HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

නවසීලන්තයෙන් වසර 800ක් පැරණි යෝධ රාජාලියෙක් හමුවේ!

මීට අවුරුදු 800කට විතර ඉස්සර නවසීලන්ත අහසේ සැරසැරූ, පියාපත් විදාහළ විට අඩි 10ක් තරම් වූ, යෝධ රාජාලියකුගේ තොරතුරු නවතම අධ්‍යයනයකින්හෙළි වෙනවා. යෝධ ගිජුලිහිණියකු යැයි සැක කරනු ලැබූ මේ යෝධ කුරුල්ලා දැවැන්ත පියාපත් ඇති විශාල රාජාලියකු බව දැන් තහවුරු කර ගෙන තියෙනවා. 

මීට අවුරුදු 800කට විතර ඉස්සර නවසීලන්ත අහසේ සැරිසැරූ හාස්ට්ගේ රාජාලියා 
පියාපත් විදාහළ විට මීටර් 3ක් (අඩි 10ක්) පමණ වෙනවා.

1872 දී ජුලියස් වොන් හාස්ට් (Julius von Haast) තමයි, මුලින් ම මේ යෝධ රාජාලියා ගැන තොරතුරු හෙළිදරවු කළේ. ඒ නිසයි, ඌට හාස්ට්ගේ රාජාලියා (Haast's Eagle) කියා නම් තබා ඇත්තේ. පියාපත් විදාහළ විට මීටර් 3ක් (අඩි 10ක්) පමණ වන උගේ නිය පසුරු සෙන්ටිමීටර් 9ක් (අඟල් 4ක්) පමණ වූ බව කියැවෙනවා. එදා හාස්ට් කර තිබූ විස්තරය අනුව ඌ සත්‍ය වශයෙන් ම රාජාලියකු බඳු විලෝපික කුරුල්ලෙක් ‍‍‍ද නැත්නම් ගිජුලිහිණියකු බඳු කසළ භක්ෂක කුරුල්ලෙක් ‍‍‍ද යන්න ගැන විද්‍යාඥයන් අතර වසර ගණනාවක් තිස්සේ විවාදයක් පැවතුණා. දැන් විද්‍යාඥයන් උගේ හිස් කබල හා නිය පසුරු, දැනට ලෝකයේ ජීවත්ව සිටින එවැනි කුරුල්ලන් පස් දෙනෙකුගේ ලක්ෂණ හා සසඳා බලා නිගමනය කොට තියෙනවා, ඌ ගිජුලිහිණියකු සේ බුදින යෝධ රාජාලියකුගේ බව. 

මේ යෝධ කුරුල්ලා දඩයම් කළ විගස, ගොදුරු කර ගන්නා සතාගේ සිරුර තුළට උගේ හිස රිංගවා එහි අභ්‍යන්තරයෙහි ඇති මෙළෙක් කොටස් මුලින් කා දමන බව කැන්ටබරි කෞතුකාගාරයේ විශේෂඥයන් විසින් හෙළිකර ගෙන තියෙනවා. 

නවසීලන්තයේ ලෙන් චිත්‍රයක දක්නට ලැබෙන හාස්ට්ගේ රාජාලියකුගේ චිත්‍රයක්.

ඒ අධ්‍යයනයට එක්වුණු එක් පර්යේෂකයකු වූ ආචාර්ය පෝල් ස්කෝෆීල්ඩ් (Paul Scofield) මෙහෙම කියනවා. ‘මේ හාස්ට්ගේ රාජාලියා දඩයම් කරන ආකාරය ගැන විමසද්දී අපට පෙනී ගියා, ඌ ‍ උගේ යෝධ නිය පසුරු විහිදාගෙන මෝවා (moa) කුරුල්ලකු වෙත අහසින් පහත් වී ඌ අල්ලා ගෙන උගේ ශක්තිමත් හොටෙන් මාරක ප්‍රහාරය එල්ල කරන්නට ඇති බව.’ ඔවුන් එසේ නිගමනය කළේ දැනට ජීවත්වන මේ කුරුල්ලාට සමාන කුරුල්ලන්ගේ හැසිරීම් රටා නිරීක්ෂණය කිරීමෙන් පසුව බවයි. 

මෝවා කියන්නේ නවසීලන්තයේ තවමත් ඉන්නා, ඉගිල්ලෙන්නට බැරි, ලොකු සිරුරක් ඇති කුරුලු විශේෂයකටයි. ‘අහසින් පහත් වෙන ගමන්ම එක පහරින් ම මෝවා මරා දමන හාස්ට්ගේ රාජාලියා, කෙළින් ම ළංවෙන්නේ උගේ හිස පසුපසට හා උදරය දෙසටයි. මොළය, බඩවැල් ඇතුළු මෘදු සිරුරු කොටස් කා දැමීමයි, මුලින් ම කරන්නේ.’ ආචාර්ය පෝල් ස්කෝෆීල්ඩ් කියනවා. 

