ඉක්බාල් ශික්ෂණ රෝහලේ දී පැවැත්වුණු අතර ඔහුගේ සිරුර සියයට 90 කට වඩා පිළිස්සී තිබුණු බවත්, ඔහුට කළ පහරදීම් හේතුවෙන් සිරුරේ අස්ථි කිහිපයක් බිඳී තිබුණු බවත් තහවුරු විය.

ප්‍රියන්ත කුමාර දියවඩන මහතාට පහර දී ඝාතනය කර, සිරුර පුළුස්සා දැමීම කළ බවට චෝදාන එල්ල වී ඇත්තේ 'තරීක් ඊ ලබ්බයික් පාකිස්තාන්' Tehreek-e-Labbaik Pakistan නමැති දේශපාලන කණ්ඩායමටය. Tehreek-e-Labbaik Pakistan යන්නෙහි සරල අදහස 'මම පාකිස්තානුවෙක්' යන්නයි.

Tehreek-e-Labbaik Pakistan දේශපාලන පක්ෂයක් වන අතර පාකිස්තාන දේශපාලනයට පමණක් නොව සිවිල් සමාජයට බලපෑමක් කළ හැකි ප්‍රබල අන්ත දක්ෂිණාංශික කණ්ඩායමක් ද වෙයි. ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනයට තමන් සම්බන්ධ නැතැයි Tehreek-e-Labbaik Pakistan පක්ෂය පවසයි. කෙසේ නමුත් ඇඟිල්ල දිගු වී ඇත්තේ ඔවුන්ට මිසක් වෙන කිසිවකුටත් නොවෙයි. 

මෙම පක්ෂය පිහිටුවීම සිදුවූයේ 2015 දීය. ඒ, ආගමික නායකයකු මෙන්ම ගත් කතුවරයකු ද වන කදිම් හුසේන් රිස්විගේ මැදිහත්වීමෙනි. 2018 මහ මැතිවරණයට ඉදිරිපත් වුණු පස්වැනි දේශපාලන බලවේගය වුයේ මෙම පක්ෂයයි. මහ මැතිවරණයේ දී කිසිදු ආසනයක් දිනා ගැනීමට සමත් වූයේ නැත. 

කෙසේ නමුත් පන්ජාබ් ප්‍රාන්ත මැතිවරණයෙන් ආසාන 3 ක් දිනා ගත්තේය.‍ ඉස්ලාම් දහමට අපහාස වන අයුරින් කටයුතු කරන පුද්ගලයන්ට තරා තිරම නොබලා උපරිම දඩුවම් ලබා දිය යුතුයි යන්න මොවුන්ගේ ආකල්පයයි. ආගමට අපහාස කළේ යැයි චෝදනා ලැබූ දෙස් විදෙස් බොහෝ දෙනකු Tehreek-e-Labbaik Pakistan සාමාජිකයන්ගේ 'වියරුව' ට හසුවි ඇත.

Tehreek-e-Labbaik Pakistan සාමාජිකයන් ඉස්ලාමීය මූලධර්මවාදීන්ය. ප්‍රියන්ත කුමාර මහතාගේ සිදුවීම සම්බන්ධයෙන් පාකිස්තාන මුස්ලිම් වැසියන් කනගාටුව පළ කරමින් දිගින් දිගටම පවසා ඇත්තේ එය ඔවුන්ගේ ඉස්ලාම් දහම නොවන බවය.  එමෙන්ම, ප්‍රියන්ත කුමාර දියවඩන මහතා පහර දී ඝාතනය කිරීම ශ්‍රී ලංකාවට එරෙහිව කළ ක්‍රියාවක් නොවන බව ද පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රිකයෝ දිගින් දිගටම පෙන්වා දෙති.

ප්‍රියන්ත කුමාර දියවඩන මහතා වෙත ශෝකය පළ කිරීමේ අවස්ථාවක් පාකිස්ථාන අග්‍රාමාත්‍ය නිල නිවසේ දී අද (7) පස්වරුවේ සංවිධානය කර තිබුණි. අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ මුලිකත්වයෙන් එය සංවිධානය කර තිබූ අතර ඊට එරට අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
ප්‍රියන්ත දියවඩන මහතාට පහරදීම සිදුකරන අවස්ථාවේ ඔහු ආරක්ෂා කිරීමට උත්සහ කළ එකම පුද්ගලයා වූ ‘මලික් අද්නාන්‘ඇගයීමට ලක් කරමින් සම්මාන පිරිනැමීමද මෙහිදී සිදු කෙරුණි. ප්‍රියන්ත කුමාර මහතා ඝාතන සිද්ධිය සමස්ත රටම කම්පනයට පත් කළ සිදුවීමක් බව පාකිස්තානයේ ප්‍රමුඛ පෙළේ ආගමික විද්වතුන් පවසා ඇත. 

පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා හමුවී අදාළ සිදුවීම පිළිබඳ සිය සංවේගය පළ කර ඇති ඔවුන් පෙන්වාදී ඇත්තේ එම අමානුෂික සිද්ධියට සම්බන්ධ සියලු පුද්ගලයින් නීතිය හමුවට පැමිණවීමට පියවර ගන්නා බවය. සිද්ධිය හෙළා දකිමින් මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති පාකිස්තාන උලෙමා සංවිධානය, එම අමානුෂික ඝාතනය සම්පූර්ණයෙන්ම ඉස්ලාමීය ඉගැන්වීම්වලට පටහැනි බවත් ඝාතනයට සම්බන්ධ සියලු පුද්ගලයන්ට උපරිම දඩුවම් ලබාදිය යුතු බවත් සඳහන් කර තිබේ. ආගමික නායකයන් විසින් ලබන 10 වන සිකුරාදා දිනය මෙම ම්ලේච්ඡ ඝාතනය හෙළා දැකීමේ දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව ද  මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

෴ උපුටා ගැනීම - Dawn

Classified_Ad

Classified_Ad_News_Bottom