මිකී ගැන නොකී කතා!

4708

ඒ දකුණු අප්‍රිකානුවන්ට ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය තහනම් කාලය. ඒ අවාසනාවන්ත කාලේ දකුණු අප්‍රිකාවේ ඉපදිච්ච එක්තරා දරුවෙකුගේ ජීවිතයම වුනේ ක්‍රිකට්.

දවසක් මේ දරුවගෙන් කෙනෙක් අහනවා ලොකු වුනාම කවුරු වෙන්න ද කැමති කියලා. ආයේ කිසිම පැකිළීමක් නැතුව ඒ දරුවා මෙහෙම උත්තරයක් දෙනවා.

“මට ඕන වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න.”

මේ කාලේ වෙද්දී දකුණු අප්‍රිකානුවන්ට නැවත ජාත්‍යන්තර පිටිය එන්න පුළුවන් වෙයි ද කියලවත් හිතා ගන්න බැරි අවිනිශ්චිත කාලයක්. හැබැයි අර පොඩි කොලුවාට ලොකු වෙලා ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න ඕන. ඒ මදිවට රස්සාව විදියටයි ක්‍රිකට් ගහන්න.

මේ දරුවාට නිතරම වගේ Wisden, The Cricketer වගේ සඟරා කියවන්න ලැබෙනවා. ඔහු පිටුවෙන් පිටුව, අකුරෙන් අකුර මේ පත්තර, සඟරාවල ලියවිච්ච ක්‍රිකට් විස්තර ගැන කියවන්නේ මාර ආසාවකින්. ඒ විතරක් යැයි ඒ පත්තරවල තියන වෙළඳ දැන්වීම් පවා මේ කොලුවා කියෝනවා. එයාට මේවා ඔක්කොම කටපාඩම්.

ජාත්‍යන්තර ක්‍රිකට් නොපෙනෙන මානයක තිබුනත් එයාගේ යටි හිත කියන්නෙම ඔව් උඹට කවදාහරි ක්‍රිකට්වලට සම්බන්ධ මොකක් නමුත් රස්සාවක් කරන්න ලැබේවි කියල.

මේ දරුවා කියන විදියට ක්‍රිකට් කියන්නේ එයාගේ ලේ වලටම කාවැදිච්ච එකක්.

“ක්‍රිකට් කියන්නේ මගේ ලේ වලම තියන දෙයක්. අපේ තාත්තා ඒ කාලේ ක්‍රිකට් කණ්ඩායමක් බලා කියා ගත්තා. ඉස්කෝලේ යන්න පිටත් වෙන්න කලින් අනිවාර්යයෙන්ම මට බෝල කිහිපයකට බැට් කරන වෙනවා. ඒ වගේම දවසේ ඕනැම වෙලාවක තාත්තා මට බෝල් කරන්න සූදානමින් හිටියේ.

තාත්තා වැඩේට පොඩි විවේකයක් දෙන්නේ එයාගේ උරහිස රිදෙන්න ගත්තට පස්සේ. තාත්තාට මහන්සි වෙන කොට පවුලේ අනිත් උදවිය වැඩේට ලෑස්ති වෙලා ඉන්නේ.

බැරී රිචර්ඩ්ස්, මයික් ප්‍රොක්ටර් වගේ අය තමයි මගේ ලෝකේ ක්‍රිකට් වීරයෝ.”

1968 වසරේ මැයි 17 වැනිදා දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් නුවර, ග්‍රීකුවාලන්ඩ්හි උපත ලද ජෝන් මයිකල් ආතර් එහෙම නැත්නම් අපි කවුරුත් දන්න මිකී ආතර් එයාගේ පොඩි කලේ ගැන කියන්නේ එහෙම.

මිකීගේ ක්‍රිකට් පටන් ගන්නේ ප්‍රාථමික පාසලෙන්. හැබැයි මීකී කියන විදියට එයා ගියපු පාසල ක්‍රිකට් සම්බන්ධයෙන් එතරම් ප්‍රසිද්ධ එකක් නෙවෙයි. ඒ නිසා නටාල් පාසල් ක්‍රිකට් කණ්ඩායමට එකතු වෙන්න මිකීට අවස්ථාව ලැබෙන්නේ නෑ.

පාසල් අධ්‍යාපනය නිමා කරලා හමුදා පුහුණුවට එක් වෙන මිකීට තිබිච්ච එකම ඉලක්කය ක්‍රිකට් ක්‍රීඩාවෙන් වැඩ පෙන්නලා නමක් හදාගන්න එක. හමුදා පුහුණුව අතරේ ඊට අදාළ මූලික දේවල් ටික කළත් වැඩිපුරම මිකීට සිද්ධ වුනේ ක්‍රිකට් ගහන්න.

මේ කාලේ දකුණු අප්‍රිකාවට ක්‍රිකට් ගහන්න ජාත්‍යන්තර කණ්ඩායම් සංචාරය නොකරපු නිසා විවිධ රටවලින් අනවසරයෙන් කණ්ඩායම් දකුණු අප්‍රිකාවට ගෙන්න ගන්න එරට බලධාරීන් කටයුතු කළා. ඒ ඔක්කොම කළේ දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවය රැක ගන්න.

එහෙම කිම් හියුස්ගේ නායකත්වයෙන් දකුණු අප්‍රිකාවට ආපු ඕස්ට්‍රේලියානු කණ්ඩායමකට එරෙහිව මිකී පළමුපෙළ තරග වරම් දිනා ගන්නවා. ඒ තරගයේ දී ලකුණු 52ක් රැස් කරගන්න මිකී සමත් වෙනවා.