මුලින් ම මේ හාස්ට්ගේ රාජාලියා ගැන, 1872 දී ජුලියස් වොන් හාස්ට් කළ විස්තරයට අනුව, අවුරුදු 800කට පෙර විසූ මේ යෝධ කුරුල්ලා ගැන විද්‍යාඥයන් අතර පසුගිය වසර 150 තිස්සේ ම වාද විවාද පැවතුණා. ඇතැම් විද්‍යාඥයන් කීවේ ඌ ආහාරය සඳහා සතුන් දඩයම් කළ විලෝපිකයකු බවයි. ඒත් සමහරුන් කීවේ ඌ මියගිය සතුන්ගේ මළකුණු මත යැපුණු ගිජුලිහිණියන් වැනි කසළ භක්ෂකයකු විය හැකි යැයි කියායි. 

මේ අධ්‍යයනයේ දී පර්යේෂක කණ්ඩායම, හාස්ට්ගේ රාජාලියාගේ හිස් කබල, හොට, නිය පසුරු පරීක්ෂාවට ලක් කළා. ඒ වගේ ඌට සමාන දැනට ජීවත්වෙන රාජාලියන් හා ගිජුලිහිණි විශේෂ පහක් සමග මේ කරුණු සංසන්දනය කළා. සිනේරස් ගිජුලිහිණියාත්, ඇන්ඩියන් කොන්ඩෝර් ගිජුලිහිණියාත් ඊට අයත් වුණා. 

උගේ ප්‍රමාණය මිනිසකු හා සැසඳුවොත් මෙහෙමයි.

ඔවුන්ගේ විශ්ලේෂණයට අනුව හාස්ට්ගේ රාජාලියාගේ හොට සහ නිය පසුරු බොහෝ සේ සමාන වූයේ රාජාලියන්ටයි. කෙසේ වෙතත්, මොළය පිහිටා ඇති හිස් කබල තුළ, ස්නායු කපාලයේ හැඩය අනුව ඌ වඩාත් සමාන වූයේ ඇන්ඩියන් කොන්ඩෝර් ගිජුලිහිණියාටයි. ඒ කුරුල්ලා දකුණු ඇමරිකා මහාද්වීපයේ දී හමුවන ගිජුලිහිණි විශේෂයක්. ඒ ගිජුලිහිණියාත් ගොදුරු කර ගන්නා සතුන්ගේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් ආහාරයට ගැනීම ගැන ප්‍රසිද්ධයි. 

මේ ස්නායු කපාලයේ හැඩයෙහි ඇති සමානකම් නිසා තමයි, පර්යේෂකයන් කියන්නේ, හාස්ට්ගේ රාජාලියාටත් ගිජුලිහිණියන්ගේ පුරුදු තිබෙන්නට ඇතැයි කියා. ඒ වගේ ම කොන්ඩෝර් ගිජුලිහිණියාට වාගේ ම මේ කුරුල්ලාටත් තට්ට හිසක් හා ලොම් රහිත ගෙළක් තියෙනවා. ‘බොහෝ රාජාලියන් දඩයම් කරන්නේ තමන්ට වඩා ප්‍රමාණයෙන් කුඩා සිරුරු ඇති සතුන් තමයි. ඒත් හාස්ට්ගේ රාජාලියා බොහෝ විට තෝරා ගත්තේ තමන්ට වඩා ප්‍රමාණයෙන් දහතුන් ගුණයක් තරම් විශාල, එනම් කි.ග්රෑම් 200ක් තරම් බර, සතුන්වයි. කොන්ඩෝර් කුරුල්ලනුත් බොහෝ විට දඩයම් කරන්නේ තමන්ට වඩා ලොකු සිරුරු ඇති සතුන් තමයි. ඒ නිසා තමයි, මේ රාජාලියන්ටත් ගිජුලිහිණියන්‍ගේ පුරුදු තිබුණා යැයි කියන්නේ. 

දකුණු කැන්ටබරි ප්‍රදේශයේ ලෙන් චිත්‍රයක හාස්ට්ගේ රාජාලියකුගේ රූපයක් හමුවී තියෙනවා. තට්ට හිසක් ඇතිව ඇඳ ඇති ඒ චිත්‍රය නවසීලන්තයේ ආදීමයන් ලෙස සැලකෙන මවුරිවරුන් විසින් කරන ලද්දක් ලෙසයි, සැලකෙන්නේ. 

- පර්සි ජයමාන්න 


Post a Comment

1 Comments

  1. සැමදා වාගේම නොදන්නා දෙයක් කරපින්නාගෙන!

    ReplyDelete