පාසල් රග්බි පිටිය යළිත් ආරම්භ වෙයි

949

ශ්‍රී ලංකා පාසල් රග්බි පිටියට නැවතත් ජීවය එක්කරමින් ‘පළාත් පාසල් සත් සාමාජික රග්බි තරගාවලිය’ දෙසැම්බර් 18 වැනිදායින් ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනය (SLSRFA) විසින් සංවිධානය කරන මෙම තරගාවලිය පැවැත්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය මේ වන විට හිමිව තිබෙනවා.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ දකුණු පළාතේ පාසල් 50ක සහභාගීත්වයෙන් සංවිධානය කෙරෙන මෙම තරගාවලිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලුම මාර්ගෝපදේශයන්ට යටත්ව පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. තරගාවලියේ සියලුම තරග ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව පැවැත්වීමට නියමිතයි.

SLSRFA හි ලේකම් නිරෝධ විජේරාම මහතා ThePapare.com වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනය ඉමහත් සතුටට පත්වෙනවා තරගාවලියට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය හිමි වීම සම්බන්ධයෙන්, දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගත වෙමින් මෙම තරගාවලිය පැවැත්වීමට අප කටයුතු කරන අතර මෙම තරගාවලිය නව තත්වයන් යටතේ (new norm) ඉදිරියේ දී පැවැත්වීමට නියමිත තරගාවලි සඳහා ආදර්ශ තරගාවලියක් ලෙස සැලකීමට ද අප කටයුතු කරනවා.

තරගාවලියේ ආරම්භය සටහන් කරමින් බස්නාහිර පළාතින් කණ්ඩායම් 22ක් දෙසැම්බර් 18 සහ 19 දිනවල දී කොළඹ රාජකීය ක්‍රීඩා සංකීර්ණයේ දී තරග වැදීමට නියමිතයි.

තරගාවලිය සඳහා මධ්‍යම පළාතින් කණ්ඩායම් 8ක් සහභාගී වීමට නියමිත අතර වයඹින් කණ්ඩායම් 7ක්, සබරගමුවෙන් කණ්ඩායම් 5ක් සහ දකුණින් කණ්ඩායම් 7ක් ද තරගාවලියට සහභාගී වීමට නියමිතයි.

පාසල් පළාත් සත් සාමාජික රග්බි තරගාවලියේ කාලසටහන

බස්නාහිර පළාත දෙසැම්බර් 18 සහ 19 රාජකීය ක්‍රීඩා සංකීර්ණය, කොළඹ 07
මධ්‍යම පළාත දෙසැම්බර් 27 ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණය, පල්ලෙකැලේ
වයඹ පළාත දෙසැම්බර් 28 කුරුණෑගල මලියදේව විදුහල් ක්‍රීඩාංගණය
සබරගමුව පළාත දෙසැම්බර් 30 රුවන්වැල්ල පොදු ක්‍රීඩාංගණය
දකුණු පළාත දෙසැම්බර් 31 කොග්ගල නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගණය

තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<