1990 අවුරුද්දේ මිකී, ග්‍රීකුවාලන්ඩ් ඉඳලා ඔරේන්ජ් ෆ්‍රී ස්ටේට් ප්‍රාන්තයට ක්‍රිකට් ගහන්න එනවා. මිකී කියන විදියට ඒක ඔහුට ආශීර්වාදයක් වෙච්ච තීරණයක්.

“1990 කාලේ ඔරේන්ජ් ෆ්‍රී ස්ටේට් කියන්නේ දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩාවේ ලොකුවට නම කියවෙච්ච ප්‍රාන්තයක් නෙවෙයි. ඔවුන් A කාණ්ඩයට උසස් වීමක් ලැබුවෙත් මා ගියපු අලුත. හැබැයි ඔවුන්ට ඉතාම දක්ෂ තරුණ කණ්ඩායමක් හිටියා.”

හැන්සි ක්‍රෝන්යේ, ඇලන් ඩොනල්ඩ්, ඔමාර් හෙන්රි ක්‍රීඩකයින් ඒ වෙද්දී ඔරේන්ජ් ෆ්‍රී ස්ටේට් කණ්ඩායම නියෝජනය කළා.

මිකීගේ ක්‍රිකට් ජීවිතයේ වැදගත්ම සිදුවීමක් වෙන්නේ එයා ඔරේන්ජ් ෆ්‍රී ස්ටේට් කණ්ඩායමට ගියපු මුල් අවුරුද්දේ. හිටපු දකුණු අප්‍රිකානු සුපිරි ක්‍රීඩකයෙක් වෙච්ච එඩී බාලෝ ඔරේන්ජ් ෆ්‍රී ස්ටේට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වෙලා එනවා.

මිකීගේ ක්‍රිකට් පුහුණුකරුවෙක් විදියට පස්සේ කාලෙක ආරම්භ වෙච්ච ජීවිතයට පදනම වැටෙන්නේ එඩී බාලෝගේ මාර්ගෝපදේශනය හරහා.

1998 වසරේ දී මිකී බටහිර ග්‍රිකුවාලන්ඩ් බටහිර කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීම ආරම්භ කරනවා.

2003 වසර වන තෙක්ම එම කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් කටයුතු කරන්නේ මිකී. බටහිර ග්‍රිකුවාලන්ඩ් කණ්ඩායම සමග සිටි අවුරුදු පහක කාලය ඇතුළත එම කණ්ඩායම ඉතාම හොඳින් දස්කම් දක්වන්න පටන් ගන්නවා.

2005 වසරේ රේ ජෙනින්ස් ගෙන් හිස් වූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරීත්වයට බලධාරීන් තෝරා ගන්නේ මිකී ආතර්. ඒක කට්ටිය පුදුම කරවපු තීරණයක් වුනා.

2005 අවුරුද්දේ ඉඳලා 2010 වෙනකල් මිකී දකුණු අප්‍රිකානු කණ්ඩායම එක්ක හිටියා. ඒ කාලේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉහළට අරන් එන්න මිකී සමත් වුනා.

ඒ වගේම 2008/09 තරග වාරයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ඕස්ට්‍රේලියාවේ දී ම ටෙස්ට් තරගාවලි ජයක් ලබන්න දකුණු අප්‍රිකානු කණ්ඩායමට හැකියාව ලැබුණා.

දකුණු අප්‍රිකාවෙන් පස්සේ මිකී, ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ පාකිස්තානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස කටයුතු කළා.

2017 එංගලන්තයේ පැවැත්වුන ICC ශූරයින්ගේ කුසලානය ජයග්‍රහණය කළේ මිකී පුහුණුකරුවා ලෙස කටයුතු කරපු පාකිස්තානු කණ්ඩායම.

මේ කාලසමයේ පාකිස්තානු කණ්ඩායමට විස්සයි විස්ස තරගාවලි 10ක් නොකඩවා ජයග්‍රහණය කරන්නත් හැකියාව ලැබුණා.

2019 වසර අග මිකී, ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙසින් වැඩ බාර ගන්නවා. ඒක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හොඳින් ක්‍රීඩා කරපු කාලයක් නම් නෙවෙයි. ඒ නිසාම බොහෝ දෙනෙක් මිකීගේ පැමිණීම ගැන බැලුවේ හොඳ ඇහැකින් නෙවෙයි.

අවුරුදු දෙකකට පස්සේ මිකී තමන්ගේ සේවා කාලය නිමා කරලා එංගලන්තයේ ඩාර්බිෂයර් කණ්ඩායම සමඟ එක් වෙන්න යන්නේ ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන්ගේ සහ ක්‍රීඩකයින්ගේ දැඩි පැසසුම් මැද්දේ.

මිකීගේ ක්‍රිකට් පුහුණුකාර ජීවිතයේ හැලහැප්පීම් නැත්තෙම නෑ. හැබැයි සමස්තයක් විදියට තමන් විශ්වාස කරන දේ ගැන පෙනී ඉන්න, ඒ වෙනුවෙන් සටන් කරපු, උපරිමයෙන්ම මහන්සි වෙලා වැඩ කරපු මනුස්සයෙක් විදියටයි මිකී ගැන බොහෝ දෙනාට මතක තියෙන්නේ.

කාලයක් මිකී පුහුණුකාරීත්වය දරපු දකුණු අප්‍රිකානු නායක ග්‍රැහැම් ස්මිත්, මිකී ආතර්ගේ ස්වයංචරිතාපදානයේ පෙරවදනේ මීකීව හඳුවන්නේ කෙටියෙන් මෙන්න මෙහෙම.

‘වැඩේට අවංක මිකී’

මිකී ආතර්ගේ ස්වයංචරිතාපදානය Taking The Mickey ඇසුරෙනි.

>>තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න<<